බාහිතපාපො’ති බ්‍රාහ්මණො සමචරියා සමණො’ති වුච්චති.
පබ්බාජයත්තනො මලං තස්මා පබ්බජිතො’ති වුච්චති.
යම් හෙයෙකින් සන්තානයෙන් බැහැර කරණ ලද පාප ධර්‍ම ඇත්තේ නු යි බ්‍රාහ්මණ නැමැ යි කියනු ලැබේ ද, අකුසල් සන්සිඳුවා වසන හෙයින් ශ්‍රමණ යැ යි කියනු ලැබේ ද, එසේ ම යම්හෙයෙකින් තමාගේ රාගාදි මල (තදඞ්ගප්‍රහාණාදියෙන්) පහ කෙරේ ද, එ හෙයින් ප්‍රව්‍රජිතයා යී කියනු ලැබේ.
තීර්‍ත්‍ථකයන් වෙත පැවිදි වූ එක්තරා බ්‍රාහ්මණයෙක් “ශ්‍රමණ ගෞතම තෙමේ තමන්ගේ ශ්‍රාවකයන් ම පැවිද්දන් කොට කියන්නේ ය, මමත් පැවිද්දෙක්මි, මාත් පැවිද්දකු කොට කියා ලන්නට වටී ය”යි සිතා බුදුරජුන් වෙත එළැඹැ “ගෞතමයන් වහන්ස! මමත් පැවිද්දෙක්මි, එහෙයින් මාත් පැවිද්දකු කොට කියාලන්නැ”යි දන්වා සිටියේ ය. එ කල්හි බුදුරජානන් වහන්සේ “මම පැවිදිගුණයක් නැති ව පැවිදිවෙස් ගත් පමණින් පැවිද්දකු ය යි නො කියමි, යමෙක් කෙලෙස්මල බැහැර කෙළේ නම් ඔහු ම පැවිද්දෙක් වන්නේ ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
බාහිතපාපොති බ්‍රාහ්මණො සමචරියාය සමණොති වුච්චති,
පබ්බාඡයත්තනො මලං තස්මා පබ්බජිතොති වුච්චතීති.
යම් හෙයකින් බැහැර කළ පව් ඇත්තේ බ්‍රාහ්මණ ය යි ද, සමසේ හැසිරීමෙන් ශ්‍රමණය යි ද කියනු ලැබේ ද, එමෙන් යමෙක් තමාගේ රාගාදී වූ කෙලෙස්මල පහ කෙරේ ද එහෙයින් හේ ප්‍රව්‍රජිතය යි කියනු ලැබේ.
බාහිතපාපො ඉති බ්‍රාහ්මණො = බැහැර කළ පව් ඇත්තේ බ්‍රාහ්මණ ය යි ද.
සියලු පව් සමුච්ඡෙදප්‍රහාණයෙන් ප්‍රහාණය කොට සිටියේ මෙහි ‘බ්‍රාහ්මණ’ නම්. “අත්තනො සන්තානතො පාපකෙ ධම්මෙ සමුච්ඡෙදප්පහාණෙන පඡහිත්‍වා ඨිතො” යනු අටුවා. [1]
සමචරියාය සමණො ඉති වුච්චති = සමසේ හැසිරීමෙන් ශ්‍රමණය යි ද කියනු ලැබේ ද.
මේ බ්‍රාහ්මණ තෙමේ ම සන්සිඳ වූ පව් ඇති බැවින් කාය විෂමාදිවිෂමහැසිරීම්වලින් දුරු වූ බැවින් ශ්‍රමණ ය යි කියනු ලැබේ. “සො එව සමිතපාපත්තා සමචරියාය ච සමණො” යනු අටුවා. [2]
පබ්බායති අත්තනො මලං = (යමෙක්) තමාගේ රාගාදී වූ කෙලෙස්මල පහ කෙරේ ද.
තස්මා පබ්බජිතො ඉති වුච්චති = එහෙයින් (හේ) ප්‍රව්‍රජිත ය යි කියනු ලැබේ.
යමෙක් තම සන්තානයෙහි ආදිය නො දත හැකි කාලයක සිට බැඳී පවත්නා රාගද්වේෂාදී වූ සියලු කෙලෙස්මල තදඞ්ගවිමුක්ති - විෂකම්භනවිමුක්ති - සමුච්ඡෙදවිමුක්ති - ප්‍රතිප්‍රශ්ශ්‍රබ්ධිවිමුක්ති - නිශ්ශරණවිමුක්ති යන විමුක්තීන්ගේ බලයෙන්, සෝවන් - සෙදගැමි - අනගැමි - රහත්මග යන සිවු මග නුවණින් පහ කොට සිටියේ ද සිතින් බැහැර කොට සිටියේ ද ශීල සමාධි ප්‍රඥා ධර්‍මයන් ගෙන් කෙලෙස් පුරුක් බිඳ හැර සිටියේ ද හේ ප්‍රව්‍රජිතය’යි කියනු ලැබේ යනු අදහසි. [3]
ධර්‍මදේශනාවගේ අවසානෙයහි ඒ බ්‍රාහ්මන තෙමේ සසුන් පැවිද්දෙන් පැවිදි ව සෝවන්පලයෙහි පිහිටා ගත්තේ ය. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.
අන්‍යතර බ්‍රාහ්මණ වස්තුව නිමි.