පස්විසි බුදුවරයන් වහන්සේලාට හා බෝධීන් වහන්සේලාට වන්දනා කිරීම.

අප ගෞතම බුදුරජාණන් වහන්සේට නියත විවරණය දුන් දීපංකරාදි සූවිසි බුදුවරයන් වහන්සේලාට හා උන් වහන්සේලාගේ බෝධිවලට ද ගෞතම බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේගේ බෝධියට ද වැඳීම මෙසේ කළ යුතු.

1. වන්දේ දීපංකරං බුද්ධං

වන්දේ බෝධිං ච පිප්ඵලිං

සාලකල්‍යණ බෝධිං ච

වන්දේ කොණ්ඩඤ්ඤ නායකං.

.

2. වන්දේ මංගල සම්බුද්ධං

නාග බෝධිං ච සාතදං

වන්දේ සුමන සම්බුද්ධං

නාග බෝධිං ච උත්තමං.

.

3. වන්දේ රේවත සම්බුද්ධං

නාග බෝධිං ච භද්දකං

වන්දේ සෝභිත සම්බුද්ධං

නාග බෝධිං ච සාදරං.

.

4. අනෝමදස්සී නාථං ච

නමේ බෝධිං ච අජ්ජුනං

වන්දේ පදුම සම්බුද්ධං

සෝණ බෝධිං ච සෝභනං.

.

5. වන්දේ නාරද සම්බුද්ධං

සෝණ බෝධිං ච සාදරං

පදුමුත්තරං ජිනං වන්දේ

සාල බෝධිං ච සාතදං.

.

6. වන්දේ සුමේධ සම්බුද්ධං

නීප බෝධිං ච භාසුරං

වන්දේ සුජාත සම්බුද්ධං

වේළු බෝධිං ච සාදරං

.

7. පියදස්සී ජිනං වන්දේ

කකුධ බෝධිං ච සාතදං

අත්ථදස්සී මුනිං වන්දේ

බෝධිං ච චම්පකං වරං.

.

8. ධම්මදස්සී මුනිං වන්දේ

බෝධිං කුරවකං වරං

වන්දේ සිද්ධත්ථ සත්ථාරං

කණිකාර බෝධිං වරං.

.

9. වන්දේ තිස්ස සුගතං ච

අසන බෝධිං ච සාතදං

වන්දේ ඵුස්සං ච සුගතං

බෝධිං චාමලකං සුභං.

.

10. වන්දේ විපස්සි සුගතං

බෝධිං ච පාටලිං වරං

වන්දේ සිඛිං ච සත්ථාරං

බෝධිං පුණ්ඩරීකං සුභං.

.

11. වන්දේ වෙස්සභූ සම්බුද්ධං

සාලබෝධිං ච සාතදං

කකුසන්ධං ච සම්බුද්ධං

බෝධිං ච සිරීසං වර.

.

12. කෝණාගමන නාථං ච

නමේ බෝධං උදුම්බරං

වන්දේ කස්සප නාථං ච

බෝධිං නිග්‍රෝධ පාදපං

වන්දේ ගෝතම සම්බුද්ධං

අස්සත්ථ බෝධිමුත්තමං.

.

13. පඤ්චවීසති බුද්ධානං

බෝධීනං ච සාරවං

නමාමි සිරසා නිච්චං

තේ මං රක්ඛන්තු සබ්බදා.

ගාථාවල තේරුම

මෙය කියා සිංහල බසින් ම වන්දනා කිරීම යෙහෙකි.

1. මෙයින් සාරා සඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර එක් කපෙක ලෝ පහළ වී වදාළා වූ දීපංකර නම් බුදුරජාණන් වහන්සේට ද උන් වහන්සේට සෙවන දුන් පුලිල බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

2. දීපඞ්කර බුදුරජාණන් වහන්සේනේ කල්ප අසංඛ්‍යයකින් පසු ලෝ පහළ වී වදාළා වූ කොණ්ඩඤ්ඤ නම් සර්වඥයන් වහන්සේට ද උන් වහන්සේට සෙවන දුන් ශාලකල්‍යාණි බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

3. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන් පසු කල්ප අසංඛ්‍යයකින් ලෝ පහළ වී වදාළා වූ මංගල නම් බුදුරජාණන් වහන්සේට ද උන්වහන්සේට සෙවන දුන් නාග බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

4. එ කපෙහි ම ලෝ පහළ වී වදාළා වූ සුමන නම් බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේට සේවන දුන් නාග බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

5. එ කපෙහි ම ලෝ පහළ වී වදාළා වූ රේවත නම් බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් නාග බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

6. ඒ කල්පයේ දී ම ලෝ පහළ වී වදාළා වූ සෝභිත නම් බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් නාග බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

7. සෝභිත බුදුරජාණන් වහන්සේගෙන් කල්ප අසංඛ්‍යයකට පසු ලෝ පහළ වී වදාළා වූ අනෝමදස්සී නම් බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් කුඹුක් බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

8. එ කපෙහි දී ම ලෝ පහළ වී වදාළා වූ පදුම නම් ලෝකනාථයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් මහාසෝණ නම් බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

9. එකප ම ලෝ පහළ වී වදාළා වූ නාරද නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් මහාසෝණ නම් බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

10. මෙයින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ලෝ පහළ වී වදාළා වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සේවන දුන් ශාල බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

11. පදුමුත්තර බුදුරදුන්ගෙන් කල්ප තිසකින් පසු ලෝ පහළ වී වදාළා වූ සුමේධ නම් ලෝකනාථයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් බක්මී බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

12. ඒ කපෙහි ම ලෝ පහළ වී වදාළා වූ සුජාත නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් හුණ බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

13. මේ මහා භද්‍ර‍ කල්පයෙන් අටළොස් වන කපෙහි ලෝ පහළ වී වදාළා වූ පියදස්සී නම් බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් කුඹුක් බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

14. ඒ කපෙහි ම ලෝ පහළ වී වදාළා වූ අත්ථදස්සී නම් ලෝකනායකයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් සපු බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

15. ඒ කපෙහි ම ලෝ පහළ වී වදාළා වූ ධම්මදස්සී නම් තථාගතයන් වහන්සේට හා උන් වහන්සේට සෙව දුන් රත්කරවු බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

16. මේ මහා භද්‍ර‍ කල්පයෙන් සිවු අනූවන කපෙහි ලෝ පහළ වූ සිද්ධත්ථ නම් මුනීන්ද්‍ර‍යන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් කණිහිරි බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

17. මේ මහා භද්‍ර‍ කල්පයෙන් අනූදෙවන කල්පයෙහි ලෝ පහළ වී වදාළා වූ තිස්ස සම්බුද්ධයන් වහන්සේට හා උන් වහන්සේට සෙව දුන් පියා බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

18. ඒ කපෙහි ම ලෝ පහළ වී වදාළා වූ ඵුස්ස සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් නෙල්ලි බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

19. මේ මහා භද්‍ර‍ කල්පයෙන් එක් අනූනව කපෙහි ලෝ පහළ වී වදාළා වූ විපස්සී නම් බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් පළොල් බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

20. මෙ කපින් එක්තිස් වන කපෙහි ලෝ පහළ වූ ශිඛී නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් ඇටඹ බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

21. මේ කපින් එක්තිස් වන කපෙහි ලෝ පහළ වී වදාළා වූ වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් ශාල බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

22. මෙකප පළමු කොට ලෝ පහළ වී වදාළා වූ කකුසන්ධ නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් මහරි බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

23. මෙ කප දෙ වන වර ලෝ පහළ වී වදාළා වූ කෝණාගමන නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් දිඹුල් බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

24. මෙ කප තුන් වන වරට ලෝ පහළ වී වදාළා වූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් නුග බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

25. මෙ කප සිවු වන වරට ලෝ පහළ වී වදාළා වූ අප ගෞතම බුදුරජාණන් වහන්සේට හා උන් වහන්සේට සෙවන දුන් ඇසටු බෝධීන් වහන්සේට ද අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

පස්විසි බුදුවරයන් වහන්සේලාට හා බෝධීන් වහන්සේලාට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ඒ බුදුවරයන් වහන්සේලා, බෝධීන් වහන්සේලා මා ආරක්‍ෂා කරත්වා!