තථාගත පරිනිර්‍වාණයෙන් දෙසිය සතිස් වන වසරේ මෙහි සසුන් පිහිට වීම සඳහා මිහිඳු මහ රහතන් වහන්සේ මේ දිවයිනට වැඩම කළ සේක. එකල්හි ලක් රජය කළේ දෙවන පෑතිස් රජතුමා ය. එතුමාගේ කාලයේ මිහිඳු මහ රහතන් වහන්සේගේ නැඟණියන් වන සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ ය. ලක් පොළොවෙහි එය පිහිටි පසු සතියක් ම නො පෙනී තිබිණ. සත්වන දිනයේ බෝධීන් වහන්සේ දෘශ්‍යමාන වූ කල්හි බෝධීන් වහන්සේ දක්නට රජු ඇතුළු බොහෝ ජනයා පැමිණියහ. බෝධීන් වහන්සේගේ මහ අතු පසෙහි ඵල පසක් ද පෙනිණ. ඒවා මහජනයා බලාසිටියදී ම නටුවෙන් ගිලිහී පතිත විය. මිහිඳු මහ රහතන් වහන්සේ ඒවා පොළොවට වැටෙන්නට නොදී සිවුරෙන් පිළිගෙන රෝපණය කිරීම සඳහා රජුට දුන්හ. රජතුමා රෝපණය කළ කල්හි මහජනයා බලා සිටියදී ම එක් එක් ඵලයකින් අට අට බැගින් බෝ පැළ පැන නැංගේ ය. එකක් සතර රියනක් පමණ විය. බෝ පැළ සතළිසක් විය. ඒවා මේ ශ්‍රී ලංකා ද්වීපයේ දඹුළු තොටය, ථූපාරාමය, ප්‍රථමක චෛත්‍යස්ථානය, රුහුණේ කතරගමය, මල්වැස්සා වෙහෙරය, මහාජල්ලික නම් ගමය, පොළොන්නරුවය, රුහුණු රට මාගමය, මහියංගණය, බදුල්ලේ මුතියංගණය, රුහුණු රට සිතුල්පව්වය, වැලිගම් වෙහෙරය, මැද්දේගමය, පුසුල්පිටියය, බෙලිගල්ලය, වට්ටාරමය, රැස්සේරුවය, ගිරිබා වෙහෙරය, කසාගලය, තිවක්ක බ්‍රාහ්මණ ගමය, සඳුන්ගිරි වෙහෙරය, සෑගිරියය, සඳුන්ගමය, තන්ත්‍රිමාලයය, කොට්ටියාරමය, මාතලේ රුසීගමය, විල්වලය, විල්ගම් වෙහෙරය, බුත්තල හත්පෝරු වෙහෙරය, වනවාස වෙහෙරය, පරගොඩය, ගණේගමය, මායාරට වතුරය, පැපිලියානය, බෙල්ලන්විලය, වඳුරවය, සුළුගල්ලය, කටියාවය, යාපහුවය, රහත්ගල් වෙහෙරය යන ස්ථානයන්හි රෝපණය කරන ලද්දේය. මෙසේ සිරි ලක්දිව බෝධීන් වහන්සේලා සතළිස් එක් නමක් වූහ. වර්ෂ දෙදහස් ගණනකට පෙර රෝපණය කළ ඒ බෝධින් අතුරෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ස්වල්පයක් අද දක්වා පවත්නේය. එය පවත්නේ බලවත් ආරක්‍ෂාවක් සත්කාරයත් නිසා ය. අන්‍ය බෝධීන් වහන්සේලා දැනට ඇති නැති බව නොදත හැකි ය. ඉහත කී ස්ථානවල දැනට ඇති බෝධීන් පසු කාලයේ රෝපණය කළ ඒවා ද විය හැකි ය. ශ්‍රී මහා බෝධි පරම්පරාවෙන් පැවත එන සියලු ම බෝධි වෘක්‍ෂ වැඳුම් පිදුම් කිරීමට සුදුසු ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමට කලින් ද මේ රටේ ඇසතු ගස් තිබෙන්නට ඇත. දැනට ඒ සියල්ලට ම කියනුයේ බෝගස් කියා ය. බෝධීන් වහන්සේලාට වැඳුම් පිදුම් කරන සැදැහැවතුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සලකා ගෙන උන්වහන්සේට කරන වන්දනා පූජාවක් වශයෙන් වැඳුම් පිදුම් කළ කල්හි අඩුවක් නැති ව බෝධි වන්දනා පූජා කුශලය ලැබෙනු ඇත. දැනට බෞද්ධයන් බෝධි වන්දනාව සඳහා භාවිතා කරන,
යස්ස මූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා,
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධිපාදපං
යන ගාථාව ද බුදුරජාණන් වහන්සේ පිට දී වැඩ සිටි දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේට වැඳීම සඳහා රචිත ගාථාවකි. එය මහා බෝධි වංස නමැති පාලි ග්‍රන්ථය රචනා කළ ස්ථවිර තුමන් විසින් පළමු කොට ශ්‍රී මහා බෝධීන් වහන්සේට නමස්කාර කිරීම සඳහා එහි යොදා ඇති ගාථාව ය.
ඉන්දියාවෙහි ද ඇතැම්හු බෝගස දේවත්වයෙන් සලකති. පැරණි අශ්වත්ථස්තෝත්‍රයක් ද ඇත. ඇසටු ගස දැකීමෙන් රෝගයන්ගෙන් මිදෙන බව ද, ස්පර්ශ කිරීමෙන් පාපයෙන් මිදෙන බව ද, ඇසුරු කිරීමෙන් චිර ජීවනය ලබන බව ද, ආයුෂය දරුවන්ය ධන ධාන්‍ය සෞභාග්‍ය සර්ව සම්පත්තිය බෝගසින් දෙන බව ද එහි සඳහන් වේ. ඒ අනුව ග්‍රහ අපල රෝග සතුරු උවදුරු ආදිය දුරු වීමට කිනම් බෝධියකට වුව ද වැඳුම් පිදුම් කිරීම හොඳ බව කිය යුතු ය. බෝධි ස්තෝත්‍ර කීමෙන් බ්‍රාහ්මණයන් මැරීමේ පාපයෙන් ද ගුරුන් මැරීමේ පාපයෙන් ද දිළිඳු බවින් ද රෝගවලින් ද මිදිය හැකි බව එහි කියා තිබේ. බෝධි මූලයක දී එක් බමුණකුට දන් දීම බමුණන් කෝටියකට දීම වැනි ය යි ද එහි කියා තිබේ.
අප රටේ බෞද්ධයන්ට බෝධි පූජාව පුරුදු වී ඇතත් බෝධි මූලයේ දන් දීමක් පුරුදු වී නැත. ග්‍රහ අපල දුරුවීම් ආදියට එයත් යහපත් විය හැකි ය.