ඣායිං විරජමාසීනං කතකිච්චං අනාසවං
උත්තමත්‍ථං අනුප්පත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
ධ්‍යාන කරණ (ශමථ විදර්‍ශනා වඩන), රාගාදි රජස් නැති, හුදෙකලා වැ හුන්, සිවු මඟින් කළ සොළොස් වැදෑරුම් කිස ඇති, අනාස්‍රව වූ, උත්තමාර්‍ත්‍ථයට (රහත් පලයට) පැමිණි ඒ රහත්හු බ්‍රාහ්මණයකු කොට මම් කියමි.
“බුදුරජ තෙමේ තමන්ගේ ශ්‍රාවකයන් බමුණු කොට කියාලන්නේ ය, මම ද ජාති ගෝත්‍ර විසින් බමුණු වෙමි, එහෙයින් මට ද බමුණැ යි කියන්නට වටී ය”යි සිති ගත් එක්තරා බමුණෙක් බුදුරජුන් වෙත එළැඹැ “මමත් බමුණු වෙමි, එහෙයින් මටත් බමුණු යි කියන්නට වටී ය”යි කියා සිටියේ ය. එවිට බුදුරජානන් වහන්සේ “මම ලෝකයා විසින් අරුත් නො සලකා සම්මත කර ගත් ජාති ගෝත්‍ර නාම ඇත්තකු බමුණු යි නො කියමි, මම ජාති ගෝත්‍ර නාම විසින් බමුණු යි කියා ගන්නවුන් බමුණුය යි නො පිළිගණිමි, උත්තමාර්‍ත්‍ථයට පැමිණ රහත්බව ලබා සිටින්නහුට බමුණුය යි කියමි”යි වදාරා මේ ධර්‍ම දේශනාව කළ සේක.
ඣායිං විරජමාසීනං කතකිච්චං අනාසවං,
උත්තමත්‍ථං අනුප්පත්තං තම්හං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
මම, ධ්‍යාන කරණ සුලු වූ රජස් නැති එකලා ව වෙනෙහි හුන් කළකිස ඇති ආස්‍රව නැත්තා වූ උත්තමාර්‍ත්‍ථයට පිළිවෙළින් පැමිණි ඒ රහත්හු බ්‍රාහ්මණය යි කියමි.
ඣායිං = ධ්‍යාන කරණ සුලු.
ආලම්බනොපනිද්ධ්‍යානයෙන් හා ලක්‍ෂාණොපනිද්ධ්‍යානයෙන් ධ්‍යාන කරණ සුලු වූයේ ඣායී නම්. [1]
විරජං = රජස් නැති.
තදඞ්ග - විෂ්කම්භන - සමුච්ඡෙද - ප්‍රතිප්‍රශ්ශ්‍රබ්ද්ධි - නිඃශරණ යන විමුක්තීන්ගෙන් සෝදා හළ රාගාදී වූ රජස් ඇතියේ ‘විරජ’ නම්. [2]
ආසීනං = එකලා ව හුන්.
ගණයා හා එක් ව විසීම් කෙලෙසුන් හා හැනී සිටීම් හැර දමා කයින් හා සිතින් හා හැම එකෙකින් ඈත් ව ගැඹුරු වල්හි එකලා ව හුන්නේ ‘ආසීන’ නම්. [3]
කතකිච්චං = කළකිස ඇති.
සෝවන් ඈ සිවු මග නුවණින් පරිඤ්ඤා - පහාන - සච්ඡිකිරියා - භාවනා යන ක්‍රම විසින් එක් එක් ආර්‍ය්‍යසත්‍යයක්හුගේ ප්‍රතිවේධයෙන් කළකිස ඇතියේ ‘කතකිච්ච’ නම්. [4]
පෘථග්ජන කල්‍යාණයා පටන් සප්ත ශෛක්‍ෂ්‍යයෝ සිවු මගින් කළ යුතු කටයුතු කරන්නෝ ය. කොට අවසන් නො කොළෝ ය. රහතුන් වහන්සේ ඒ සියලු කටයුතු සිවු මගින් කොට අවසන් කළෝ ය. උන්වහන්සේට එහිලා මත්තෙහි කළයුත්තකේ නැත්තේ ය. එහෙයින් උන්වහන්සේ කතකිච්ච.
අනාසවං = ආස්‍රව නැත්තා වූ.
කාම - භව - දිට්ඨි - අවිජ්ජා යන චතුරාස්‍රවයන් චතුර්විධ ආර්‍ය්‍යමාගයෙන් සුදුසු පරිදි නසා සිටියේ පැහූ ආස්‍රව ඇතියේ ‘අනාසව’ නම්. [5]
උත්තමං අත්‍ථං අනුප්පත්තං = උතුම් වූ අර්‍ත්‍ථයට පිළිවෙළින් පැමිණි.
මෙහි ‘උත්තමත්‍ථ’ නම්: රහත් බව ය. “උත්තමත්‍ථං අරහත්තං” කීයේ එහෙයිනි. ඒ මේ රහත්බවට පැමිණිය යුත්තේ පිළිවෙළින්. එය ‘පත්ත’ යනු හා එක් ව සිටි ‘අනු’ යනු උපසර්‍ගය කියා ලන්නේ ය. අනු උපසර්‍ගය, පශ්චාද්භාව - අධිෂ්ඨාන - සාමීප්‍ය - ස්වාද්ධ්‍යාය - අනුබන්‍ධ - විසර්‍ග - සදෘශ්‍ය - ආභිමුඛ්‍ය - ලක්‍ෂණ - හීන - ක්‍රම යන අරුත්හි එන්නේ ය. මෙහි සිටියේ ක්‍රමාර්‍ත්‍ථයෙහි ය.
පළමු කොට සෝවන් මගින් කෙලෙස් කොටසක්, දෙවනු ව සෙදගැමි මගින් කෙලෙස් කොටසක්, තෙවනු ව අනගැමි මගින් කෙලෙස් කොටසක්, සිවුවනු ව රහත් මගින් කෙලෙස් කොටසක් යන මෙලෙසින් සියලු කෙලෙස් නැසීමෙන් උත්තමාර්‍ත්‍ථ නම් වූ රහත් බව ලැබිය යුතුය. රහත් බවට වඩා උත්තමාර්‍ත්‍ථයක් නො වන බැවින් රහත් බව උත්තමාර්‍ත්‍ථ යි වදාළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ බ්‍රාහ්මණ තෙමේ සෝවන් පලයෙහි පිහිටියේ ය. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.
අන්‍යතරබ්‍රාහ්මණ වස්තුව නිමි.