ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේලාට වන්දනා ක්‍රමයක්

බුද්ධ, ප්‍රත්‍යේක බුද්ධ, අග්‍ර‍ශ්‍රාවක, මහාශ්‍රාවක, චක්‍ර‍වර්තිරාජාදි මහෝත්තමයන් පහළ වන්නා වූ ශ්‍රීමත් ජම්බුද්වීපයේ මධ්‍යදේශයේ මගධ රට උරුවේලා නම් දනව්වෙහි නේරඤ්ජරා නදී තීරයේ සියලු බුදුවරයන් බුදුවන උත්තම භූමි භාගයෙහි සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ මවු කුසයෙන් බිහිවීම සමග ම පැන නැංගා වූ ද මහා බෝධිසත්වයන් වහන්සේට පිට දී වැඩ හිඳ පස් මරුන් පරදවා ලොවුතුරා බුදු බවට පැමිණියා වූ ද ඒ තථාගතයන් වහන්සේ විසින් සතියක් මුළුල්ලෙහි එහි ම වැඩ සිට සේවනය කරන ලද්දා වූ ද සතියක් අනිමිස ලෝචන පූජා නම් වූ නේත්‍ර‍ පූජාව කරන ලද්දා වූ ද පරම පූජනීය ශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්‍රයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

තථාගතයන් වහන්සේ දෙව්රම් වෙහෙර නො වැඩ සිටින අවස්ථාවන්හි පුද පඬුරු ගෙන උන් වහන්සේ දක්නට පැමිණෙන සැදැහැවතුන්ට උන්වහන්සේ වෙනුවට වැඳ පුදා ගැනීම පිණිස ජේතවන මහා විහාරයේ දොරටුව සමීපයේ රෝපණය කර ඇති ආනන්ද බෝධිරාජයන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්‍රයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

තථාගතයන් වහන්සේ දෙව්රම් වෙහෙර නො වැඩ සිටින අවස්ථාවන්හි පුද පඬුරු ගෙන උන් වහන්සේ දක්නට පැමිණෙන සැදැහැවතුන්ට උන්වහන්සේ වෙනුවට වැඳ පුදා ගැනීම පිණිස ජේතවන මහා විහාරයේ දොරටුව සමීපයේ රෝපණය කර ඇති ආනන්ද බෝධිරාජයන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්‍රයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

මේ ශ්‍රී ලංකා ද්වීපයේ අනුරාධපුරයේ මහා මේඝ වන නම් උයනෙහි කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලාගේ බෝධීන් පිහිටියා වූ ද අප බුදුරජාණන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේ හා නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටියා වූ ද උත්තම භූමි භාගයේ වැඩ සිටින්නා වූ දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්‍රයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

මහමෙවුනා උයනෙහි වැඩ සිටින්නා වූ දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේගේ පඤ්ච මහා ශාඛාවන්ගෙන් පතිත වූ පස් ඵලවලින් මහජනයා බලා සිටිය දී එකෙණෙහි ම පැන නැංගා වූ ඵලරුහ බෝධීන් වහන්සේලා වන,

  1. දඹුළුතොට බෝධීන් වහන්සේය,
  2. තිවක්ක නම් බමුණුම බෝධීන් වහන්සේය,
  3. ථූපාරාමයේ බෝධීන් වහන්සේය,
  4. කසුන්ගිරි වෙහෙර බෝධීන් වහන්සේය,
  5. ප්‍ර‍ථමක චෛත්‍යස්ථානයේ බෝධීන් වහන්සේය,
  6. සෑගිරියේ බෝධීන් වහන්සේය,
  7. කතරගම බෝධීන් වහන්සේය,
  8. සඳුන්ම බෝධීන් වහන්සේ ය,
  9. මල්වැස්සා වෙහෙර බෝධීන් වහන්සේය,
  10. තන්ත්‍රිමාලයේ බෝධීන් වහන්සේය,
  11. මහා ජල්ලික නම් ගම බෝධීන් වහන්සේය,
  12. කොට්ටියාරම බෝධීන් වහන්සේය,
  13. පොළොන්නරුවේ බෝධීන් වහන්සේය,
  14. මාතලේ රුසීගම බෝධීන් වහන්සේය,
  15. රුහුණු රට මාගම බෝධීන් වහන්සේය,
  16. විල්වල බෝධීන් වහන්සේය,
  17. මහියඞ්ගනයේ බෝධීන් වහන්සේය,
  18. විල්ගම් වෙහෙර බෝධීන් වහන්සේය,
  19. මුතියංගනයේ බෝධීන් වහන්සේය,
  20. බුත්තල හත්පෝරු වෙහෙර බෝධීන් වහන්සේය,
  21. සිතුල්පව්වේ බෝධීන් වහන්සේය,
  22. වනවාස වෙහෙර බෝධීන් වහන්සේය,
  23. වැලිගම් වෙහෙර බෝධීන් වහන්සේ ය,
  24. පරගොඩ බෝධීන් වහන්සේ ය,
  25. මැද්දේගම බෝධීන් වහන්සේ ය,
  26. ග‍ණේගම බෝධීන් වහන්සේ ය,
  27. පුසුල්පිටියේ බෝධීන් වහන්සේ ය,
  28. මායාරට වතුරේ බෝධීන් වහන්සේ ය,
  29. බෙලිගල්ලේ බෝධීන් වහන්සේ ය,
  30. පැපිලියානේ බෝධීන් වහන්සේ ය,
  31. බෙල්ලන්විල බෝධීන් වහන්සේ ය,
  32. වඳුරව බෝධීන් වහන්සේ ය,
  33. වට්ටාරම බෝධීන් වහන්සේ ය,
  34. සුළුගල්ලේ බෝධීන් වහන්සේ ය,
  35. රැස්වේරුවේ බෝධීන් වහන්සේ ය,
  36. කටියාවේ බෝධීන් වහන්සේ ය,
  37. ගිරිබාවෙහෙර බෝධීන් වහන්සේ ය,
  38. යාපහුවේ බෝධීන් වහන්සේ ය,
  39. කසාගල බෝධීන් වහන්සේ ය,
  40. රත්ගල් වෙහෙර බෝධීන් වහන්සේ ය,

යන සතළිස් නමක් වන බෝධීන් වහන්සේලාට හා ඒ බෝධීන් වහන්සේලා ගෙන් පරම්පරා වශයෙන් පවත්නා සියලු බෝධීන් වහන්සේලාට ද මාගේ කායාදි ද්වාරත්‍රයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි.