න ජටාහි න ගොත්තෙන න ජච්චා හොති බ්‍රාහ්මණො
යම්හි සච්චඤ්ච ධම්මො ච සො සුචී සො’ව බ්‍රාහ්මණො.
බඳනා ලද ජටාවන් කරණ කොට ගෙණ බ්‍රාහ්මණ නම් නො වෙයි. ගෝත්‍ර කරණ කොට ගෙණ ද බ්‍රාහ්මණ නම් නො වෙයි. ජාතිය කරණ කොට ගෙණ ද බ්‍රාහ්මණ නම් නො වෙයි. යමකු කෙරෙහි සත්‍යඥානය ද, නවලොවුතුරු දහම් ද ඇත්තේ නම්, පිරිසිදු තැනැත්තේ හේ ම ය, බ්‍රාහ්මණ නමැත්තේත් හේ ම ය.
ජටිල බ්‍රාහ්මණ තෙමේ “මම මවුපසින් හා පියපසින් පිරිසිදු වූ බ්‍රාහ්මණකුලයෙහි උපන්මි, එහෙත් ශ්‍රමණගෞතම තෙමේ තමන්ගේ ශ්‍රාවකයන් ම බ්‍රාහ්මණැ යි කියන්නේ ය, බ්‍රාහ්මණකුලයෙහි උපන් මා බ්‍රාහ්මණයෙකු කොට නො කියන්නේ ය, මා ද බමුණකු කොට දකවන්නට වටී ය”යි සිතා බුදුරජුන් වෙත ගොස් එය දන්වා සිටියේ ය. එකල්හි බුදුරජානන් වහන්සේ “බ්‍රාහ්මණ! මම දළමඬුලු දැරීම් පමණින් හෝ දෑගොත් පමණින් හෝ කෙනෙකු බ්‍රාහ්මණය යි නො කියමි, එසේ නො කියන්නෙම් කියන්නට යුක්තියක් නැති බැවිනි, දළමඬුලු දැරීම් හා ජාතිගෝත්‍ර බ්‍රාහ්මණත්‍වයෙහි ලා ගැණෙන කරුණු නො වේ, ඔහු ව්‍යවහාරමාත්‍රයෙන් බමුණු ය, මම මුළුමනින් සිවුසස්දහම් දැන ගත්තහු ම බ්‍රාහ්මණ ය යි කියමි”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
න ජටාහි න ගොත්තෙන න ඡච්චා හොත බ්‍රාහ්මණො,
යම්හි සච්චඤ්ච ධම්මො ච සො සුචී සො ච බ්‍රාහ්මණොති.
දළමඬුලු කරණ කොට බ්‍රාහ්මණ නො වේ. ගෝත්‍රය කරණ කොට බ්‍රාහ්මණ නො වේ. ජාතිය කරණ කොට බ්‍රාහ්මණ නො වේ. යමකු කෙරෙහි ප්‍රතිවේධ කළ සත්‍යය ද ධර්‍මය ද වේ නම් හෙ තෙමේ පවිත්‍ර වූයේ නමුදු වේ. හෙ තෙමේ බ්‍රාහ්මණ නමුදු වේ.
න ජටාහි = දළමඬුලු කරණ කොට බ්‍රාහ්මණ නො වේ.
‘ජටා’ නම්, මෙහි තාපසාදීන්ගේ ලග්න කෙශය යි. “අන්‍යෙනසංලගෙන කෙශෙ, ව්‍රතීතානං ශිඛායාම්” යනු කෝෂ යි. බැහැරි තවුසෝ කෙලෙස් තැවීම පිණිස ව්‍රතසමාචරණයකැ යි කියා යම් කිසි මැලියමක් යොදා හිසකේ සියල්ල එකට ලග්න කෙරෙත්. කෙශයන්ගේ ඒ ලග්න කිරීම් මෙහි ජටා යි කියනු ලැබේ. ජටා යනු හුණ බට ආදීන්ගේ ශාඛා ජලයෙහි හා තෘෂ්ණායෙහි ද වැටේ මෙසේ වූ ලග්නකෙශය කරණ කොට බමුණෙක් නම් නො වේ.
න ගොත්තෙන = ගොත්‍රාය කරණ කොට බ්‍රාහ්මණ නො වේ.
‘ගොත්ත’ නම්, පූර්‍ව පුරුෂයන් කියා පාන දරුමුනුබුරු ආදී වූ දරුකැල ය. “පුත්‍ර පෞත්‍ර ප්‍රභුතිකමපත්‍යං ගොත්‍රම්” යනු එහිලා කීයේ ය. පෙරදිග ලෝකයෙහි පූර්‍වපුරුෂයන් කියාලන ශාණ්ඩිල්‍ය කාශ්‍යප - වාත්ස්‍ය ආදී වූ ගෝත්‍ර සූවිස්සක් ඇති බව මනුසංහිතායෙහි කියන ලදි. ඒ මේ පූර්‍වපුරුෂයන් කියා පෑමෙන් පූර්‍ව පුරුෂයන්ගේ නමින් පෙණී සිටීමෙන් බමුණෙක් නම් නො වේ.
න ඡච්චා හොති බ්‍රාහ්‍මණො = ජාතිය කරණ කොට බමුණෙක් නො වේ.
අවයව සටහනින් දැන ගැණීම ඇත්ති, අවයව සටහන් දැන ගැණීමට කාරණා වූවා ජාති නමි. ඒ නම්, මනුෂ්‍යත්‍වාදිය යි. ඒ එකලා මනුෂ්‍යත්‍වයෙන් බමුණෙක් නම් නො වේ.
යම්හි සච්චං ච ධම්මො ච සො සුචී සො ච බ්‍රාහ්මණො = යහකු කෙරෙහි සත්‍යය ද ධර්‍මය ද වේ නම්, හෙතෙමේ පවිත්‍ර වූයේ නමුදු බ්‍රාහ්මණ නමුදු වේ.
යම් පුද්ගලයකු කෙරෙහි චතුරාර්‍ය්‍යසත්‍යය සොළොස් අයුරෙකින් ප්‍රතිවේධ කොට ගත් සත්‍යඥානය හා නවලෝකෝත්තරධර්‍මය කැවී තිබේ නම් හෙතෙමේ පවිත්‍ර නමුත් බ්‍රාහ්මණ නමුත් වේ.
ස්‍රෝතාපත්ති ආදි එක් එක් මාර්‍ගයෙකින් දුඃඛ - සමුදය - නිරෝධ - මාර්‍ග යන චතුස්සත්‍යය පඤ්ඤා - පහාන - සච්ඡිකිරියා - භාවනා යන සිවු අයුරින් ප්‍රතිවේධ කටයුතු ය. ඒ මේ ප්‍රතිවේධය මෙසේ මාග සතර පිළිබඳ වන විට සොළොස් අයුරු වන්නේ ය. මාර්‍ග සතරත් නිර්‍වාණයත් මෙහි ‘ධම්ම’ නම්.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
ජටිලබ්‍රාහ්මණ වස්තුව නිමි.