අපේ ඇස්වලට නො පෙනෙන්නේ වී නමුත් ගස් කඳු ගෙවල් දේවාලය වැව් ගංඟා ආදිය ඇසුරු කොට වෙසෙන නොයෙක් විට මිනිසුන්ට උපකාර කරන දේව කොට්ඨාශයක් ඇති බව බුදු දහම අනුව කිය යුතු ය. ඒ දේවියන් සතුටු කළ පමණට ඔවුන්ගේ කරුණාව වඩ වඩා ලැබිය හැකි ය. කැවුම් කිරිබත් පලතුරු ආදි මිනිස් ආහාර ඔවුන්ගේ ආහාර නොවේ. එබැවින් ඒවා පිදීමෙන් ඔවුනට සතුටක් නො ලැබෙනු ඇත. එහෙත් ඒවා පුදන්නවුන්ට ද තමන්ට ගෞරවයක් කරන නිසා ඒ පුද ලබන දෙවියන් අනුකම්පා කරනු ඇත. දෙවියෝ පිනට කැමැත්තෝ ය. පින් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ දේව සම්පත්තිය දියුණු වේ. එබැවින් දෙවියෝ පින් දෙන මිනිසුන්ට විශේෂයෙන් අනුකම්පාව දක්වති. කළ හැකි උපකාර කරති.
“තතෝ නං අනුකම්පන්ති මාතා පුත්තංව ඕරසං
දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති.”
ඒ පින්දීම හේතු කොට මවක් සිය කුසයෙන් උපන් දරුවකුට අනුකම්පා කරන්නා සේ පින් දුන්නවුන්ට දෙවියන් අනුකම්පා කරන බවත් දේවතානුකම්පාව ලබන්නහුට සෑම කල්හි යහපත වන බවත් තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. දෙවියන්ට සැම දෙයක් ම කළ හැකි බලයක් ඇති ය යි නො සිතිය යුතු ය. ඔවුන්ගෙන් උපකාර ලැබෙන්නේ ඔවුනට කළ හැකි පමණට ය. පින් අනුමෝදන් වූ දෙවියන් මිනිසුන්ට කළ උපකාර දැක්වෙන බෞද්ධ කථා ඇත්තේ ය. ජාතක පොතේ එන මච්ඡද්වාර ජාතකය ඉන් එකකි. දම්පියාටුවාවේ එන කුමුදුප්පලානීත දුග්ගතවත්ථු යන කථාව ද ඉන් එකකි. ඒවා වුවමනා නම් ඒ පොත් වලින් බලා ගන්න.