වන්දනාව වනාහි වයසින් හා ගුණයෙන් වැඩි පුද්ගලයන්ට තමාගේ ආදරය ගෞරවය යටත් බව අවනත බව දැක්වීම සඳහා කරන ක්‍රියාවකි. එය කය වචන සිත යන තුනෙන් ම කළ හැකි ය. චාරිත්‍ර ශීලයක් වන බැවින් එය දාන ශීල භාවනා යන තුනෙන් ශීලයට අයත් ය. දශ පුණ්‍ය ක්‍රියා වස්තුවලින් අපචායන කුශලයට අයත් ය. වන්දනාව ලබන්නහුට යම්කිසි ප්‍රයෝජනයක් ඇති නොවේ. එය අහංකාරයට ආහාරයකි. අහංකාර පුද්ගලයා තමාට අන්‍යයන් වැන්ද හොත් එයින් ප්‍රීතියක් ලබයි. නිරහංකාර උත්තම පුද්ගයන්ට වැඳුම් ලැබීමෙන් එබඳු සතුටක් නො ලැබේ.
නොයෙක් අදහස්වලින් වැඳීම කෙරෙති. නො වැන්දහොත් නපුරක් කරදරයක් ඇති විය හැකි බැවින් ආත්මාරක්‍ෂාව පිණිස රාජාදීන්ට වඳිති. දුකට පත්වූවෝ කරුණාව ලබා ගැනීම පිණිස ගරු බුුමන් දක්වා අනුන් සතුටු කොට ඔවුන්ගෙන් යම් කිසිවක් ලබා ගනු පිණිස වැඩක් කරවා ගනු පිණිස වඳිති. ඒ ඒ කුලවල වැඩිමහල්ලන්ට කුල සිරිත් වශයෙන් වඳිති. ඒ වන්දනා වලින් අන්‍යයන් රැවටීමට කරන වන්දනා අකුශල පක්‍ෂයට මිස කුශල පක්‍ෂයට අයත් නොවේ. කුශල පක්‍ෂයට අයත් වන්නේ ගුණ සලකා උත්තම පුද්ගලයන්ට කරන වන්දනාව ය.
නොයෙක් වන්දනා ක්‍රම ඇත්තේ ය. සිට ගෙන දෙ අත් එක් කොට වැඳීම, දෙ දණ බිම ගසා දෙ අත් එක් කොට වැඳීම, එක් දණක් බිම ගසා දෙ අත් එක් කොට උක්කුටිකව හිඳ වැඳීම, පසඟ බිම පිහිටුවා වැඳීම යන මේවා වන්දනා ක්‍රමයෝ ය. මේවායින් වඩා හොඳ වන්දනාව පසඟ පිහිටුවා කරන වැඳීම ය. එනම් දණ දෙක වැලමිටි දෙක නළල යන මේ අංග පස බිම පිහිටුවා දෙ අත් එක් කොට වැඳීම ය. බුදුනට වඳිමිය දහමට වඳිමිය සඟනට වඳිමිය යනාදීන් මුවින් කීම වචනයෙන් වැඳීම ය. එසේ සිතීම සිතින් වැඳීම ය. වචනයෙන් හා සිතින් වැඳීම කොතනත් කළ හැකි ය. සතර ඉරියව්වෙහි ම කළ හැකි ය.
වන්දනා ගාථා කවි වාක්‍ය පිළියෙළ කොට ඇත්තේ වචනයෙන් කරන වන්දනාව සඳහා ය. ඒවා සිතීමෙන් සිතින් වන්දනා කිරීම සිදු වේ.