පංසුකූලධරං ජන්තුං කිසං ධමනිසන්‍ථතං
එකං වනස්මිං ඣායන්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
පවුල් සිවුරු දරණ, කෘශ සිරුරු ඇති, නහර ඉල්පුනු කය ඇති, ගැඹුරු වෙනෙහි හුදෙකලා වැ භාවනා කරන ඒ පුඟුලහු බ්‍රාහ්මණ යැ යි මම් කියමි.
එක් දවසක් සක්දෙව් රජ තෙමේ පෙරයම දස පැය ඉක්ම ගිය පසු දෙදෙව් ලොව දෙවියන් පිරිවරා ගෙන බුදුරජුන් වෙත එළැඹැ වැඳ සිහිකටයුතු සිත් ගන්නා සුලු බණ කතාවක් අසමින් එකත් පසෙක හුන්නේ ය. ඒ වේලෙහි කිසාගෝතමී තොමෝ බුදුරජුන් දක්නා පිණිස අහසින් ආවා සක්දෙවිඳු දැක බුදුරජුන් වෙත නො ගොස් මග නැවතී ගත්තා ය. සක්දෙවිඳු මග නැවතුනු කිසාගෝතමිය දැක “ස්වාමීනි! මෙහි එන්නට අවුත් බුදුරජානන් වහන්සේ දැක හැරී යන ඕ කවර?”යි ඇසී ය. බුදුරජානන් වහන්සේ “මහරජ! ඕ කිසාගෝතමී, මාගේ දූ, පියුමතුරා බුදුරජුන් දවස හංසවතී නුවර කුලගෙයක උපන්නී ඒ බුදුරජුන් දෙසූ ධර්‍මදේශනාවක් අසා එහිදී බුදුරජුන් විසින් එක් මෙහෙණක රළුසිවුරු දරණ මෙහෙණන් අතර අගතැන තබනු දැක පින් කොට ඒ තනතුර පැතූ ය, ඕ කල්පලක්‍ෂයක් දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරන්නී මෙ දවස සැවැත් නුවර දිළිඳු කුලයෙක උපන්නී වැඩිවිය පැමිණියා විවාහජීවිතයට ඇතුළත් වූ ය, ටික දවසක් ගිය තැන පුතකු ද වැදූ ය, එ දරු දුවපැන ඇවිදිමින් කෙළින වයසෙහි සිටියේ කලුරිය කෙළේ ය, එයින් ඇයට මහත් ශෝකයෙක් උපන, මළපුතු කර තබා ගෙණ ‘මාගේ පුතුට බෙහෙතක් කියව’යි හැසිරෙන්නට වන, එකල එක් නුවණැති මිනිහෙක් ඇය මා වෙතට පමුණුවාලී ය, එහි දි මම ඇයට දහම් දෙසා ඇයගේ සිත් තුළ නැගී තුබූ ශෝකය සන්සිඳ වී මි, ඉන්පසු,
“තං පුත්ත පසුසම්මත්තං බ්‍යාසත්තමනසං නරං,
සුත්තං ගාමං මහොඝොව මච්චු ආදාය ගච්ඡති”
යන ගයින් දහම් දෙසීමි, එහි අවසනැ ඕ සෝවන්පලයට පැමිණියා පැවිද්ද ඉල්ලූ ය, මම ඇයට පැවිද්ද අනුදැනීමි, ඉන් පසු මෙහෙණවරකට ගොස් පැවිදි වූවා, උපසම්පදාව ද ලබා නො බෝ දවසක දී විදර්‍ශනා වඩා රහත් බවට පැමිනියා රළු සිවුරු දරමින් හැසුරුණී ය, ටික දවසක් ගිය තැන ඕ පවුල් සිවුරු දරණ මෙහෙණන් අතර අගතැන්පත් වූ ය”යි වදාරා මේ ධර්‍ම දේශනාව කළ සේක.
පංසුකූලධරං ජන්තුං කිසං ධමිනිසන්‍ථතං,
එකං වනස්මිං ඣායන්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
පවුලු සිවුරු දරන්නා වූ කෘශ වූ නහර වැලින් ගැවසී ගත් සිරුර ඇති වනයෙහි එකලා ව ධ්‍යාන කරන්නා වූ ඒ පුද්ගලයා මම බ්‍රාහ්මණැ යි කියමි.
පංසුකූලධරං ජන්තුං = පවුල් සිවුරු දරණ පුද්ගලයා.
සොහොන් කසළගොඩ ආදියෙහි දැමූ ඒ ඒ තැනින් අවුලා ගත් රෙදි කඩින් සකස් කොට ගත් සිවුර ‘පංසුකූල’ නම්. එබඳු සිවුරක් දරණුයේ පංසුකූලධර. [1]
කිසං ධමනිසන්‍ථතං = කෘශ වූ නහර වැලින් ගැවසී ගත්.
මස් ලේ වියලී ගියේ ‘කිස’ නම්. නහර ඉල්පී සිටි සිරුරු ඇතියේ ‘ධමනිසන්‍ථත’ නම්.
පංසුකූලිකයෝ තමාට අනුරූප වූ පිළිවෙත් පුරන්නෝ මස් ලේ වියලී ගියෝ වෙත්. එහෙයින් ම ඔවුහු නහර ඉල්පී සිටි උඩට මතු වූ නහර ඇතියෝ වෙත්. “පංසුකූලිකා හි අත්තනො අනුරූපං පටිපදං පුරෙන්තා අප්පමංසලොහිතායෙව හොන්ති ධමනිසන්‍ථතගත්තා ච” යනු අටුවා.
එකං වනස්මිං ඣායන්තං තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = වනයෙහි එකලා ව ධ්‍යාන කරන්නා වූ, ඔහු මම බ්‍රාහ්මණැ යි කියමි.
මෙහි ‘එකං’ යන්නෙන් ගණසඞ්ගණිකාව හැර විවේකයෙන් කල් ගෙවනුයේ ද ද්විධධ්‍යානයෙන් ධ්‍යාන කරණුයේ ‘ඣායන්තං’ යන්නෙන් ද ගැණෙත්.
මම, පවුල් සිවුරු දරණ වියලී ගිය මස් ලේ නිසා ඉස්මතු වූ නහරින් යුත් සිරුරු ඇති දුර සෙනසුනෙහි එකලා ව හිඳ ධ්‍යාන කරන්නහු බ්‍රාහ්මණැ යි කියමි.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
කිසාගෝතමී වස්තුව නිමි.
7-6 ‘සුබ්බතො’ යනු බලනු. ↑