රූප ශෝභාව ඇති කරන පින්කමක් වීම පිළිබඳ ව මේ කථාව දක්වා ඇත්තේ ය.

අභය නමැති තෙර නමක් හා අමාත්‍ය පුත්‍රයෙක් රටේ ලස්සන අය ලෙස ප්‍ර‍සිද්ධ ව සිටියහ. ඒ දෙදෙනාගේ නෑයෝ ඔවුන් දෙදෙනාගෙන් වඩා ලස්සන කවරේ දැ යි එක් තැනකදී බලන්නට සිතා එක් දවසක් අමාත්‍ය පුත්‍ර‍යාගේ නෑයෝ ඔහු සරසා රුවන්වැලි මහා සෑය වෙත යැවූහ. අභය තෙරුන් වහන්සේගේ මෑණියෝ ද ලස්සන සිවුරක් පිළියෙළ කරවා හිසකේ බා මේ සිවුර පොරවා මහසෑය වඳින්නට යි කියා උන් වහන්සේව යැව්වා ය. අමාත්‍ය පුත්‍ර‍යා නැගෙනහිර දොරටුවේන චෛත්‍ය මලුවට ඇතුළු විය. අභය තෙරුන් වහන්සේ දකුණු දොරටුවේන සෑ මලුවට ඇතුළු වූහ. එහිදී තෙරුන් වහන්සේ අමාත්‍ය පුත්‍ර‍යා දැක “ඇවැත්නි, ඔබ මහලු තෙරුන් විසින් ඇමදූ තැන කසළ ඉවත් කර දැන් මා හා තරඟ කරන්නට එන්නෙහි දැ” යි වදාළහ. අතීත භවයකදී අභය තෙරුන් වහන්සේ මහලු තෙර නමක් ව සිට කතරගම සෑමළුව ඇමදූහ. අමාත්‍ය පුත්‍ර‍යා උපාසකයකුව සිට උන්වහන්සේ ඇමදි කසළ බැහැර කෙළේ ය. මේ ඒ දෙදෙනා කළ පින්කම ය.