හිත්‍වා රතිං ච අරතිං ච සීතිභූතං නිරූපධිං
සබ්බලොකාභිභුං වීරං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
පස්කම්ගුණෙහි ඇලීම ද, ආරණ්‍යවාසයෙහි උකටලි බව ද දුරැලා, නිවී ගිය සිතැති, උපධිරහිත වූ (සීලාදිගුණවලින් සියලු ලෝකය මැඩලූ, ප්‍රධානවීර්‍ය්‍ය ඇති ඒ අශෛක්‍ෂයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
එක්තරා නළුවෙක් නළු නැටුම් දක්වමින් ගම් නියම්ගම්හි හැසිරෙණුයේ බුදුරජුන් වෙත පැමිණ බණ අසා පැවිදි ව රහත් වූයේ ය. ඔහු, බුද්ධ ප්‍රමුඛ භික්‍ෂු සඞ්ඝයා සමග පිඬු සිඟා ගිය දවසෙක භික්‍ෂූන් වහන්සේලා කෙළින නළුවකු දැක “ඇවැත්නි! අර නළු, තමුන්නාන්සේ කෙළි නැටුම් කළා සේ කෙළි නැටුම් කරන්නේ ය, එහි ඔබට ඇල්මෙක් වේ දැ?”යි ඇසූහ. උන්වහන්සේ “කෙළි නළුයෙහි මට ඇල්මක් නැතැ”යි කීහු. එ කල්හි ඒ භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් වෙත ගොස් “ස්වාමීනි! මේ උන්නාන්සේ බොරු කියා තමන් රහත් යි හඟවති”යි සැලකළහ. ඔවුන්ගේ බස් ඇසූ බුදුරජානන් වහන්සේ “මහණෙනි! මාගේ පුත් හට කෙළි නළු විසයයෙහි එබඳු ඇල්මෙක් නැත්තේ ය, මා පුත් සියලු යෝගයන් දුරු කර සිටුනේ ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
හිත්‍වා මානුසකං යොගං දිබ්බං යොගං උපච්චගා,
සබ්බයොගවිසංයුත්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
යමෙක් මිනිසුන් පිළිබඳ ආයුෂය හා පස් කම් ගුණය ද හැර දෙවියන් පිළිබඳ ආයුෂය හා පස් කම් ගුණය ඉක්මවා ගියේ ද සියලු යෝගයන්ගෙන් වෙන් වූ ඔහු, මම බමුණු යි කියමි.
හිත්‍වා මානුසකං යොගං දිබ්බං යොගං උපච්චගා = (යමෙක්) මිනිසුන් පිළිබඳ ආයුෂය හා පස්කම් ගුණය හැර දෙවියන් පිළිබඳ ආයුෂය හා පස්කම් ගුණය ඉක්මවා ගියේ යද.
‘මානුසකං’ යන මෙයින් මිනිසුන් පිළිබඳ මිනිසුන් අයත් හැම දැයක් කිය හැකි වුව ද, මෙහි එය ‘ යොගං’ යන්න හා එක්වනුයේ කාමයෝගය කියන්නේ ය. මිනිසුන් පිළිබඳ ආයුෂය ද එහි වැදී සිටුනේ ය. අටුවායෙහි මෙය මෙසේ ආයේ ය :- “මානුසකං යොගන්ති මානුසකං ආයුඤ්චෙව පඤ්චකාමගුණා ච”යි. ‘දිබ්බං යොගං’ යන දෙ පදයෙහි ද කිය යුතු මෙසේ ය. “දිබ්බයොගෙපි එසොව නයො” යි කීයේ එහෙයිනි. [1]
මිනිසුන් පිළිබඳ ආයුකාල ය, දෙව්බඹුන් පිළිබඳ ආයුකාල ය මෙන් මෙතෙකැ යි ප්‍රමාණවත් කොට දැක්විය නො හැකි ය. මිනිසුන්ගේ ආයුකාලය පවත්නේ ඔවුන්ගේ කර්‍මවේගය පවත්නා තුරු ය. ඔවුහු එතෙක් ම ජීවත් වෙති. මිනිසුන්ගේ ච්‍යුතිය ආයු ගෙවී යෑමෙන් පින් ගෙවී යෑමෙන් කර්‍මවේගය ගෙවී යෑමෙන් උපච්ඡෙදක කර්‍මයක්හුගේ ලං වීමෙන් සිදු වන්නී ය. ඇතැම් දෙවියන් පිළිබඳ ව ද මෙසේ වන්නේ ය. මිනිසුන් අතර ඇතැම් කෙනෙක් දිගා ඇතියෝ වෙති. විශාඛා මහා උපාසිකා, පොක්ඛරසාති බ්‍රාහ්මණ, බ්‍රහමායු බ්‍රාහ්මණ, සෙලබ්‍රාහ්මණ, පාවාරිය බ්‍රාහ්මණ, ආනන්‍ද මහාස්ථවිර, මහාකාශ්‍යප මහාස්ථවිර යන මොවුහු එක්සිය විස්සක් අවුරුදු ජීවත් වූහ. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ ආයුකාලය අවුරුදු එක් සිය පණසෙකි. බක්කුල ස්ථවිරයන් වහන්සේ එක් සිය සැටක් ජීවත් වූ හ. උන්වහන්සේ ම වැඩි ආයු කාලයක් ගෙවූහ.
මිනිසුන් පිළිබඳ කාමසම්පත්තීහු ද උස්පහත් විසින් විවිධ වෙති. මොහු පිළිබඳ කාමසම්පත්තිය මෙතරම් ය, මොහු පිළිබඳ මෙතරම් ය, යි මිනිය නො හැකි ය. ගිණිය නො හැකි ය. මිනිසුන් විසින් ඒ ඒ ජාතීන්හි කරණ ලද පුණ්‍යකර්‍මයන්ගේ වශයෙන් කාමසම්පත්තීනගේ ප්‍රතිලාභය වන්නේ ය. එහෙයින් බුදුරජානන් වහන්සේ මෙසේ වදාළ සේක:- “අප්පායුකසංවත්තනිකා පටිපදා අප්පායු කත්තං උපනෙති. දිඝායුකසංවත්තනිකා පටිපදා දිඝායුකත්තං උපනෙති. බවහාබාධසංවත්තනිකා පටිපදා බවහාබාධත්තං උපනෙති. අප්පාබාධසංවත්තනිකා පටිපදා අප්පාබාධත්තං උපනෙති. දුබ්බණ්ණසංවත්තනිකා පටිපදා පාසාදිකත්තං උපනෙති” යනාදී විසින්
දෙවියන් පිළිබඳ ව ද කාමසම්පත්තිප්‍රතිලාභය වෙනස් ව සිටි යි. මෙයින් එක් දෙවියෙක් අන් දෙවියකු පරදවා සිටි යි.
සබ්බයොගවිසංයුත්තං තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = සියලු යෝගයන්ගෙන් වෙන් වූ ඔහු, මම බමුණු යි කියමි.
කාම - භව - දිට්ඨි - අවිජ්ජා යන මේ ය සබ්බයොග. මෙ කියූ චතුර්විධ යෝගයන්ගෙන් වෙන් වූයේ ‘සබ්බයොගවිසංයුත්ත’ නම් වේ. [2]
යමෙක් මිනිසුන් පිළිබඳ ආයුෂය හා පස්කම් සැපය හැර දමා දෙවියන් පිළිබඳ ආයුෂය හා පස්කම් සැපය ඉක්ම ගියේ ද මෙසේ සියලු යෝගයන්ගෙන් වෙන් ව සිටියේ ද ඔහු බ්‍රාහ්මණ නම් වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
නටපුත්‍ර වස්තුව නිමි.