යස්ස කායෙන වාචාය මනසා නත්‍ථි දුක්කතං
සංවුතං තීහි ඨානෙහි තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් පුගුලකුගේ කයින් ද වචසින් ද මනසින් ද සිදු වන අකුශල කර්‍මයෙක් නැද්ද, මේ තුන් තැනින් (මේ තුන් දොරින් වදනා අකුසලුන්ගේ වැළැක්ම පිණිස) වැසුනු දොර ඇති ඒ ක්‍ෂීණාස්‍රවයා බමුණකු කොට මම් කියමි.
මහප්‍රජාපති ගෞතමී තොමෝ, සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් නො උපන් වස්තුයෙහිලා “සිය වස් ගිය මෙහෙණ විසිනුදු එ දවස උපසපන් වූ මහණ වැන්ද යුතු ය”යි පණවා වදාළ:-
“උපසම්පත්තියෙන් අවුරුදු සියය ඉක්මවා සිටි මෙහෙණ ද එ දවස උපසපන් වූ මහණ වැඳිය යුතු ය, දැක නැගී සිටිය යුතු ය, ඇඳිලි බැඳිය යුතු ය, සැලකිලි දැක්විය යුතු ය,
මෙහෙණ, මහණුන් නැති ආවාසයෙහි වස් නො විසිය යුතු ය,
මෙහෙණ, අඩ මසක් පාසා මහණ සඟුන් වෙතින් පොහොය පිළිවිසිය යුතු ය, අවවාද ලැබීමට එළැඹිය යුතු ය,
වස් විසූ මෙහෙණ, මහණ මෙහෙණ සඟුන් වෙත දුටු කරුණින් ඇසූ කරුනිනි සැක කළ කරුණින් පවාරණය කළ යුතු ය,
ගරු, ඇවැතකට පැමිණි මෙහෙණ, මහණ මෙහෙණ සඟුන් වෙත පසළොස් දිනක් මානතෙහි හැසිරිය යුතු ය,
අවුරුදු දෙකක් තුළ කරුණු සයෙක හික්මුනු සිත් ඇති හික්මන විසින් මහණ මෙහෙණ සඟුන් වෙත උපසම්පදාව සෙවිය යුතු ය,
මෙහෙණ, මහණක්හට මොන ම කරුණකිනුත් ආක්‍රෝශ නො කළයුතු ය,
අද පටන් මහණුන් කෙරෙහි මෙහෙණන්ගේ අවවාද විසින් කෙරෙණ වදන් මග වසන ලද්දේ ය, මෙහෙණන් කෙරෙහි මහණුන්ගේ අවවාද විසින් කෙරෙණ වදන් මග නො වසන ලද්දේය” යන අෂ්ටගරුධර්‍ම, සැරසීම සැහැවි කොට ගත් පුරුෂයකු සුවඳවත් මල්දමක් හිසෙන් පිළිගන්නා සේ පිළිගැණීමෙන් පිරිවර සහිත ව උපසම්පදා ව ලැබූ ය. ඇයට එහි දී අන්‍ය වූ උපාද්ධ්‍යායයෙක් හෝ ආචාර්‍ය්‍යයෙක් නො වී ය. මෙසේ උපසම්පදාව ලැබූ ඒ ස්ථවිරාවන් නිසා පසු කාලයෙහි “මහාප්‍රජාපති ගෞතමියට උපාද්ධ්‍යායයකේ නැත, ආචාර්‍ය්‍යයෙක් නැත, ඕ තොමෝ තමන් සියතින් ම සිවුරු හැඳ ගත්තී ය” යි කතාවක් උපන. එයින් අන් මෙහෙණෝ ඇය කෙරෙහි කුකුස් උපදවා ඇය සමග පොහෝපවුරුණු කිරීම හැරදමා බුදුරජුන් වෙත ගොස් උන්වහන්සේට ඒ කාරණය සාල කලහ. ඉක්බිති බුදුරජානන් වහන්සේ ඒ මෙහෙණන්ගේ කතාව අසා “මහාප්‍රජාපතී ගෞතමියට අෂ්ටගරුධර්‍ම දෙසන ලද්දේ මා විසිනි. එහෙයින් මම ම ඇයගේ ආචාර්‍ය්‍ය වෙමි, මම ම ඇයගේ උපාද්ධ්‍යාය වෙමි, කායදුශ්චරිතාදියෙන් තොර වූ රහතුන් කෙරෙහි කුකුස් නො කටයුතු ය”යි වදාරා මේ ධර්‍ම දේශනාව කල සේක.
යස්ස කායෙන වාචාය මනසා නත්‍ථි දුක්කතං,
සංවුතං තීහි ඨානෙහි තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
යමක්හට කයින්, වචනයෙන්, සිතින් සිදු වන අකුශලයෙක් නැත්තේ ද, මෙ කියූ තුන් තැනින් රැකුනා වූ ඔහු, මම බ්‍රාහ්මණැ යි කියමි.
යස්ස කායෙන වාචාය මනසා නත්‍ථි දුක්කතං = යමක්හට කයින්, වචනයෙන්, සිතින් සිදුවන අකුශලයෙක් නැත් ද.
ප්‍රාණඝාතාදීන්ගේ වශයෙන් කයින්, මෘෂාවාදාදීන්ගේ වශයෙන් වචනයෙන්. අභිද්ධ්‍යාදීන්ගේ වශයෙන් සිතින් කෙරෙණ අකුසල් දුක්කත නම්. [1]
සංවුතං තීහි ඨානෙහි තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = මේ තුන් තැනින් රැකුනු ඔහු මම බ්‍රාහ්මණැ යි කියමි.
මෙ තුන් දොරින් සිදු වන අකුශලයන්ගේ වැළක්වීම පිණිස රැක ගත් තුන්දොර ඇති සිහි නුවණ හා යෙදූ තුන්දොර ඇති පුද්ගල තෙමේ බ්‍රාහ්මණ නම් වේ.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහුය.
මහාප්‍රජාපති ගෞතමී වස්තුව නිමි.
1-10 ‘පාපකාරී’ යනු බලනු. ↑