චක්ඛුනා සංවරො සාධු සාධු සොතෙන සංවරො
ඝාණෙන සංවරො සාධු සාධු ජිව්හාය සංවරො.
ඇසින් (චක්‍ෂුර්ද්වාරයෙන්) සංවරය යහපති. කණින් (ශ්‍රෝත්‍රද්වාරයෙන්) සංවරය යහපති. නැහැයෙන් (ඝ්‍රාණද්වාරයෙන්) සංවරය යහපති. දිවින් (ජිහ්වාද්වාරයෙන්) සංවරය යහපති.
කායෙන සංවරො සාධු සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු සාධු සබ්බත්‍ථ සංවරො.
සබ්බත්‍ථ සංවුතො භික්ඛු සබ්බදුක්ඛා පමුච්චති.
කයින් (කායද්වාරයෙන්) සංවරය මැනැවි. වචසින් (වාග්ද්වාරයෙන්) සංවරය යහපති. සිතින් (මනෝද්වාරයෙන්) සංවරය යහපති. චක්‍ෂුරාදි වූ සදොර රැකීම මැනැවි. චක්‍ෂුරාදි සදොරෙහි ම සංවෘත වූ භික්‍ෂු තෙම සියලු සසර දුකින් මිදෙයි.
හත්‍ථසඤ්ඤතො පාදසඤ්ඤතො
වාචාය සඤ්ඤතො සඤ්ඤතුත්තමො
අජ්ඣත්තරතො සමාහිතො
එකො සන්තුසිතො තමාහු භික්ඛුං.
(යමෙක්) අතින් සංයත ද, පයින් සංයත ද, වචනයෙන් සංයත ද, කයින් සංයත ද, කමටහන් වැඩීමෙහි ඇලුනේ ද, සමාධියෙන් යුක්ත ද, එකලා ව හැසිරෙන්නේ ද, තුටු සිතැත්තේ ද, ඔහු භික්‍ෂුහු කොට කියති.
යො මුඛසඤ්ඤතො භික්ඛු මන්තභාණී අනුද්ධතො
අත්‍ථං ධම්මං ච දීපෙති මධුරං තස්ස භාසිතං.
මුඛසංයත වූ යම් මහණෙක් නුවණින් යෙදී බණන සුලු ද, සන්හුන් සිතැත්තේ ද, අර්‍ත්‍ථයත් පාළියත් සකසා දක්වා ද, ඔහුගේ වචනය මිහිරි වෙයි.
ධම්මාරාමො ධම්මරතො ධම්මං අනුවිචින්තයං
ධම්මං අනුස්සරං භික්ඛු සද්ධම්මා න පරිහායති.
(ශමථවිදර්‍ශනා) ධර්‍ම නිවාසස්ථාන කොට ඇති, ධර්‍මයෙහි ඇලුනු, ධර්‍මය නැවත නැවත සිතන, ධර්‍මය නැවත නැවත සිහි කරන භික්‍ෂු තෙම සද්ධර්‍මයෙන් නො පිරිහෙයි.
සලාභං නාතිමඤ්ඤෙය්‍ය නාඤ්ඤෙසං පිහයං චරෙ
අඤ්ඤෙසං පිහයං භික්ඛු සමාධිං නාධිගච්ඡති.
ස්වකීය ලාභයට (තමා ලත් දැයට) අවමන් නො කරන්නේ ය. මෙරමාගේ ප්‍රණීත වූ ලාභය පතමින් නො හැසිරෙන්නේ ය. අනුන්ගේ ප්‍රත්‍යයලාභය කැමැති වන භික්‍ෂු තෙම සමාධියට නො පැමිණෙයි.
අප්පලාභො’පි චෙ භික්ඛු සලාභං නාතිමඤ්ඤති.
තං වෙ දෙවා පසංසන්ති සුද්ධාජීවිං අතන්‍දිතං.
ප්‍රත්‍යයලාභී නො වූ ද මහණ තෙම ඉදින් (ගෙපිළිවෙළින් සිඟා ලත්) තමාගේ ලාභය හෙලා නො දක්නේ ද, පිරිසිදු වූ ජීවිකා ඇති (ජඞ්ඝාබල නිසා ජීවත් වන බැවින්) අකුසීත වූ ඒ මහණහට ඒකාන්තයෙන් දෙවියෝ ද ස්තුති කෙරෙත්.
සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං
අසතා ච න සොචති ස වෙ භික්ඛූ’ති වුච්චති.
යමකුහට නාමරූප දෙක්හි සර්‍වප්‍රකාරයෙන් ම මමායනයෙක් (මම ය මගේ යැ යි ආත්ම ආත්මීය වශයෙන් ගැන්මෙක්) නැද්ද, ඒ නාමරූප නැසී යෑම හේතු කොට ගෙණත් ශෝක නො කෙරේ ද, ඒ ක්‍ෂීණාස්‍රව තෙම භින්නක්ලේශ බැවින් භික්‍ෂු යැ යි කියනු ලැබේ.
මෙත්තාවිහාරී යො භික්ඛු පසන්නො බුද්ධසාසනෙ.
අධිගච්ඡෙ පදං සන්තං සඞ්ඛාරූපසමං සුඛං.
යම් මහණෙක් මෛත්‍රීවිහරණ ඇත්තේ ද, බුදුසස්නෙහි අචල ශ්‍රද්ධා ඇත්තේ ද, එ බඳු මහණ තෙම සියලු සංස්කාරයන් සන්හිඳුවන අත්‍යන්ත සුඛය වූ ශාන්තපදය (නිවණ) ලබන්නේ ය.
සිඤ්ච භික්ඛු ඉමං නාවං සිත්තා තෙ ලහුමෙස්සති
ඡෙත්‍වා රාගං ච දොසං ච තතො නිබ්බාණමෙහිසි.
මහණ, මේ (අත්බව් නැමැති) නැව (එහි වූ මිත්‍යාවිතර්‍ක නැමැති ජලය ඉසීමෙන්) ඉස පිය. තා විසින් ඉස පියන ලද එය වහා ම (සසර සයුරැ නො ඇලී) නිවන්පුරට යන්නේ ය. රාග බැම්ම ද ද්වේෂ බැම්ම ද සිඳ ඉක්බිත්තෙන් නිවණට පැමිණෙන්නෙහි ය.
පඤ්ච ඡින්‍දෙ පඤ්ච ජහෙ පඤ්ච චුත්තරි භාවයෙ
පඤ්චසඞ්ගාතිගො භික්ඛු ඔඝතිණ්ණො’ති වුච්චති.
(සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස කාමරාග ව්‍යාපාද යන) සංයෝජන පස (සෝවාන් ආදි යට තුන් මඟින්) සිඳින්නේ ය. (රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන) උද්ධම්භාගිය සංයෝජන පස රහත් මඟින් සිඳැ දුරැ ලන්නේ ය. (උද්ධම්භාගිය සංයෝජනයන් නසනු පිණිස) ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය පස අධික කොට වඩන්නේ ය. මෙසේ කොට (රාග ද්වේෂ මෝහ මාන දෘෂ්ටි යන) සඞ්ග පස ඉක්මුනු මහණ තෙම කාමෝඝාදි සතර මහ වතුරෙන් එතෙර වූයේ යැ යි කියනු ලැබේ.
ඣාය භික්ඛු මා ච පමාදො
මා තෙ කාමගුණෙ රමෙස්සු චිත්තං
මා ලොහගුළං ගිලී පමත්තො
මා කන්‍දි දුක්ඛමිදන්ති ඩය්හමානො.
මහණ, ධ්‍යාන වඩව. තුන් සුසිරිතෙහි පමා නො වව. තාගේ සිත පස්කම් කොටස්හි නහමක් බමව. පමා වූයේ (පස්කම්හි ගිජු වූයේ) නිරයෙහි ඉපිද ලොහොගුළ නො ගිල. නිරා ගින්නෙහි දැවෙමින් මේ දුකැ යි නහමක් හඬ.
නත්‍ථි ඣානං අපඤ්ඤස්ස පඤ්ඤා නත්‍ථි අඣායතො
යම්හි ඣානං ච පඤ්ඤා ච ස වෙ නිබ්බාණසන්තිකෙ.
(ධ්‍යානෝත්පාදක වීර්‍ය්‍ය සම්ප්‍රයුක්ත) ප්‍රඥාව නැත්තහුට ධ්‍යානයෙක් නැත. භාවනා නො කරන්නාට ප්‍රඥාව නැත. යමක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇද්ද, හෙ තෙම ඒකාන්තයෙන් නිවනට සමීප ව සිටියේ ම වේ.
සුඤ්ඤාගාරං පවිට්ඨස්ස සන්තචිත්තස්ස භික්ඛුනො
අමානුසී රති හොති සම්මා ධම්මං විපස්සතො.
ශුන්‍යාගාරයකට (ජනවිවික්තස්ථානයකට) වන්, නිවුණු සිත් ඇති, රූපාරූපධර්‍ම මොනවට අනිත්‍යාදි වශයෙන් වෙසෙසින් බලන මහණහට අමානුෂක වූ (අෂ්ටසමාපත්ති සංඛ්‍යාත වූ) දිව්‍ය රතිය වේ.
යතො යතො සම්මසති ඛන්‍ධානං උදයබ්බයං
ලභතී පීතිපාමොජ්ජජං අමතං තං විජානතං.
යම් යම් කලෙක රූපාදි ස්කන්‍ධයන්ගේ උදය ව්‍යය දෙක සම්මර්‍ශනය කෙරේ ද (නුවණින් සලකා ද), එකල්හි යම් ධර්‍මප්‍රීතියක්, ධර්‍මප්‍රාමෝද්‍යයක් ලබා ද, එය නුවණැත්තවුනට (අමා මහ නිවන් පමුණුවන හෙයින්) අමා නම් වේ.
තත්‍රායමාදි භවති ඉධ පඤ්ඤස්ස භික්ඛුනො.
ඉන්‍ද්‍රියගුත්ති සන්තුට්ඨි පාතිමොක්ඛෙ ච සංවරො.
මේ සස්නෙහි නුවණැති මහණහට ඒ ස්කන්‍ධයන්ගේ උදයව්‍යය දෙක සැලැකීමෙහි මෙ සිවු පිරිසිදු සිල් පූර්‍වස්ථානය (පූර්‍ව කාරණය) වේ. හේ කවර හ? යත්: ඉන්‍ද්‍රිය සංවරය ද, සිවු පසයෙහි (යථාලාභ යථාබල යථාසාරූප්‍ය විසින් ත්‍රිවිධ වූ) සතුට ද, පාතිමොක්ඛයෙහි (ප්‍රධාන ශීලයෙහි) පරිපූරකාරී බව ද යන මෙය යි.
මිත්තෙ භජස්සු කල්‍යාණෙ සුද්ධාජීවෙ අතන්‍දිතෙ
පටිසන්‍ථාරවුත්ත්‍යස්ස ආචාරකුසලො සියා
තතො පාමොජ්ජබහුලො දුක්ඛස්සන්තං කරිස්සසි.
පිරිසිදු ආජීව ඇති, අකුසීත වූ, කලණ මිතුරන් සෙව්නේ ය. පිළිසඳර පැවැතුම් (ධර්‍මාමිෂ දෙකින් සංග්‍රහ කරණ බව) ඇත්තෙක් වන්නේ ය. (ශීලය ද වත්පිළිවෙත් කිරීම ද යන) ආචාරයෙහි දක්‍ෂ වන්නේ ය. එයින් (එ පිළිසඳර පැවැතුම් ආචාරයෙහි දක්‍ෂ බව යන දෙකින් උපන් ධර්‍මප්‍රාමෝද්‍යයෙන්) ප්‍රීතිබහුල වූ තෝ සසර දුක් කෙළවර කරන්නෙහි.
වස්සිකා විය පුප්ඵානි මද්දවානි පමුඤ්චති.
එවං රාගං ච දොසං ච විප්පමුඤ්චෙථ භික්ඛවො.
පර වැ මැලැවී ගියා වූ මල් වස්සිකා ලතාව (සමන් වැල්) (යම්සේ තුවටුයෙන් මුදා බිමැ හෙළා පියා ද), එ පරිද්දෙන් ම මහණෙනි, රාගය ද ද්වේෂය ද තොපගේ සන්තානයෙන් මුදා හැර පියවු.
සන්තකායො සන්තවාචො සන්තවා සුසමාහිතො
වන්තලොකාමිසො භික්ඛු උපසන්තො’ති වුච්චති.
ශාන්ත වූ කායද්වාර ඇති, ශාන්ත වූ වාග්ද්වාර ඇති, ශාන්ත වූ මනෝද්වාර ඇති, තුන්දොර මොනොවට පිහිටි, පහ කළ ලෝකාමිෂය (හෙවත් පස්කම්ගුණ) ඇති මහණ තෙම උපශාන්තයැ යි කියනු ලැබේ.
අත්තනා චොදයත්තානං පටිමාසෙ’ත්තමත්තනා
සො අත්තගුත්තො සතිමා සුඛං භික්ඛු විහාහිසි.
යුෂ්මත් තෙමේ තමාට චෝදනා කරව. තෝ ම තා පිරික්සා කරව. මහණ, එසේ වූ තෝ තමා විසින් ම රක්නා ලද්දෙහි ස්මෘතිමත් වූයෙහි (සිවු ඉරියවුහි ම) සුවයෙන් වසන්නෙකි.
අත්තා හි අත්තනො නාථො අත්තා හි අත්තනො ගති
තස්මා සඤ්ඤමයත්තානං අස්සං භද්‍රං’ව වාණිජො.
යම් හෙයෙකින් තෙමේ තමාගේ පිහිට වේ ද, යම් හෙයෙකින් තෙමේ ම තමාගේ පිළිසරණ වේ ද, එහෙයින් උතුම් අසකු (කවා පොවා) රක්නා අස්වෙළෙඳක්හු මෙන්, (අකුසලුන් සිතැ වැද්දැ නො දී) තමා මොනොවට රක්නේ ය.
පාමොජ්ජබහුලො භික්ඛු පසන්නො බුද්ධසාසනෙ
අධිගච්ඡෙ පදං සන්ත, සඞ්ඛාරූපසමං සුඛං.
පියෙවියෙන් ම බුදුරජුන් කෙරෙහි සතුට බහුල වූ, බුදුසස්නෙහි පහන් වූ මහණ තෙම එ හෙයින් ම ඒකාන්ත සුඛ වූ ශාන්තපදයට (නිවනට) පැමිණෙන්නේ ය.
යො හවෙ දහරො භික්ඛු යුඤ්ජති බුද්ධසාසනෙ
සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තො’ව චන්‍දිමා.
ළදරු වූ යම් මහණෙක් බුද්ධානුශාසනයෙහි (හෙවත් කමටහන්හි) යෙදේ ද, හෙ තෙම වලාපටලින් මිදුනු පුන්සඳුහු මෙන් මෙ ලොව ඒකාන්තයෙන් නුවණ එළියෙන් බබුළුවන්නේ ය.