කතාව කියවීමට සහ සිතුවම් චිත්‍ර බැලීමට ගාථාව මත click කරන්න.
26. බ්‍රාහ්මණ වර්‍ගය
26-1 ප්‍රසාදබහුල බ්‍රාහ්මණයෙක්

ඡින්‍ද සොතං පරක්කම්ම කාමෙ පනුද බ්‍රාහ්මණ

සඞ්ඛාරානං ඛයං ඤත්‍වා අකතඤ්ඤූ’සි බ්‍රාහ්මණ.

බමුණ, වීර්‍ය්‍ය කොට තෘෂ්ණා දියපහර සිඳ පිය. (එය පිණිස) වස්තුකාම ක්ලේශකාමයන් (සිතෙන්) පහ කරව. බමුණ, සංස්කාරයන්ගේ විනාශය විවසුන් නුවණින් දැන, අකෘතඥ (නිවන් දන්නේ) වෙහි ය.

26-2 බුදුරජුන් වෙත පැමිණි භික්ෂූන් වහන්සේලා

යදා ද්වයෙසු ධම්මෙසු පාරගූ හොති බ්‍රාහ්මණො

අථස්ස සබ්බෙ සංයොගා අත්‍ථං ගච්ඡන්ති ජානතො.

බමුණු තෙම (හෙවත් රහත් තෙම) යම් කලෙක ශමථවිදර්‍ශනා දහම් දෙක්හි පර තෙරට ගියේ වේ ද, එ කලැ චතුස්සත්‍යයන් මොනොවට දන්නා ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයාගේ සියලු සංයෝගයෝ (කාමයොගාදීහු) ක්‍ෂයයට පැමිණෙන්නාහ.

26-3 මරුට දෙසූ දහමෙක්

යස්ස පාරං අපාරං වා පාරාපාරං න විජ්ජති

වීතද්දරං විසංයුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් ආර්‍ය්‍යශ්‍රාවකයක්හට එතෙර ද (හෙවත් ආධ්‍යාත්මික ෂඩායතනය ද) මෙ තෙර ද (හෙවත් බාහිර ෂඩායතනය ද) එ තෙර මෙ තෙර දෙක ම ද නැත්තේ නම් (මම යැ යි මගේ යැ යි ගැන්මෙක් නැත්තේ නම්) පහ වූ ක්ලේශපීඩා ඇති, සියලු කෙලෙසුන් ගෙන් වෙන් වූ ඒ රහත්හු බ්‍රාහ්මණ නැමැ යි මම් කියමි.

26-4 තමන් බමුණැ යි සිතාගත් බමුණෙක්

ඣායිං විරජමාසීනං කතකිච්චං අනාසවං

උත්තමත්‍ථං අනුප්පත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

ධ්‍යාන කරණ (ශමථ විදර්‍ශනා වඩන), රාගාදි රජස් නැති, හුදෙකලා වැ හුන්, සිවු මඟින් කළ සොළොස් වැදෑරුම් කිස ඇති, අනාස්‍රව වූ, උත්තමාර්‍ත්‍ථයට (රහත් පලයට) පැමිණි ඒ රහත්හු බ්‍රාහ්මණයකු කොට මම් කියමි.

26-5 බුදුරජුන්ගේ සරීරෝභාසය

දිවා තපති ආදිච්චො රත්තිං ආභාති චන්‍දිමා

සන්නද්ධො ඛත්තියො තපති ඣායී තපති බ්‍රාහ්මණො

අථ සබ්බමහොරත්තිං බුද්ධො තපති තෙජසා.

හිරු දහවල්හි දිලිසෙයි. සඳු රැයෙහි දිලිසෙයි. රජ තෙම අබරණින් සැරැහී සිවුරඟ සෙනඟින් පිරිවැරුනේ ම දිලිසෙයි. (හොබනේයි). බමුණු තෙම (හෙවත් රහත් තෙම) සමවතට සමවන්නේ දිලිසෙයි (හොබනේයි). නැවැත සියලු දිවා රෑ දෙක්හි සම්‍යක්සම්බුද්ධ තෙම (චරණ ගුණ ඥාන පුණ්‍ය ධර්‍ම යැ යි පස්වැදෑරුම් වූ) තේජසින් දිලිසෙයි.

26-6 බමුණකුගේ ඉල්ලීමෙක්

බාහිතපාපො’ති බ්‍රාහ්මණො සමචරියා සමණො’ති වුච්චති.

පබ්බාජයත්තනො මලං තස්මා පබ්බජිතො’ති වුච්චති.

යම් හෙයෙකින් සන්තානයෙන් බැහැර කරණ ලද පාප ධර්‍ම ඇත්තේ නු යි බ්‍රාහ්මණ නැමැ යි කියනු ලැබේ ද, අකුසල් සන්සිඳුවා වසන හෙයින් ශ්‍රමණ යැ යි කියනු ලැබේ ද, එසේ ම යම්හෙයෙකින් තමාගේ රාගාදි මල (තදඞ්ගප්‍රහාණාදියෙන්) පහ කෙරේ ද, එ හෙයින් ප්‍රව්‍රජිතයා යී කියනු ලැබේ.

26-7 ශාරීපුත්‍ර මහාස්ථවිරයන්ගේ ඉවසීම

න බ්‍රාහ්මණස්ස පහරෙය්‍ය නාස්ස මුඤ්චෙථ බ්‍රාහ්මණො

ධී බ්‍රාහ්මණස්ස හන්තාරං තතො ධී යස්ස මුඤ්චති.

බමුණු තෙමේ (රහත් තෙමේ) බමුණකුට (රහත්බමුණකුට හෝ ජාති බමුණකුට) පහර නො දෙන්නේ ය. බමුණු තෙම (රහත් තෙම) තමාට පහර දුන් පුද්ගලයාට කෝප නො කරන්නේ ය. බමුණහුට පහර දෙන්නහුට නින්‍දා වේ වා. යමෙක් තමාට පහර දුන්නහුට කෝප කෙරේ නම් ඒ පහර දුන්නහුට වඩා ඔහුට නින්‍දා වේ වා.

න බ්‍රාහ්මණස්සෙතදකිඤ්චි සෙය්‍යො

යදා නිසෙධො මනසො පියෙහි

යතො යතො හිංසමනො නිවත්තති

තතො තතො සම්මති මෙව දුක්ඛං.

(පහර දුන්නහුට පෙරළා පහර නොදීමය, පරොස් බසින් බිණුවහුට පෙරළා නොබිණීමය යන) මෙය රහත් බමුණුහට ස්වල්පමාත්‍ර වූ ද ශ්‍රෙයසෙක් නො වේ. යම් කලෙක්හි ක්‍රෝධී පුද්ගලයාගේ මනසට ප්‍රිය වූ ක්‍රෝධචිත්තෝත්පාදය කෙරෙන් යම් වැළැක්මෙක් වේ ද, මේ ක්‍රෝධනිග්‍රහය ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයාහට ස්වල්පමාත්‍ර වූ ශ්‍රෙයසෙක් නො වේ (මහත් වූ ශ්‍රෙයසෙකි). යම් යම් කරුණෙකින් ක්‍රෝධ සිත නවතී ද, ඒ ඒ කරුණින් සසර දුක සන්හිඳේ ම ය.

26-8 මහාප්‍රජාපති ගෞතමී නිසා උපන් කතාවක්

යස්ස කායෙන වාචාය මනසා නත්‍ථි දුක්කතං

සංවුතං තීහි ඨානෙහි තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් පුගුලකුගේ කයින් ද වචසින් ද මනසින් ද සිදු වන අකුශල කර්‍මයෙක් නැද්ද, මේ තුන් තැනින් (මේ තුන් දොරින් වදනා අකුසලුන්ගේ වැළැක්ම පිණිස) වැසුනු දොර ඇති ඒ ක්‍ෂීණාස්‍රවයා බමුණකු කොට මම් කියමි.

26-9 සැරියුත් තෙරුන්ගේ ගුරුන් පිදීම

යම්හා ධම්මං විජානෙය්‍ය සම්මාසම්බුද්ධදෙසිතං

සක්කච්චං තං නමස්සෙය්‍ය අග්ගිහුත්තං’ව බ්‍රාහ්මණො.

යමක්හු කෙරෙන් සම්‍යක්සම්බුද්ධයන් විසින් දෙසන ලද්දා වූ පර්‍ය්‍යාප්ති ධර්‍මය යමෙක් දන්නේ වී නම්, ඒ ආචාර්‍ය්‍යයා අග්නිහෝත්‍රයට පූජා කරණ බමුණකු මෙන් සකසා නමඳින්නේ ය.

26-10 ජටිල බ්‍රාහ්මණයා

න ජටාහි න ගොත්තෙන න ජච්චා හොති බ්‍රාහ්මණො

යම්හි සච්චඤ්ච ධම්මො ච සො සුචී සො’ව බ්‍රාහ්මණො.

බඳනා ලද ජටාවන් කරණ කොට ගෙණ බ්‍රාහ්මණ නම් නො වෙයි. ගෝත්‍ර කරණ කොට ගෙණ ද බ්‍රාහ්මණ නම් නො වෙයි. ජාතිය කරණ කොට ගෙණ ද බ්‍රාහ්මණ නම් නො වෙයි. යමකු කෙරෙහි සත්‍යඥානය ද, නවලොවුතුරු දහම් ද ඇත්තේ නම්, පිරිසිදු තැනැත්තේ හේ ම ය, බ්‍රාහ්මණ නමැත්තේත් හේ ම ය.

26-11 කුහක බමුණෙක්

කිං තෙ ජටාහි දුම්මෙධ කිං තෙ අජිනසාටියා

අබ්භන්තරං තෙ ගහණං බාහිරං පරිමජ්ජසි.

අනුවණය, තගේ ජටායෙන් කවර වැඩෙක් ද? තගේ තෙල අඳුන් දිවිසමින් කවර වැඩෙක් ද? තගේ ඇතුළත කෙලෙසුන්ගෙන් ගහණ ය. එතෙකුදු වුවත් (ඇතුළත නො ව) පිටත ම සිලුටු කරන්නෙහි ය.

26-12 කිසාගෝතමී

පංසුකූලධරං ජන්තුං කිසං ධමනිසන්‍ථතං

එකං වනස්මිං ඣායන්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

පවුල් සිවුරු දරණ, කෘශ සිරුරු ඇති, නහර ඉල්පුනු කය ඇති, ගැඹුරු වෙනෙහි හුදෙකලා වැ භාවනා කරන ඒ පුඟුලහු බ්‍රාහ්මණ යැ යි මම් කියමි.

26-13 තමා බමුණු යි සිතූ බමුණෙක්

න චාහං බ්‍රාහ්මණං බ්‍රූමි යොනිජං මත්තිසම්භවං

භොවාදී නාම සො හොති සචෙ හොති සකිඤ්චනො

අකිඤ්චනං අනාදානං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

මවගේ යෝනි මගින් උපන්, බැමිණියක කුස උපන්නාහට එ පමණෙකින් බ්‍රාහ්මණ යැ යි මම් නො කියමි. ඉදින් යමෙක් ක්ලේශපරිබෝධ ඇත්තේ වී නම්, හේ (දුටු දුටුවන්ට ‘භො භො’යී කියා ඇවිදුනා හෙයින්) භොවාදී නම් වෙයි (බ්‍රාහ්මණ නම් නො වෙයි). ක්ලේශපරිබෝධ නැති තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් කිසිත් නොගන්නා තැනැත්තහු බ්‍රාහ්මණ නමැ යි මම් කියමි.

26-14 උග්ගසේන සිටු

සබ්බසංයොජනං ඡෙත්‍වා යො වෙ න පරිතස්සති

සඞ්ගාතිගං විසඤ්ඤුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

සියලු සංයෝජන සිඳැ සිටි හෙයින් යම් රහත් පුඟුලෙක් ඒකාන්තයෙන් (ජීවිතාශා නැති හෙයින්) නො තැති ගණී ද, රාගසඞ්ගාදි සත් සඞ්ගයන් ඉක්මුණු, කෙලෙසුන්ගෙන් වියුක්ත ඒ රහත් පුද්ගලයා බ්‍රාහ්මණ යැ යි මම් කියමි.

26-15 චුල්ලරෝහිත - මහාරෝහිත බ්‍රාහ්මණයෝ

ඡෙත්‍වා නද්ධිං වරත්තඤ්ච සන්‍දාමං සහනුක්කමං

උක්ඛිත්තපලිඝං බුද්ධං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

(ක්‍රෝධ සංඛ්‍යාත) නද්ධිය හෙවත් දළ වර ද, තෘෂ්ණා නැමැති වරපට ද, අනුශයානුක්‍රම සහිත වූ (ද්වාෂෂ්ටිදෘෂ්ටි නැමැති) මහ දම ද, (ඒ ඒ මාර්‍ගයෙන්) සිඳලා, උදුරා දැමූ (අවිද්‍යා නැමැති) අගුල ඇති සිවුසස් අවබෝධ කළ ඒ ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණ නමැ යී මම කියමි.

26-16 අක්කොසකභාරද්වාජ බ්‍රාහ්මණයා නැගූ ප්‍රශ්න

අක්කොසං වධබන්‍ධං ච අදුට්ඨො යො තිතික්ඛති

ඛන්තිබලං බලානීකං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් පුද්ගලයෙක් තෙම ආක්‍රොශය ද (පාණිප්‍රහාරාදි) වධය ද (අන්‍දුබන්‍ධනාදී) බන්‍ධනය ද යන හැම අපරාධ නොකිපි සිතැත්තෙක් ව ඉවසා ද, ක්‍ෂාන්තිබලය බල කොට ඇති ඒ ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණ නමැයි මම කියමි.

26-17 සැරියුත් මහතෙරුන්ග් මෑනියන්දෑ කියූ රළු බස්

අක්කොධනං වතවන්තං සීලවන්තං අනුස්සුතං

දන්තං අන්තිමසාරීරං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

නොකිපෙන (ධුතාඞ්ග) ව්‍රතයෙන් යුක්ත වූ ශීලයෙන් පරිපූර්‍ණ වූ (තෘෂ්ණා ස්නේහයෙන්) තෙත් නොවූ දැමුනාවූ (භව කෙළවර සිටි හෙයින්) අන්තිම ආත්මභාවයෙන් යුත් ඒ ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණයෙකි යී මම කියමි.

26-18 මිනිසුන් රහතුන් වහන්සේ ගැණ කළ කතාවක්

වාරි පොක්ඛරපත්තෙ’ව ආරග්ගෙරිව සාසපො

යො න ලිප්පති කාමෙසු තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් පුද්ගලයෙක් තෙම පියුම්පතෙහි (නොරැඳෙන) දිය බිඳු මෙන් ද හිදි අග (පිහිටා නොසිටින) අබ ඇට මෙන් ද කාමයන්හි නො ඇලේ ද, ඒ අශෛක්‍ෂයා බ්‍රාහ්මණයෙකි යී මම් කියමි.

26-19 පැවිදි වූ දාසයෙක්

යො දුක්ඛස්ස පජානාති ඉධෙව ඛයමත්තනො

පන්නභාරං විසංයුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් පුද්ගලයෙක් තෙම මේ ආත්මභාවයෙහි ම තමා පිළිබඳ (ස්කන්‍ධ) දුඃඛයාගේ විනාශය දනී ද, ස්කන්‍ධභාරය බහා තැබූ කෙලෙසුන් කෙරෙන් මිදුනු ඒ ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණයෙකි යී මම කියමි.

26-20 ඛේමා ස්ථවිරාවෝ

ගම්භීරපඤ්ඤං මෙධාවිං මග්ගාමග්ගස්ස කොවිදං

උත්තමත්‍ථං අනුප්පත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

ගැඹුරු ප්‍රඥාවෙන් යුක්ත වූ විදර්‍ශනාඥානයෙන් මේධාවී වූ (මේ දුගති මග යැ මේ සුගති මග යැ මේ නිවන් මග යැ යී මෙසේ) මාර්‍ගාමාර්‍ගයන්හි දක්‍ෂ වූ (අර්‍හත්ත්‍වසඞ්ඛ්‍යාත) උත්තමාර්‍ත්‍ථයට සම්ප්‍රාප්ත වූ ඒ වීතරාග පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-21 තිෂ්‍ය ස්ථවිරයන් වහන්සේ

අසංසට්ඨං ගහට්ඨෙහි අනාගාරෙහි චූභයං

අනොකසාරිං අප්පිච්ඡං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

ගිහියන් ද පැවිද්දන් ද යන දෙ පිරිස සමග සංසර්‍ග රහිත වූ (තෘෂ්ණාසඞ්ඛ්‍යාත) ගිහි හැසිරීමෙන් බැහැර වූ අල්පෙච්ඡ වූ මෙබඳු අශෛක්‍ෂ පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-22 රහත් නමකට තැළූ පවිටි මිනිසෙක්

නිධාය දණ්ඩං භූතෙසු තසෙසු ථාවරෙසු ච

යො න හන්ති න ඝාතෙති තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් පුද්ගලයෙක් (තෘෂ්ණාසන්ත්‍රාසයෙන්) බිය සහිත වූ ද (තෘෂ්ණාසන්ත්‍රාස රහිත හෙයින්) බිය රහිත වූ ද සියලු ජනයන් විෂයයෙහි කායාදි දණ්ඩය බහා තබා තෙමේ (කිසිවකු නො නසා ද) කිසිවකු මෙරමා ලවාත් නො නස්වා ද, එබඳු ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-23 කෝපයෙන් ගැටුනු බැමිනිය

අවිරුද්ධං විරුද්ධෙසු අත්තදණ්ඩෙසු නිබ්බුතං

සාදානෙසු අනාදානං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

විරුද්ධ ලෞකික මහාජනයා අතුරෙහි අවිරුද්ධ වූ, (පරහිංසාව සඳහා) දඬුගත් ලෞකික මහජනයා අතුරෙහි නිවුනු සිතැති, පංචස්කන්‍ධවිෂයයෙහි මමත්‍වය සැලකූ ලෞකික මහා ජනයා අතුරෙහි (පස් කඳ පිළිබඳ ව මම ය මාගේ යි) ගැණීමක් නැති ඒ වීතරාග පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-24 මහාපන්‍ථකතෙරුන් චුල්ලපන්‍ථකතෙරුන්ට සැලකූසැටි

යස්ස රාගො ච දොසො ච මානො මක්ඛො ච පාතිතො

සාසපො රිව ආරග්ගා තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් කිසිවකු විසින් රාගය ද ද්වේෂය ද මානය ද (ගුණ මැකීම් ලක්‍ෂණ වූ) මක්ඛය ද, හිදි අග නොරඳන අබැටක් මෙන් (ඒ ඒ මඟ නුවණින්) බැහැර ලන ලද්දේ ද එබඳු අශෛක්‍ෂයා බ්‍රාහ්මණ යැ යි මම් කියමි.

26-25 පිලින්‍දිවච්ඡ මහාස්ථවිරයන් වහන්සේ

අකක්කසං විඤ්ඤපතිං ගිරං සච්චං උදීරයෙ

යාය නාභිසජෙ කඤ්චි තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් වචනයෙකින් කිසිවකු කුප්වා ද, එබඳු, රළු නොවූ, දෙලෝ වැඩ හඟවන්නාවූ සබවස යමෙක් පවසන්නේ ද, එසේ වූ ක්‍ෂීණාස්‍රව පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-26 උතුරුසළුවක් ගත් මහණෙක්

යො’ධ දීඝං ව රස්සං වා අණුං ථූලං සුභාසුභං

ලොකෙ අදින්නං නාදියති තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් පුද්ගලයෙක් මෙ ලොවෙහි දිගු වූ හෝ ලුහුඬු වූ හෝ අණුවූ හෝ ස්ථූල වූ හෝ යහපත් වූ හෝ අයහපත් වූ හෝ (හිමියන් විසින්) නොදෙන ලද (මෙරමා සතු) දැයක් සොර සිතින් පැහැර නො ගණී ද ඔහු බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-27 සැරියුත් මහතෙරුන්ට කළ නිගාවක්

ආසා යස්ස න විජ්ජන්ති අස්මිං ලොකෙ පරම්හි ච

නිරාසයං විසංයුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් පුද්ගලයකුහට මෙ ලොව පරලොව පිළිබඳ (රූපාදි අරමුණු උදෙසා පවත්නා) තෘෂ්ණාවෙක් නොමැත්තේ ද, තෘෂ්ණා නැති, කෙලෙසුන් කෙරෙන් සිත බැහැරැ ගිය ඔහු බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-28 මුගලන් මහතෙරුන්ට දෙසූ ධර්‍මදේශනාවක්

යස්සාලයා න විජ්ජන්ති අඤ්ඤාය අකථංකථී

අමතොගධං අනුප්පත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යමකුට තෘෂ්ණාව නැත් ද, (බුද්ධාදි අෂ්ටවස්තූන් යථාභූත වශයෙන්) දැන (එය පිළිබඳ වැ) විචිකිච්ඡාව පහ ව ගියේ ද, නිර්‍වාණයට ඇතුළත් ව එ ම ක්‍ෂේමභූමියට පැමිණියා වූ වීතරාග පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-29 පින් පව් නැසූ රේවත සාමණේරයන් වහන්සේ

යො’ධ පුඤ්ඤඤ්ච පාපඤ්ච උභො සඞ්ගං උපච්චගා

අසොකං විරජං සුද්ධං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

මෙ ලොවෙහි දී යම් පුද්ගලයෙක් කුශලාකුශල උභය පක්‍ෂය ම (රහත් මඟ නැණින්) ප්‍රහීණ කෙළේ ද, රාගාදි සඞ්ගයන් බැහැරැ කෙළේ ද ශෝකයන් ඉක්ම වූ, රාගාදී රජස් දුරැ ලූ (උපක්ලේශාපගමනයෙන්) පිරිසිදු වූ ඒ අශෛක්‍ෂයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-30 චන්‍ද්‍රාභ ස්ථවිරයන් වහන්සේ

චන්‍දං’ව විමලං සුද්ධං විප්පසන්නමනාවිලං.

නන්‍දීභවපරික්ඛීණං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

පූර්‍ණ චන්‍ද්‍රයා මෙන් නිර්‍මල වූ, පිරිසිදු වූ, වෙසෙසින් පහන් වූ, නිරාකුලවූ, භවත්‍රයය පිළිබඳ තෘෂ්ණාව ක්‍ෂය කළා වූ ඒ ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-31 සීවලි මහාස්ථවිරයන් වහන්සේ

යො ඉමං පළිපථං දුග්ගං සංසාරං මොහමච්චගා

තිණ්ණො පාරගතො ඣායී අනෙජො අකථංකථී

අනුපාදාය නිබ්බුතො තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් භික්‍ෂුවෙක් මේ (රාගාදි) පළිපථය (මඩ සහිත මගත් ක්ලේශදුර්‍ගයත් මේ සංසාර වෘත්තයත් මෝහයත්) ඉක්මැවී ද, (කාමෝඝාදි) සැඩ පහරින් එතෙර වූයේ ද, (පාරසඞ්ඛ්‍යාත) නිර්‍වාණයට පැමිණියේ ද, ධ්‍යාන වඩන්නේ ද, (එජාසඞ්ඛ්‍යාත) තෘෂ්ණාව රහිත වූයේ ද, බුද්ධාදි අෂ්ට වස්තූන් පිළිබඳ සැක නැත්තේ ද, කාමෝපාදානාදීන් (උපාදානවශයෙන්) දැඩි සේ නොගෙන ක්ලේශපරිනිර්‍වාණයෙන් නිවුනේ ද, ඒ වීතරාග පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-32 සුන්‍දරසමුද්ද තෙරුන්ට වෙසඟනක කියූ කපටි බස්

යොධ කාමෙ පහාත්‍වාන අනාගාරො පරිබ්බජෙ

කාමභවපරික්ඛීණං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් තෙම කාමයන් දුරැලා ගෘහවාසය හැර පියා පැවිදි වේ ද, කාමතෘෂ්ණා භවතෘෂ්ණා ක්‍ෂීණ කළා වූ ඒ අශෛක්‍ෂයා බ්‍රාහ්මණ යැ යි මම් කියමි.

26-33(1) ජටිල ස්ථවිරයන් වහන්සේ

යො’ධ තණ්හං පහාත්‍වාන අනාගාරො පරිබ්බජෙ

තණ්හාභවපරික්ඛීණං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

මෙ ලොව යම් පුද්ගලයෙක් තෘෂ්ණාව දුරු කොට ගෘහවාසය බැහැර ලා නික්මේ ද, කාමතෘෂ්ණා භවතෘෂ්ණා ක්‍ෂීණ කළා වූ ඒ ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-33 (2) ජෝතිය ස්ථවිරයන් වහන්සේ

හිත්‍වා මානුසකං යොගං දිබ්බං යොගං උපච්චගා

සබ්බයොගවිසංයුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

මේ සත් ලොවැ මානුෂක ආයුෂ හා පඤ්චකාම ගුණය හැර පියා දිව්‍ය ආයුෂ හා පඤ්චකාම ගුණ ද යමෙක් ඉක්මැ යේ ද, (කාමාදි) යොගයන්ගෙන් වෙසෙසින් වෙන් වූ ඒ වීතරාග පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-34 නළුවෙක්

හිත්‍වා රතිං ච අරතිං ච සීතිභූතං නිරූපධිං

සබ්බලොකාභිභුං වීරං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

පස්කම්ගුණෙහි ඇලීම ද, ආරණ්‍යවාසයෙහි උකටලි බව ද දුරැලා, නිවී ගිය සිතැති, උපධිරහිත වූ (සීලාදිගුණවලින් සියලු ලෝකය මැඩලූ, ප්‍රධානවීර්‍ය්‍ය ඇති ඒ අශෛක්‍ෂයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-35 නට පුත්‍රයා

චුතිං යො’වෙදි සත්තානං උපපත්තිං ච සබ්බසො

අසත්තං සුගතං බුද්ධං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් ශ්‍රමණයෙක් සත්ත්‍වයන්ගේ ච්‍යුති (ආසන්න) ය ද ප්‍රතිසන්‍ධි (ආසන්න) ය ද සර්‍වප්‍රකාරයෙන් ප්‍රකට කොට දන්නේ ද, (තෘෂ්ණා වශයෙන්) අලග්න වූ මනා ගති ඇති සිවුසස් පසක් කළ ඒ උත්තමයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-36 වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ

යස්ස ගතිං න ජානන්ති දෙවා ගන්‍ධබ්බමානුසා

ඛීණාසවං අරහන්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් ක්‍ෂීණාස්‍රවොත්තමයකු ගේ පහළ වීම නොහොත් (නිෂ්ඨාව) (ශක්‍රබ්‍රහ්මාදි) දෙවියෝ ද, ගාන්‍ධර්‍වයෝ ද, මනුෂ්‍යයෝ ද (කිසි ලෙසෙකින්) නො දනිත් ද, චතුරාස්‍රවයන් ක්‍ෂීණ කළා වූ, කෙලෙසුන් කෙරෙන් සර්‍වප්‍රකාරයෙන් දුරු වූ ඔහු බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-37 විශාඛ - ධම්මදින්නා දෙදෙන

යස්ස පුරෙ ච පච්ඡා ච මජ්ඣෙ ච නත්‍ථි කිඤ්චනං

අකිඤ්චනං අනාදානං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් පුද්ගලයකු විෂයයෙහි අතීත ස්කන්‍ධයන් පිළිබඳ වූ ද අනාගත ස්කන්‍ධයන් පිළිබඳ වූ ද, වර්‍තමාන ස්කන්‍ධයන් පිළිබඳ වූ ද, (තෘෂණාග්‍රහණ සඞ්ඛ්‍යාත) පළිබෝධයෙක් නැද් ද, රාගාදි කිඤ්චන රහිත වූ තෘෂ්ණා දෘෂ්ටි මාන ග්‍රහණයක් නැති ඒ වීතරාග පුද්ගලයා බ්‍රාහ්මණයැ යි මම් කියමි.

26-38 ඇතුනට බිය නො වූ අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ

උසභං පවරං වීරං මහෙසිං විජිතාවිනං

අනෙජං න්හාතකං බුද්ධං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

(භය සන්ත්‍රාස රහිත බැවින්) වෘෂභාජානීයයකු බඳු වූ (උත්තමාර්‍ත්‍ථයෙන්) ප්‍රවර වූ (වීර්‍ය්‍යසම්පන්න බැවින්) වීර වූ (මහත් වූ ශීලාදි ධර්‍මස්කන්‍ධයන් ඒෂණය කළ බැවින්) මහර්ෂී වූ (ස්කන්‍ධක්ලේශමෘත්‍යු) මාරයන් දිනූ තෘෂ්ණාවන්ගෙන් වියුක්ත වූ (මාර්‍ගඥාන සලිලයෙන්) කෙලෙස්මල සෝදා දැමූ, සිවු සස් පසක් කළ ඒ අශෛක්‍ෂයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

26-39 උණුදිය හා උක්පැණි පිදූ බ්‍රාහ්මණයා

පුබ්බෙනිවාසං යො’වෙදි සග්ගාපායං ච පස්සති

අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤාවොසිතො මුනි

සබ්බවොසිතවොසානං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යමෙක් පෙර වුසූ කඳපිළිවෙළ (ප්‍රකට කොට) දනී ද, ස්වර්‍ගය ද නිරය ද දිවැසින් දකී ද, යලි (ජාතික්‍ෂය සඞ්ඛ්‍යාත) අර්‍හත්ත්‍වඵලප්‍රාප්ත වූයේ ද, විශිෂ්ටඥානයෙන් දැන නිෂ්ඨාප්‍රාප්ත ද, සියලු කෙලෙසුන්ගේ අවසානය වූ අර්‍හත්ත්‍වමාර්‍ගඥාන නැමැති බ්‍රහ්මචර්‍ය්‍යය වැසැ නිම කළ ඒ ක්‍ෂීණාස්‍රවොත්තමයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.