සේලා නම් වූ සත් අවුරුදු රහත් මෙහෙණ ගේ කථාව

සේලා තෙරණි තොමෝ පෙර බුදුවරුන්ගේ සසුන්වල ද නිවන් පිණිස නොයෙක් පින්කම් කොට සසර සැරි සරන්නී හංසවතී නගරයේ කුලගෙයක ඉපද සුදුසු සැමියකු හා දිගු කලක් වැස සැමියාගේ අභාවයෙන් පසු මහලු වයසේ දී කුසල් කිරීමේ නිරත වූවා. ආරාමයෙන් ආරාමය විහාරයෙන් විහාරය හැසිරෙන්නී එක් දවසක් බුදුන් වහන්සේගේ බෝධිය වෙත පැමිණ ඉදින් තථාගතයන් වහන්සේ අසමසම අප්‍ර‍තිහත පුද්ගලයකු වෙත් නම් මේ බෝධීන් වහන්සේ මා හට ප්‍රාතිහාර්‍ය්‍යයක් දක්වත්වායි ඉටා එහි හිඳ ගත්තී ය. ඇය එසේ සිතූ කෙණෙහි ම බෝධීන් වහන්සේ දිලිසුණහ. ස්වර්ණමය ශාඛාවෝ බෝධීන් වහන්සේගෙන් පැන නැංගාහ. දිශාවෝ ආලෝකවත් වූහ. ඕ තොමෝ ඒ ආශ්චර්‍ය්‍යය දැක පහන් සිත් ඇත්තී දෝත් මුදුන් දී වඳිමින් සතියක් ම එහි විසුවා ය. සත්වන දින රාත්‍රියේ බෝධීන් වහන්සේට පහන් පසක් දැල්වූවා ය. පසු දින පහන් වනතුරු ඒ පහන් සර්ව රාත්‍රියේ ම දැල්විණ. ඒ පිනෙන් ඕ මරණින් මතු තව්තිසා දෙව්ලොව සැට යොදුනක් උස්, තිස් යොදුනක් පුළුල් රන් විමනක උපන්නා ය. ඒ විමන පහන් පසක් පිදීමේ පිනෙන් පහළ වූ බැවින් පඤ්චදීපි නම් විය. ඒ විමනෙහි අප්‍ර‍මාණ පහන් දැල්විණ. විමන පහන් ආලෝකයෙන් බැබලිණ. ඒ පිනෙන් ඇයට උඩ යට සරස සැම තැන ම ආවරණයක් නැතිව පෙනෙන දිවැස පහළ විණ. ජාතියෙන් ජාතිය සසර සැරිසරන්නා වූ ඕ දෙව් රජුන් අසූ දෙනකුගේ මෙහෙසිය වූවා ය. මිනිස් ලොව සක්විති රජුන් සත් දෙනකුන්ගේ මෙහෙසිය වූවා ය. මෙසේ මහත් සම්පත්තියෙන් දෙව් මිනිස් දෙලොව හැසිරුණු ඕ අප බුදුන් කාලයේ අලව් නුවර අලව් රජුට දාව උපන්නී ය. ඒ කුමරිය සේලා නම් වූවා ය. අලව් රජු ගේ දූ වන බැවින් ඇයට ආලවිකා යන නම ද වූයේ ය. ඇය සත් අවුරුදු වියෙහි සිටින කාලයේ තථාගතයන් වහන්සේ අලව් යකු දමනය කොට ඔහු ලවා තමන් වහන්සේලාගේ පා සිවුරු ගන්වා ඔහු ද සමග අලව් නුවරට වැඩම කළ සේක. එකල්හි ඕ රජු හා බුදුන් වහන්සේ වෙත ගොස් බණ අසා පැහැදී උපාසිකාවක් වූවා ය. පසු කාලයේ දී ඕ භික්‍ෂුණීන් වෙත පැවිදි ව නොබෝ කලකින් ම සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියා ය. පහන් පසක් පූජා කිරීම නිසා ඒ මෙහෙණි පඤ්චදීපා නම් ද වූවා ය. අර්හත්වයට පැමිණීමෙන් පසු ඇය තමාගේ චරිතය පැවසූ ගාථාවලින් කීපයක් මෙසේ ය.

ජාතියා සත්තවස්සාව අරහත්තමපාපුණිං

උපසම්පාදයි බුද්ධෝ ගුණමඤ්ඤාය ගෝතමෝ.

තේරුම :-

මම ඉපදීමෙන් සත් අවුරුදු වයස ඇත්තී ම අර්හත්වයට පැමිණියෙමි. මාගේ ගුණ දැන ගෞතම බුදුන් වහන්සේ සත් අවුරුදු වයසේ දී ම මා උපසම්පදා කළ සේක.

මණ්ඩපේ රුක්ඛමූලේ වා - සුඤ්ඤාගාරේ වසන්තියා

සදා පජ්ජලතේ දීපා - පඤ්චදීපානිදං ඵලං.

තේරුම :-

මණ්ඩපයක හෝ රුක් මුලක හෝ ශුන්‍යාාරයක හෝ වාසය කරන්නා වූ මා හට සැම කල්හි පහන් දැල්වෙන්නේ ය. මේ පහන් පස පිදීමේ ඵලය ය.

දිබ්බං චක්ඛුං විසුද්ධං මේ සමාධි කුසලා අහං

අභිඤ්ඤා පාරමීපත්තා පඤ්චදීපානිදං ඵලං.

තේරුම :-

මා හට පිරිසිදු දිවැස් ඇත්තේ ය. මම සමාධීන්හි දක්‍ෂ වෙමි. අභිඥාවන්ගේ කෙළවරට පැමිණියෙමි. මේ පහන් පස පූජා කිරීමේ ඵලය ය.

සබ්වෝසිත වෝසනා කතකිච්චා අනාසවා

පඤ්චදීපා මහාවීර පාදේ වන්දාමි චක්ඛුම

තේරුම :-

පසැස් ඇත්තා වූ මහා වීරයන් වහන්ස, බඹසර වැසීම අවසන් කළා වූ කළ යුතු සියල්ල නිම කළා වූ අනාශ්‍ර‍ව වූ පඤ්චදීපා නම් වූ මම නුඹ වහන්සේගේ පා වඳිමි.

සතසහස්සෝ ඉතෝ කප්පෙ යං දීපෙහි පූජයිං

දුග්ගතිං නාභිජානාමි පඤ්ච දීපානිදං ඵලං.

තේරුම :-

මෙයින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි යම් පහන් පූජාවක් කෙළෙම් ද ඉන් පසු දුගතියක උපන් බවක් නො දනිමි. මේ පහන් පස පිදීමේ ඵලය ය.

බෝධි ප්‍රාතිහාර්‍ය්‍යය

ඉහත දැක් වූ කථාවෙහි පෙර ජාතියක සේලා මෙහෙණට ප්‍රාතිහාර්‍ය්‍ය පෑවේ ය යි දක්වන ලදුයේ මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර ලෝ පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සලල බෝධිය ය. සිතක් නැති බෝධියක් ඒ කාන්තාවගේ අධිෂ්ඨානය පරිදි ප්‍රාතිහාර්‍ය්‍ය පෑවේ කෙසේ ද යන ප්‍ර‍ශ්නය ඒ කථාව කියවූ අයට ඇති විය හැකි ය. එය සිදු වූ අයුරු මෙසේ සැලකිය යුතු ය.

ප්‍රාතිහාර්‍ය්‍ය කළ හැකි ශක්තියක් ගසකට නො තිබිය හැකි ය. සිතක් නැති දැනුමක් නැති බෝධියට ඒ කාන්තාවගේ අධිෂ්ඨානය දැනෙන්නේ ද නැත. ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමේ වුවමනාවක් ඒ ගසට ඇති වන්නේ ද නැත. ගස් ප්‍රාතිහාර්‍ය්‍ය කරන්නේ ද නැත. ඒ කාන්තාවට එදා බෝධියේ ප්‍රාතිහාර්‍ය්‍ය පෙනෙන්නට ඇත්තේ ඇගේ අදහස අනුව ය. දැන් ද ඇතැම් සැදැහැවත් කාන්තාවෝ බුදු පිළිමවලින් චෛත්‍යවලින් බුදු රැස් විහිදෙනු දුටු බව කියති. ඔවුන් එසේ කියන්නේ බොරුවට නොවේ. බලවත් ඕනෑකමින් බුදු රැස් විහිදෙනු ඇතය සිතා බුදු රුවක් චෛත්‍යයක් දෙස ඇසිපිය නොහෙළා බලා සිටින්නන්ට රැස් විහිදෙන සේ පෙනෙන්නට ව්නනෙ ්ය. එය ඇසේ විකාරයකි. එයට ඔවුහු රැවටී බුදු රැස් දුටු බව කියති. එදා බෝධිය දෙස බලා සිටි ඒ කාන්තාවට සිදු වන්න ඇත්තේ ද එය ය. බලාපොරොත්තු පරිදි ආලෝකය පෙනුණු කල්හි ශ්‍ර‍ද්ධාවත් ප්‍රීතියත් වඩ වඩා ඇති වේ. එයින් වඩ වඩා ප්‍රාතිහාර්‍ය්‍ය පෙනෙන්නට වන්නේ ය. ඒ කාන්තාවට බෝධිය හැර යන්නට නො සිතුණේ එහි ම සතියක් ගත වන තුරු සිටින්නට සිත් වූයේ ඒ ශ්‍ර‍ද්ධාවත් ප්‍රීතියත් නිසා ය. ප්‍රීතිය නිසා ම ඇයට එහි සිටීමේ අපහසුවක් ද නො දැනෙන්නට ඇත. බෝධි ප්‍රාතිහාර්‍ය්‍ය දැකීම මනෝ විකාරයක් නේත්‍ර‍ විකාරයක් වුව ද ඇයට එයින් සිදු වුයේ යහපතකි. ඇයට ඒ නිසා බෝධි පූජා කොට පින් සිදු කර ගෙන අන්තිමට රහත් වී සසරින් එතර වන්නට ලැබිණ.