උද්දේශික චෛත්‍යය

star_outline

බුදුරදුන් උදෙසා වැඳුම් පිදුම් කිරීමට පිළියෙළ කරන ලද වස්තූහු උද්දේශික චෛත්‍යය නම් වෙති. බුදුරජාණන් වහන්සේගේ රූප වශයෙන් සලකන චිත්‍ර‍ රූප, ප්‍ර‍තිමා උද්දේශික චෛත්‍යයෝ ය. “බුද්ධ පටිමා උද්දිස්සකං චේතියං” යනුවෙන් ඛුද්දක පාඨ අටුවාවෙහි බුද්ධ ප්‍ර‍තිමාව උද්දේශික චෛත්‍යය යි කියා තිබේ. ජාතක අටුවාවෙහි “උද්දේසිකං අවත්ථුකං මමායන මත්තමෙව හොති” යනුවෙන් උද්දේශික චෛත්‍යය හඳුන්වා ඇත. එයින් දැක්වෙන්නේ ශාරීරික පාරිභෝගික වස්තුවක් නැති ව වැඳුම් පිදුම් කරීමට තනා ගන්නා ලද පිළිම දාගැබ් උද්දේශික චෛත්‍යය බවය. දැනට තනා ඇති ඇතැම් දාගැබ්වල කිසියම් ශාරීරික පාරිභෝගික වස්තුවක් නැතත් ඒවා උද්දේශික චෛත්‍යයෝ වෙති. ඒවාට වැඳුම් පිදුම් කිරීමෙන් ද අඩුවක් නැති ව පින් සිදු වන්නේ ය. අපදාන පාලියෙහි එන පුලින ථුපිය තෙරුන් වහන්සේගේ චරිතය එයට නිදසුනකි.

පුලින ථුපිය තෙරුන් වහන්සේගේ කථාව

අතීතයේ හිමාලය වනයට නුදුරු තැනක පිහිටි රම්මක නම පර්‍වතයෙහි උග්‍ර‍ තපස් ඇති නාරද නම් තවුසෙක් විය. ඔහු තපස් නායකයෙකි. ඔහුට තුදුස් දහසක් අතවැසියෝ වූහ. දිනක් විවේක ස්ථානයක සිටියා වූ ඒ තාපස තුමාට මෙබඳු අදහසක් ඇති විය. බොහෝ ජනයා මට වැඳුම් පිදුම් කරන්නාහ. මම වනාහි කිසිවකුට වැඳුම් පිදුම් නො කරමි. මට අවවාද දෙන කෙනකු ද නැත. හොඳ නො හොඳ කියා දෙන කෙනකු ද නැත. මම මේ වනයෙහි අනාචාර්‍ය්‍ය ව වෙසෙමි. ඇසුරු කිරීමට ගුරුවරයකු නැති මාගේ වනවාසය නිරර්ථක විය හැකි ය. මා හටත් පූජා සත්කාර කරීමට තැනක් සොයා ගත යුතු ය. මා ද පිහිටක් ඇතිව විසිය යුතු ය. එසේ සිතූ තාපස තෙමේ තාපසාශ්‍ර‍මය සමීපයෙහි වූ අමරික නම් ගංගාවට ගොස් වැලි එක් කොට ගං ඉවුරෙහි වැලි දාගැබක් කොට අතීතයේ විසූ සත්ත්වයන් සසරින් එතර කළා වූ බුදුවරයන් වහන්සේලාගේ චෛත්‍යයන් මෙවැනිය. එය නිමිති කොට මම මේ වැලි සෑයට පුදමි යි රන් කිකණි තුන් දහසකින් ඒ චෛත්‍යය පිදුවේ ය. උදය සවස දෙක්හි ඒ චෛත්‍යයට, ඉදිරියේ වැඩ සිටින බුදු කෙනකුන්ට වඳින්නාක් මෙන් ගෞරවයෙන් වැන්ඳේ ය. ඒ තපස් තෙමේ මරණින් මතු බඹලොව උපන්නේ ය. එහි ආයු ඇති තාස් වැස ඉන් චුත ව දෙව් ලොව උපන්නේ ය. වැලි සෑයට පිදීමේ පිනෙන් හෙතෙමේ අසූවරක් දෙව්ලොව රජ කෙළේ ය. තුන්සිය වරක් මිනිස් ලොව සක්විති රජ වූයේ ය. ප්‍රදේශ රජ වූ වාර ගණනක් නැති විය. අන්තිම වාරයේ දී සැවැත් නුවර ධනවත් ගෙයක ඉපද සත් අවුරුදු වයස් කාලයේදී ම දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ වෙත පැවිදිව අර්හත්වයට පැමිණියේ ය. ඒ වැලි සෑයට පිදීමෙන් ලත් ආනිසංසය ය.