26-30 චන්‍ද්‍රාභ ස්ථවිරයන් වහන්සේ

චන්‍දං’ව විමලං සුද්ධං විප්පසන්නමනාවිලං.

නන්‍දීභවපරික්ඛීණං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

පූර්‍ණ චන්‍ද්‍රයා මෙන් නිර්‍මල වූ, පිරිසිදු වූ, වෙසෙසින් පහන් වූ, නිරාකුලවූ, භවත්‍රයය පිළිබඳ තෘෂ්ණාව ක්‍ෂය කළා වූ ඒ ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

පෙර බරණැස් නුවර වැසි වෙළෙන්දෙක් පිටිසර ගම්මානයකට ගොස් ගම්දොර නවාතැන් ගෙණ එහි හැසිරෙණ ගොපලු කොළුවන් දැක උන් අතින් “දරුවෙනි! වන වැද කඳු පාමුල්හි වැඩපල කරණ කිසිවෙක් මෙ ගම වෙසේ දැ?”යි ඇසී ය. උන් “වෙසේ ය” යි කී කල්හි “ඔහුගේ නම කුමක්දැ?”යි ඇසී ය. නම කීහ. අනතුරු ව ඒ වන කැමියාගේ බිරිඳගේ හා දූ පුතුන්ගේ නම් ඇසී ය. ඔවුහු උන් හැම දෙනාගේ නම් ද කීහ. “ඔහුගේ ගේ තිබෙන්නේ කොහි දැ?”යි ඇසූ විට ගේ තිබෙන තැනත් කීහ.

ඉක්බිති වෙළෙන්දා සැපපහසු ඇති රියෙක නැගී ගොපලු කොළුවන් කියූ මගසලකුණු අනුව ගොස් ඒ ගෙදොරට පැමිණ රියෙන් බැස ගෙට ඇතුල් වී වන කැමියාගේ බිරියට නම කියා අඬ ගැසී ය. ඕ තොමෝ “කතා කරන්නේ නෑයෙක් වනැ”යි සිතා වහා එළියට බැස හිඳින්නට අසුනක් පිළියෙල කොට දුන්නී ය. වෙළොන්දා එහි වාඩි වී ගෙයි ප්‍රධානියාගේ නම කියා “මාගේ යහළු කොහි දැ?”යි ඇසී ය. වන කැමිබිරිය ඔහු වලට ගියබව කී කල්හි “කෝ පුතා, අසුවලා කොහේ ද ගියේ? දූ, ගියා කොතැනැ?”යි එහි හැම දෙනාගේ නනම් කියමින් “මේ රෙදිපිළිත් අබරණත් ඒ අපගේ දූ පුතුන්ට දෙන්න, මේ රෙදිපිළිත් අබරණත් මාගේ යහළුවාට දෙන්නැ”යි කියා වනකැමි බිරියට ද එසේ ම රෙදිපිළී හා අබරණ දුන්නේ ය. ඕ තොමෝ ඔහුට මහත් සේ සත්කාර කොට හිමියා ගෙට ආ කල්හි “හිමි! ඔබගේ මේ යහළුවා මෙහි ආ වේලෙහි පටන් අප හැමදෙනාගේ නම් කියමින් මේ මේ අයට මේ මේ රෙදිපිලී අබරණ බෙදා දෙන්නැ යි කියා මට දුන්නේ ය”යි කීවා ය. ඔහු ද එයසා ඔහුට සත්කාර කෙළේ ය.

එදා රෑ වෙළෙන්දා නිදන්නට ඇඳට නැග “යහළුව! වනයෙහි කඳුපාමුල වැඩ කරණ ඔබට එහි වැඩියෙන් දකින්නට ලැබුනේ මොන අන්දමේ ගස් කොළන් දැ?”යි ඇසූ විට, “වැඩියක් මට දකින්නට ලැබුනේ රතු අතු හා රතු පැහැති කොළ ඇති ගස් වගයෙකැ”යි කී ය. “ඒ ගස් බොහෝ තිබේ දැ?”යි ඇසූ විට “ඔවු, එහි සැම තැන බොහෝ තිබෙන්නේ මේ ගස් ය”යි වන කැමියා කීයේ ය. “එසේ නම් ඒ ගස් හෙට මට පෙන්වාලව”යි කී කල්හි දෙ දෙනම පසුදා නින්දෙන් නැගිට කා බී වනයට ගියහ. එහි දී වනකැමි ඔහුට ඒ ගස් පෙන්වාලී ය. වෙළෙන්දා ඔහු සමඟ ම ඒ රත්සඳුන් ගස් කපා අතුපතර කොළ සැස දමා කඳන් සියල්ල ගැල් පන්සියයෙක් පටවා ගෙණ එනුයේ “යහළුව! මාගේ ගෙය බරණැස් නුවර අසුවල් තැන ය, කලින් කල ඉඩ පහසු ඇති විට එහි එන්න, එන විට කෑම් බීම් ඇඳුම් කැඩුම් කිසිවක් ගෙණෙනු වුවමනා නැත, කැමැති නම් කරද‍රයෙක් නො වේ නම් රතුකොළ ඇති මේ ගස් කිහිපයක් කපා දඬු මණක් ගෙණ එන්නැ”යි කියා ගියේ ය. වන කැමි ද “යහපතැ”යි අතරතුරෙහි එහි යන්නේ රත්සඳුන් දඬු ගෙණ ගොස් ඔහුට දෙන්නේ ය. වෙළෙන්දා ඒ පිණිස වනකැමියාට සෑහෙන පමණින් බොහෝ මිලමුදල් ද දෙන්නේ ය.

ඉන් මෑතකාලයෙහි කසුප් බුදුරජුන් පිරිනිවි කල්හි බරණැස් නුවර වැසි සැදැහැවත් මිනිස්සු උන්වහන්සේගේ ධාතු වඩා රන් දාගැබක් ගොඩ නැගූහ. එ දවස ඒ වනකැමි බොහෝ සඳුන් දඬු ගෙණ බරණැස තම යහළුවාගේ ගෙට ගියේ ය. වෙළෙන්දා තම යහළු පිළිගෙණ සත්කාර කොට ඒ ගෙණ ආ සඳුන් දඬු කුඩා කැබලි කොට කපා අඹරවා පාත්‍රයක් පුරවා “යහළු! එන්න, බත් පිසනතුරු දැගැබ වෙත ගොස් වැඳුම් පිදුම් කොට එමු”යි ඔහු ද කැඳවා ගෙණ දාගැබ වෙත ගියේ ය. ගොස් සඳුන් කල්කයෙන් දාගැබ පිදී ය. වනකැමි ද දාගැබ මැද සඳුන් කල්කයෙන් සඳමඬලක් කොට එයින් දාගැබ පිදූයේ ය. වනකැමියා කළ එක් ම පින්කම මෙපමණ ම වී ය. වනකැමි, මේ පින්කම කොට මඳ කලක් ගෙවා කලුරිය කොට දෙව්ලොව ඉපද එක් බුද්ධාන්තරයක් දෙව් සැප විඳ මේ බුද්ධොත්පාදයෙහි රජගහානුවර බ්‍රාහ්මණමහාසාරකුලයෙහි ඉපද ගත්තේ ය. උපන් දා සිට ඔහුගේ පෙකණියෙන් සඳමඬල සේ රැස් විහිදෙන්නට වන. එහෙයින් ඔහුට මවුපියෝ චන්‍ද්‍රාභ යි නම් කළහ. මේ සඳරැස් විහිදී ම වනාහි, එදා ඔහු සඳුන් කල්කයෙන් සඳමඩලක් වැනි මණ්ඩලයක් කොට රන්දාගැබ පිදීමෙහි අනුසස් විසින් නිපන්නේ ය.

ඉක්බිති බමුණෝ මෙය දැන “අපට මූ ගෙණ ගොස් පෙන්වා ලොව රවටා කන්නට හැකි ය”යි සිතා මවු පියන්ට කරුණු කියා තරමක් වැඩී සිටි එ දරු ගෙණ යානයෙක හිඳුවා “යමෙක් මෙ දරුගේ සිරුර පහසන්නේ නම් හෙ තෙමේ මෙබඳු මෙබඳු මහත් යසිසුරු ලබන්නේ ය”යි කියමින් තැන තැන හැසිරෙන්නට වූහ. කහවණු සියයක් දහසක් දුන්නෝ ම මොහුගේ සිරුර පහසන්නට අවසර ලැබූහ. මෙසේ කියමින් හැසිරෙණ බමු‍ණෝ සැවැත් නුවරට ගොස් නුවරටත් දෙව්රම් මහවෙහෙරටත් අතර තැනෙක නවාතැන් ගත්හ. සැවැත් නුවර වැසි පස් කෙළක් පමණ ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ පෙරවරුයෙහි දන් දී පස්වරුයෙහි සුවඳමල් රෙදිපිළී බෙහෙත් පිරිකර ගෙණ බණ අසන්නට විහාරයට යන්නෝ ය. එසේ යන ඔවුන් දුටු බමුණෝ “මේ කො තැන යන්නහු?”යි අසා “බණ අසන්නට බුදුරජුන් වෙත යමු”යි ඔවුන් කී කල්හි “මෙහාට එනු මැනැවි, ඔහේ යාමෙන් වැඩෙක් නැත, අපගේ චන්‍ද්‍රාභ බමුණු කුමරුන්ගේ ආනුභාවය තරම් ආනුභාවයෙක් කාහටත් නැත, මේ කුමරුන්ගේ සිරුර පහස්නෝ මේ මේ යසිසුරු ලබති, එහෙයින් ඇවිත් බලවු”යි කීහ. එයා ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ “බොරු නො කියවු, තොපගේ බමුණු කුමරුගේ ආනුභාවය අපි දනිමු, එය අප බුදුරජානන්ගේ ආනුභාවය ඉදිරියෙහි කදෝපැණියකුගේ ආනුභාවය තරම් ය, එය ඔය කියන තරමේ ආනුභාවයෙක් නො වේ, බුදුරජානන් වහන්සේගේ ආනුභාවය ඉතා මහත් ය”යි කීහ. මෙසේ විවාදයට වැටුනු ආර්‍ය්‍යශ්‍රාවක - බ්‍රාහ්මණ දෙපක්‍ෂයෙහි වූ‍වෝ තම තමන්ගේ හැඟීම්, පිළිගැණීම් උනුන් ලබා ගන්වන්නට නො හැකි ව චන්‍ද්‍රාභබ්‍රාහ්මණ කුමරුන්ගේ හා බුදුරජුන්ගේත් ආනුභාවය බලමු”යි චන්‍ද්‍රාභයන් ද ගෙණ විහාරයට ගියහ.

බුදුරජානන් වහන්සේ උන් තමන් වහන්සේ වෙත ලං ලං වත්ම චන්‍ද්‍රාභයන්ගේ සඳරැස් අතුරුදහන් කළ සේක. චන්‍ද්‍රාභ, බුදුරජුන් ඉදිරියෙහි අඟුරු පසෙක උන් කවුඩකු මෙන් ශොභා රහිත වූයේ ය. ඉක්බිති බමුණෝ, කුමරු බුදුරජුන් වෙතින් අන් තැනකට ගෙණ ගියහ. ඉන්පසු චන්‍ද්‍රාභගේ ශොභාව නැවැත නැගී ගත. නැවැත වරකුත් බුදුරජුන් වෙතට ඔහු ගෙණ ආහ. ඒ වරත් ශොභාව නැසී ගියා ය. මෙසේ බුදුරජුන් ඉදිරියෙහි තමන් සිටිනා කල්හි තමන්ගේ ශොභාව නිසෑ යන බවත් බුදුරජුන් බැහැර ගිය කල්හි ශොභාව නැගී සිටුනා බවත් තෙවරක් ම දුටු චන්‍දාභ තෙමේ “මේ තෙමේ සඳරැස් අතුරුදහන් කිරීමෙහි මන්ත්‍රයක් දන්නේ වනැ”යි සිතා “කිම, තමුන්නාන්සේ මාගේ ශොභාව අතුරුදහන් කිරීමෙහි මන්ත්‍රයක් දන්නහු දැ?”යි ඇසී ය. “ඔවු, දනිමි” යි බුදුරජුන් වදාළ කල්හි “එසේ නම් එය මටත් දෙනු මැනැවැ”යි ඉල්ලී ය. “නො පැවිදියනට ඒ මන්ත්‍රය දිය නො හැකි ය”යි වදාළ කල්හි චන්‍ද්‍රාභ තෙමේ “මේ මන්ත්‍රය ගතහොත් මම දඹදිව සියල්ලන් අබිබවා සිටින්නෙමි, දඹදිව ශ්‍රේෂ්ඨයා වන්නෙමි, ඒ නිසා තමුන්නාන්සේලා මා මන්ත්‍රය ‍ඉගෙණ ගන්නා තුරු දවස් කිහිපයක් මෙහි කො තැනක හෝ නවාතැන් ගෙණ සිටිවු, මම දවස් කිහිපයකින් මන්ත්‍රය උගන්නෙමි”යි බමුණන්ට කියා බුදුරජුන් වෙත ගොස් පැවිද්ද ලබා උපසපන් ද වූයේ ය. ඉක්බිති ඔහුට කාගියාසී කමටහන උගන්වා වදාළ සේක. ‍ඔහු “මේ කිමැ?”යි විචාළ කල්හි “මෙය මන්ත්‍රයට පිරියම් ය, පළමු කොට මෙය උගත යුතු ය, මෙය නො උගන්නහුට මන්ත්‍රය නො පිහිටා”යි වදාළ සේක. බමුණෝ ද අතරතුර ගොසින් “මන්ත්‍රය උගන්නෙහි දැ?”යි ඔහු විචාරන්නෝ ය. චන්‍ද්‍රාභ ද “තවම නො උගත්තෙමි”යි කියමින් කමටහන් වඩනුයේ කිහිප දවසක් යත් ම රහත් බවට පැමිණියේ ය. නැවැතත් බමුණන් අවුත් “මන්ත්‍ර උගත්තේ දැ?යි වචාළ කල්හි “ඔවු, මන්ත්‍ර උගතිමි, තෙපි යවු, මම මෙහි ම රැ‍ඳෙමි, මෙ තැනින් නො යන සැහැවි ඇතියෙම් වීමි”යි චන්‍ද්‍රාභ කීයේ ය. එය අසා සිටි භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් වෙත ගොස් “ස්වාමීනි! චන්‍ද්‍රාභ බොරු කියා තමන් රහත්යි හඟවන්නේ ය”යි සැලකළ කල්හි බුදුරජානන් වහන්සේ “මහණෙනි! ඇයි, තමුසේලා එසේ කියහු? මේ දැන් මාගේ පුත් චන්‍ද්‍රාභගේ තෘෂ්ණාව මුළුමනින් ක්‍ෂය ව ගියා ය. මොහු කියනුයේ සැබවක් මැ”යා වදාරා මේ ධර්‍මදේශනාව කල සේක.

චන්‍දංව විමලං සුද්ධං විප්පසන්නමනාවිලං,

නන්‍දීභවපරික්ඛීණං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.

පුන්සඳ මෙන් නිර්‍මල වූ පිරිසිදු වූ වසෙසින් පහන් වූ නො කැළඹූනා වූ භවයෙහි සතුට දන වන තෘෂ්ණාව ක්‍ෂය කළා වූ ඔහු, මම බමුණු යි කියමි.

චන්‍දං ඉව විමලං සුද්දං විප්පසන්තං අනාවිලං = පුන්සඳ මෙන් පිරිසිදු වූ වෙසෙසින් පහන් වූ නො කැළඹුනා වූ.

සඳ නිර්‍මල වනුයේ වලාපටල, පින්න, දුම්, රජස්, රාහු යන උවදුරු පසින් වෙන්වීමෙනි. ඒ මේ වලාපටලාදියෙන් මිදුනු සඳ‍ සේ මිදී සිටියේ මල රහිත වූයේ විමල ය. කෙලෙස් කිලිටි පහව ගියේ සුද්ධ ය. එහෙයින් ම පහන් සිතැතියේ විප්පසන්ත ය. කෙලෙස් මඩ බොර නැති බැවින් නො කැළඹුනු සිතැතියේ අනාවිල ය.

නන්‍දිභවපරික්ඛීණං තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = භවයෙහි සතුට දන වන තෘෂ්ණාව ක්‍ෂය කළා වූ ඔහු, මම බමුණු යි කියමි.

‘නන්‍දි’ නම්, තෘෂ්ණා ය. භවයෙහි ඇලීම උපදවන බැවිනි. සත්ත්‍වයා භවයෙහි අලවන්නී තෘෂ්ණා ය. එය තෘෂ්ණාවෙහි එක්තරා ගති විශේෂයෙකි. භවපත්‍ථනා යනු ද මෝ ය. [1] භවය, කාමභව - රූපභව - අරූපභව විසින් තෙවැදෑරුම් ය. ඒ මේ භවයෙහි ඇලීම ‘නන්‍දිභව’ නම්. නන්‍දීභවය ක්‍ෂය කෙළේ නන්‍දීභවපරික්ඛීණ.

තෘෂ්ණාව ‘නන්‍දි’යි කියනු ලබන්නී කාම - රූප - අරූපභවයන්හි සත්ත්‍වයා අලවන බැවිනි. භවයෙහි සත්ත්‍වයා ඇලී සිටිනුයේ යම් ශක්තියකින් නම් ඒ අර්‍ත්‍ථයගෙණ තෘෂ්ණාව නන්‍දී නම් වූ ය. එක් අරමුණෙක්හි එක් වරක් උපන් තෘෂ්නාව නන්‍දී යි ද නැවැත නැවැත උපන් තෘෂ්ණාව නන්‍දිරාග යි ද කියනු ලැබේ. මේ අටුවා:- “යත්‍ථ කත්‍ථ චි ගවෙසන්තා සත්තා එතාය නන්‍දනිත සයං වා නන්‍දතීති නන්‍දි, තත්‍ථ එකස්මිං ආරම්මණෙ සකිං උප්පන්තාතණ්හා නන්‍දි, පුනප්පුනං උප්පජ්ජමානා නන්‍දිරාගොති වුච්චති” යනු. නන්‍දී යන මෙයින් රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන අරමුණු කෙරෙහි උපන් තෘෂ්ණාව රූපනන්‍දී - සද්දනන්‍දී - රසනන්‍දී - ගන්‍ධනන්‍දී - ඵොට්ඨබ්බනන්‍දී යි ද වෙන් වෙන් කොට ද දක්න ලද ය. මේ අටුවා:- “රූපාදිසු වා ආරම්මණෙසු තත්‍ර තත්‍ර අබිනන්‍දිනී රූපාභිනන්‍දිනී සද්ද - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බාභිනන්‍දිනීති අත්‍ථො, තත්‍ර තත්‍ර අභිනන්‍දීතිපි පාඨො" යනු.

තව ද සමහර තැනෙක නන්‍දී යන මෙයින් සුඛසංඥා - ආත්මසංඥා හා තෘෂ්ණාසම්ප්‍රයුක්තදෘෂ්ටිය ද ගණු ලැබේ.

වලාපටලාදියෙන් මිදුනු නිර්‍මල වූ පූර්‍ණචන්‍ද්‍රයා සේ කෙලෙස් මල මුදාලූ බැවින් නිර්‍මල වූ සිත් ඇති සියලු කෙලෙස් කිලිටි පහකළ බැවින් පිරිසිදු වූ සිත් ඇති එහෙයින් වෙසෙසින් ම පහන් වූ සිත් ඇති බැවින් නො කැළඹුනු සිත් ඇති ඔහු, බ්‍රාහ්මණ නම් වන්නේ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.

චන්‍ද්‍රාභස්ථවිර වස්තුව නිමි.

  1. 14-6 ‘දුක්ඛසමුප්පාදං’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.