26-2 බුදුරජුන් වෙත පැමිණි භික්ෂූන් වහන්සේලා

යදා ද්වයෙසු ධම්මෙසු පාරගූ හොති බ්‍රාහ්මණො

අථස්ස සබ්බෙ සංයොගා අත්‍ථං ගච්ඡන්ති ජානතො.

බමුණු තෙම (හෙවත් රහත් තෙම) යම් කලෙක ශමථවිදර්‍ශනා දහම් දෙක්හි පර තෙරට ගියේ වේ ද, එ කලැ චතුස්සත්‍යයන් මොනොවට දන්නා ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයාගේ සියලු සංයෝගයෝ (කාමයොගාදීහු) ක්‍ෂයයට පැමිණෙන්නාහ.

බුදුරජානන් වහන්සේ දෙව්රම් මහවෙහෙර වැඩවසන එක් දවසෙක දිසාවැසි භික්‍ෂූන් වහන්සේලා තිස් නමක් පැමිණ බුදුරජුන් වැඳ පසෙකට වී හුන්හ. ඒ වේලෙහි එහි වැඩහුන් සැරියුත් මහතෙරණුවෝ ඒ භික්‍ෂූන්ට රහත් වන්නට තුබූ හේතුසම්පත් දැක බුදුරජුන් වෙත එළැඹැ “ස්වාමීනි! ධර්‍ම දෙකෙක් වේ ය යි කියනු ලැබේ, ස්වාමීනි! ඒ ධර්‍ම දෙක කවරේ දැ”යි ඇසූහ. “ශාරීපුත්‍ර එ දෙක, ශමථවිදර්‍ශනා”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

යදා ද්වයෙසු ධම්මෙසු පාරගූ හොති බ්‍රාහ්මණො,

අථස්ස සබ්බෙ සංයොගා අත්‍ථං ගච්ඡන්ති ජානතොති.

බ්‍රාහ්මණ තෙමේ යම් කලෙක දෙ වැදෑරුම් වූ ධර්‍මයෙහි පරතෙරට ගියේ වේ ද, එකල්හි සිවු සස්දහම් මනා කොට දන්නා වූ ඒ බ්‍රාහ්මණයාගේ සියලු සංයෝගයෝ විනාශයට යන්නාහු ය.

යදා ද්වයෙසු ධම්මෙසු පාරගූ හොති බ්‍රාහ්මණො = බ්‍රාහ්මණ තෙමේ යම් කලෙක ධර්‍ම දෙකෙක පරතෙරට ගියේ වේ ද.

‘ද්වයෙසු ධම්මෙසු’ යන මෙයින් ශමථ - විදර්‍ශනා ධර්‍ම දෙක්හි, යන අරුත් ගැනේ. යට කියන ලදි. [1]

පාරගූ නම්: පරතෙරට ගියේ ය. අභිඤ්ඤාපාරගූ - පරිඤ්ඤාපාරගූ - පහානපාරගූ - භාවනාපාරගූ - සච්ඡිකිරියාපාරගූ - සමාපත්තිපාරගූ යන මොවුහු මෙහි ඇතුළත් වෙත්. තමන් ලත් නුවණින් ඤාත පරිඤ්ඤායෙන් නිවනට ගියේ ‘අභිඤ්ඤාපාරගු’. සියලු ධර්‍මයන් තීරණපරිඤ්ඤායෙන් ඉක්මවා ගියේ ‘පරිඤ්ඤාපාරගු’. සමුදය පාක්‍ෂික වූ සියලු කෙලෙස් පහානපරිඤ්ඤායෙන් ඉක්මවා ගියේ ‘පහානපාරගූ’. භාවනායෙන් සසර කෙළවරට පැමිණ මාර්‍ගයන්ගේ වශයෙන් නිර්‍වාණපාරයට ගියේ ‘භාවනාපාරගූ’. ඵලනිර්‍වාණ වශයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් ඵලනිර්‍වාණපාරයට ගියේ ‘සච්ඡිකිරියාපාරගූ’. අටවැදෑරුම් සමාපත්තීන්ගේ පාරයට ගියේ ‘සමාපත්තිපාරගූ’. රහතුන් වහන්සේ ය. “තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො” ති ඛො භික්ඛවෙ, අරහතො එතං අධි වචනං, සො අභිඤ්ඤාපාරගූ පරිඤ්ඤාපාරගූ පහානපාරගූ භාවනාපාරගූ සච්ඡිකිරයාපාරගූ සමාපත්තපාරගූ” ති යනු දේශනා ය. යමෙක් පාරයට යනු කැමැත්තේ නම් හේද පාරගූ. යමෙක් පාරයට යේ නම් හේ ද පාරගු. යමෙක් පාරයට ගියේ නම් හේ ද පාරගු. යොපි පාරං ගන්තුකාමො සොපි පාරගු, යොපි පාරං ගච්ඡති සොපි පාරගු, යොපි පාරං ගතො සොපි පාරගු” යනු ද දතයුතු ය. මෙහි ද බ්‍රාහ්මණ, රහතුන් වහන්සේ ය.

අථ අස්ස සබ්බෙ සංයොගා අත්‍ථං ගච්ඡන්ති ජානතො = එකල්හි සිවු සස්දහම් දන්නා වූ බ්‍රහ්මණයාගේ සියලු සංයෝගයේ විනාශයට යන්නාහ.

දුඃඛසත්‍යය දතයුතු ය, සමුදය සත්‍යය දුරු කළ යුතු ය, නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කළයුතු ය, මාර්‍ගසත්‍යය වැඩිය යුතු ය, යනු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයන් සත්‍යඥානාදීන්ගේ වශයෙන් දන්නා වූ ඒ ක්‍ෂීණාස්‍රවබ්‍රාහ්මණයාගේ සියලු සංයෝගයෝ මුළුමනින් නැසී යන්නාහ.

මෙහි ‘ සංයොග’ නම්: කාමයෝග - භවයෝග - දිට්ඨියෝග - අවිජ්ජායෝග යන මේ ය. සත්ත්‍වයන් සසර යොදන බැවින් ‘සංයෝග’ නම්. මේ කාමයෝගාදීන්ගේ මුඛයෙන් සෙසු කෙලෙස් ද ගන්නා ලද ය. එහෙයින් කාමයෝගාදීන් හා සෙසු කෙලෙස්හු ද නැසී යන්නාහ. [2]

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ සියලු භික්‍ෂූහු රහත්බැව්හි පිහිටියාහු ය.

සම්බහුල භික්‍ෂු වස්තුව නිමි.

  1. 23-2 ‘සබ්බෙ සඞ්ඛාර අනිච්චාති’ යනු බලනු.

  2. 2-1 ‘යොගක්ඛෙමං’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.