අනුන්ගේ සිත් පැහැදීම පිළිබඳව දක්වා ඇති කථා මෙසේ ය.

තිස්ස නම් නවක භික්‍ෂවක් දඹකොළ සෑමළුව ඇමද කූඩයක් අතින් ගෙන සිටියේ ය. එකෙණෙහි තිස්ස දත්ත නම් තෙර නමක් නැවකින් බැස අවුත් සෑමළුව බලනුයේ මෙය සිත දියුණු කළ කෙනකු විසින් අමදින ලද තැනකැ යි සතුටු ව ඒ භික්‍ෂුවකගෙන් ප්‍ර‍ශ්න දහසක් ඇසී ය. ඒ භික්‍ෂු තෙමේ සියල්ල නො පැකිළ විසඳුයේ ය.

එක්තරා විහාරයක තෙර නමක් සෑමළුව ශෝභන ලෙස ඇමද තැබුයේ ය. චෛත්‍ය වන්දනාව පිණිස තෙරුන් වහන්සේලා සතර නමක් එහි පැමිණියහ. ඉතා හොඳින් ඇමද තුබූ සෑමළුව දැක ඒ තෙරුන් වහන්සේලා මළුව නො පාගා දොරටුවෙහි නැවතී ප්‍රීතියෙන් කමටහන් මෙනෙහි කළෝ ය. එයින් එක් නමකට අට කපක් අතීතය සිහි කළ හැකි විය. එක නමකට සොළොස් කපක් අතීතය සිහි කළ හැකි විය. එක්නමකට විසි කපක් අතීතය සිහි කළ හැකි විය. එක් නමකට තිස් කපක් අතීතය සිහි කළ හැකි විය.