බෝධිසිඤ්චක රහතන් වහන්සේ

විපස්සී බුදු රජාණන් වහන්සේගේ පාටළී බෝධීන් වහන්සේට පැන් වත් කොට සසර බෝ කල් දෙව් මිනිස් සැප විඳ අප ගෞතම බුද්ධ ශාසනයේ දී රහත් ව නිවන් දුටු බෝධි සිඤ්චක රහතන් වහන්සේගේ චරිතය අපදාන පාලියේ මෙසේ දැක් වේ.

1. විපස්සිස්ස භගවතෝ මහා බෝධි මහෝ අහු

පබ්බජ්ජුපගතෝ සන්තෝ උපගච්ඡිමහං තදා.

.

2. කුසුමෝදකමාදාය බෝධියා ඕකිරිං අහං

මෝචයිස්සති නෝ මුත්තෝ නිබ්බාපෙස්සති නිබ්බුතෝ.

.

3. ඒකනවුතේ ඉතෝ කප්පේ යං බෝධි මභිසිඤ්චයිං

දුග්ගතිං නාභිජානාමි බෝධිසිඤ්චායිදං ඵලං.

.

4. තෙත්තිංසේ වත්තමානම්හි කප්පේ ආසුං ජනාධිපා

උදකා සේචනා නාම අට්ඨෙතේ චක්කවත්තිනෝ.

.

5. පටිසම්භිදා චතුස්සෝ විමොක්ඛාචාපි අට්ඨිමෙ

ජලභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.

ඉත්ථං සුදං ආයස්මා බෝධි සිඤ්චකෝ ථෙරෝ ඉමා. ගාථා අභාසිත්ථ.

තේරුම :-

  1. විපස්සී බුදු රදුන්ගේ කාලයේ මහා බෝධි පූජෝත්සවයක් විය. එකල්හි පැවිදි ව සිටියා වූ මම එහි ගියෙමි.
  2. දුකින් මිදුණා වූ තථාගතයන් වහන්සේ අප මුදවනු ඇත. නිවුණා වූ තථාගතයන් වහන්සේ අප නිවනු ඇතය යි මල් සහිත ජලය බෝධීන් වහන්සේට වත් කෙළෙමි.
  3. මෙයින් එක් අනූවන කපෙහි යම් බෝධියකට පැන් ඉසීමක් කෙළෙම් ද එතැන් පටන් දුගතියකට නො ගියෙමි. එය බෝධියට පැන් ඉසීමේ ඵලය ය.
  4. මේ කපින් තෙතිස් වන කපෙහි උදකාසේචන නමින් මහත් බල ඇත්තා වූ සක්විති රජහු අට දෙනෙක් වූහ.
  5. පිළිසිඹියා සතර ය, විමෝක්‍ෂ අට ය, අභිඥා සය ය යන මේවා ලැබූයෙමි. බුදුන් වහන්සේගේ අනුශාසනය කරන ලදී.