මහා පුරුෂ ලක්‍ෂණ හා අනුව්‍යඤ්ජන ලක්‍ෂණ

star_outline

උත්තම පුද්ගලයෝ මහා පුරුෂයෝ නම් වෙති. ඔවුන්ගේ ශරීරවල පිහිටි විශේෂ ලක්‍ෂණ මහා පුරුෂ ලක්‍ෂණ නම් වේ. මහා පුරුෂ ලක්‍ෂණ දෙතිසකි. ඒවා පිහිටුවන්නේ සක්විති රජුන්ගේ බුදුවරුන්ගේ ශරීරවල ය. අන්‍ය උසස් පුද්ගලයින්ගේ ශරීරවල ද ඒවායින් සමහර ලකුණු පිහිටන්නේ ය. පෙර සොළොස් දහසක් පිරිවර ශිෂ්‍යයන් ඇති ව විසූ බාවාරි නම් මහ තාපස තුමාගේ ශරීරයෙහි මහා පුරුෂ ලක්‍ෂණ තුනක් තුබූ බව සූත්‍ර‍නිපාත පාලියෙහි දක්වා තිබේ. මහා පුරුෂ ලක්‍ෂණ, අනුව්‍යඤ්ජන ලක්‍ෂණ සියල්ල විස්තර කරන්නට ගියොත් ග්‍ර‍න්ථය මහත් වන බැවින් ඒවායින් ස්වල්පයක් පමණක් මෙහි දක්වන්නෙමු.

අන්‍යයන්ගේ පතුල් මෙන් මැදින් වළ නොගැසී යටි පතුල යතු ගෑ ලෑල්ලක් මෙන් මට්ටමට පිහිටීම එක් මහා පුරුෂ ලක්‍ෂණයෙකි. සාමාන්‍ය ජනයා පා බිම තබන කල්හි පාදයේ අග හෝ විලුඹ හෝ පළමුවේන පොළොව ස්පර්ශ කරයි. තථාගතයන් වහන්සේගේ පතුල සෑම තැනින් ම එකවර පොළොවෙහි පිහිටයි.

නින්නං ඨානං උන්නමති ගච්ඡන්තේ ලොක නායකේ

උන්නතං ච සමං හෝති පඨවී ච අචේතනා

යනුවෙන් දැක්වෙන පරිදි තථාගතයන් වහන්සේ පතුල බිම තබන කල්හි පොළොවේ පහත් තැන් උස් වී උස් තැන් පහත් ව පොළොවේ මට්ටම වේ.

පාසාණා සක්ඛරා චෙව කඨලා ඛාණු කණ්ඨකා

සබ්බේ මග්ගා විවජ්ජෙන්ති ගච්ඡන්තේ ලෝකනායකේ

යනුවෙන් දැක්වෙන පරිදි තථාගතයන් වහන්සේ ගමන් කරන කල්හි පොළොවෙහි ගල් කැට මැටි කැට කැබිලිති හුල් කටු සියල්ල ඉවත් වී පොළොව මට්ටම් වේ.

කන් දෙක දක්වා නළල වසා පිහිටි අන්‍යයන්ට නැති විශේෂ මාංශ පටලයක් මහා බෝධි සත්ත්වයන්ගේ නළලෙහි ඇත්තේ ය. එය රජුන් පළඳනා නළල්පටක ශෝභාව ඇත්තේ ය. එය එක් මහා පුරුෂ ලක්‍ෂණයෙකි. එයට උණ්හීසසීසය යි කියනු ලැබේ.

ඌර්ණ රෝමය එක් මහා පුරුෂ ලක්‍ෂණයෙකි. එය නාසයට කෙළින් නළල මැද ඔරලෝසුවල කෙස් දුන්න මෙන් දකුණතට කැරකී පිහිටා ඇත්තේ ය. එය ඉතා සුදු ය. රන්තැටියක් මැද තුබූ රිදී බුබුලක් සේ බබළන්නේ ය. අගින් අල්ලා ඇද්ද හොත් බාහුවේ මැදට පමණ දිග ය.

දස සතළිසක් වීම එක් මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒවා සම ව තිබීම එක් මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒවා අතර සිදුරු නැති බව එක් මහා පුරුෂ ලක්‍ෂණයෙකි. නළල හා දෙක් සිළු ස්පර්ශ කළ හැකි පමණට දිව දික්වීම එක් මහා පුරුෂ ලක්‍ෂණයෙකි. මෙසේ සාමාන්‍ය ජනයාගේ ශරීරවල නැති ලක්‍ෂණ මහා පුරුෂ ශරීරයේ පිහිටන්නේ ය. (විස්තර සඳහා “සූවිසි මහා ගුණය” බලන්න.)

දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ප්‍ර‍කට කරන ශරීර ශෝභාව ඇති කරන කුඩා ලක්‍ෂණ අසූවක් ඇත්තේ ය. අනුව්‍යඤ්ජන යි කියනුයේ ඒවාට ය.