26-9 සැරියුත් තෙරුන්ගේ ගුරුන් පිදීම

යම්හා ධම්මං විජානෙය්‍ය සම්මාසම්බුද්ධදෙසිතං

සක්කච්චං තං නමස්සෙය්‍ය අග්ගිහුත්තං’ව බ්‍රාහ්මණො.

යමක්හු කෙරෙන් සම්‍යක්සම්බුද්ධයන් විසින් දෙසන ලද්දා වූ පර්‍ය්‍යාප්ති ධර්‍මය යමෙක් දන්නේ වී නම්, ඒ ආචාර්‍ය්‍යයා අග්නිහෝත්‍රයට පූජා කරණ බමුණකු මෙන් සකසා නමඳින්නේ ය.

ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ අස්සජි මහ තෙරුන් වෙතින් දහම් අසා සෝවන්පලයට පැමිණි දා සිට අස්සජි මහස්ථවිරයන් වහන්සේ වැඩ වසන දිශාවට ඇඳිලි බැඳ වැඳ හිස දමා නිදන්නාහ. භික්‍ෂූහු “ශාරීපුත්‍ර මිස දිටුවෙක, අදත් දිශානමස්කාරය කෙරෙති”යි සකා බුදුරජුන් වෙත ගොස් එ බව සැලකළහ. එකල්හි බුදුරජානන් වහන්සේ සැරියුත් මහතෙරුන් කැඳවා “ශාරීපුත්‍ර! සැබෑ ද, දිශානමස්කාරය කරහු?”යි ඇසූහ. “ස්වාමීනි! බුදුරජානන් වහන්සේ දන්නා සේකැ”යි කී කල්හි උන්වහන්සේ “මහණෙනි! ශාරීපුත්‍ර, දිශානමස්කාරයක් නො කරන්නේ ය, ඒ තැන අස්සජි තැනගෙන් දහම් අසා සෝවන්පලයට පැමිණි දා පටන් ඒ නම ගුරුවරයාට නමස්කාර කරන්නේ ය, යම් මහණෙක් යමකු ඇදුරු කොට ගෙණ බණදහම් උගත්තේ ද, උගණී ද, මත්තෙහි උගන්නේ ද ඒ මහණහු විසින් ගිනිදෙවි පුදන බමුණකු ඒ ගිනිදෙවි පුදන්නා සේ වඳින්නා සේ තමන්ගේ ඒ ගුරුවරයා සකස් කොට පිදිය යුතු ය, වැඳිය යුතු ය”යි වදාරා මේ ධර්‍ම දේශනාව කළ සේක.

යම්හාධම්මං විජානෙය්‍ය සම්මා සම්බුද්ධදෙසිතං,

සක්කච්චං තං සමස්සෙය්‍ය අග්ගහුත්තංව බ්‍රාහ්මණොති.

යමක්හු කෙරෙන් සම්මා සම්බුදුරජුන් විසින් දෙසූ ධර්‍මය (යමෙක්) දැන ගන්නේ ද ගිනිදෙවි පුදන බමුණකු මෙන් ඒ ඇදුරු සකස් කොට වඳින්නේ ය.

යම්හා ධම්මං වි‍ජානෙය්‍ය සම්මාසම්බුද්ධදෙසිතං = යමක්හු වෙතින් සම්මා සම්බුදු රජුන් විසින් වදාළ ධර්‍මය දැන ගන්නේ ද උගන්නේ ද.

සක්කච්චං තං නමස්සෙය්‍ය අග්ගිහුත්තං ඉව බ්‍රාහ්මණො = ගිනිදෙවි පුදන බමුණකු මෙන් ඒ ගුරුවරයා සකස් ව වඳින්නේ ය. වැඳිය යුතු ය.

හීන වූ හෝ මද්ධ්‍යම වූ හෝ උත්තම වූ හෝ ස්ථවිර වූ හෝ මද්ධ්‍යම වූ හෝ නවක වූ හෝ යමකු වෙතින් බුදුරජුන් වදාළ පාලි ධර්‍මයෙන් යටත් පිරිසෙයින් එක් ගාථාවක් ගාථාදර්‍ඪයක් උගත්තේ නම්, සකසා පරිචරණවිධි පැව්තවීමෙන් හා බිලියම් කිරීමෙන් ‍ගිනිදෙවි පුදන බමුණකු මෙන් ඒ ධර්‍මාචාර්‍ය්‍යවරයා සකස් ව නමස්කාර කරන්නේ ය. ඔහු වසන දෙසට ද ආදරබුහුමන් සහිතව වැඳ වැටිය යුතු ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.

ශාරීපුත්‍රස්ථවිර වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.