යස්ස ගතිං න ජානන්ති දෙවා ගන්‍ධබ්බමානුසා
ඛීණාසවං අරහන්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් ක්‍ෂීණාස්‍රවොත්තමයකු ගේ පහළ වීම නොහොත් (නිෂ්ඨාව) (ශක්‍රබ්‍රහ්මාදි) දෙවියෝ ද, ගාන්‍ධර්‍වයෝ ද, මනුෂ්‍යයෝ ද (කිසි ලෙසෙකින්) නො දනිත් ද, චතුරාස්‍රවයන් ක්‍ෂීණ කළා වූ, කෙලෙසුන් කෙරෙන් සර්‍වප්‍රකාරයෙන් දුරු වූ ඔහු බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
මළ මිනිසුන්ගේ හිස් කබලට නිය පිටින් ගසා මෙය නිරයයෙහි උපන්නකුගේ හිස, මෙය තිරිසන් යෝනියෙක උපන්නකුගේ හිස, මෙය ප්‍රේතයෝනියෙහි උපන්නකුගේ හිස, මෙය මනුෂ්‍යලෝකයෙහි උපන්නකුගේ හිස, මෙය දෙව ලෝකයෙහි උපන්නකුගේ හිසැ’යි කියන්නට දන්නා වඞ්ගීස නම් බමුණෙක් රජගහා නුවර විසූයේ ය. සෙසු බමුණෝ “මේ බමුණා නිසා අපට ලොව ගසා කෑ හැකි ය”යි ඔහුට රතුපැහැති රෙදි කඩ දෙකක් අන්දවා “මේ වංගීස බමුණු, මළ මිනිසුන්ගේ හිස් කබලට ගසා ඔවුන් උපන් තැන් කියන්නට දන්නේ ය, යම් කෙනෙක් තම තමන්ගේ මෑනියන් උපන් තැන් දැන ගනු කැමැත්තාහු නම් මේ බමුණුගෙන් එය අසවු”යි කියමින් දනවු සැරිසැරූහ. මිනිස්සු, තමාට හැකි පරිදි සමහරු කහවණු දසය බැගින්, සමහරු විස්ස බැගින්, සමහරු සියය දහස බැගින් දී තම නෑයන් උපන් තැන් විචාරන්නට පටන් ගත්හ. දවසක් බමුණෝ වංගීස බමුණන් ගෙණ සැවැත් නුවරට ගොස් දෙව්රමට නො දුරෙහි නවාතැන් ගත්හ. එක් දවසක් දවල් බත් අනුභව කොට නිමවා සිටි බමුණෝ, පස්වරුයෙහි සුවඳ මල් ගෙණ බණ අසන්නට දෙව්රම් වෙහෙරට යන උවසු උවැසියන් දැක “කො තැන යහු?”යි විචාරා “බණ අසන්නට වෙහෙරට යමු”යි ඔවුන් කී කල්හි “මෙහි එනවා, එහි යෑමෙන් වැඩෙක් නැත, මේ වංගීසට ලංවිය හැක්කෙක් එහි නැත, වංගීස, මළ මිනිසුන්ගේ හිස් කබලට ගසා ඔවුන් උපන් තැන් කියන්නේ ය, ඒ නිසා මෙහි අවුත් ඔහුට යම්කිසිවක් දී තමුසේලාගේ මවුපියන් ඈ උපන් තැන් අසා දැන ගණිවු”යි කියත්. ඒ උපාසක උපාසිකාවන් “තොපගේ වංගීස කුමක් දනී ද, මොන අතකිනුත් අපගේ බුදුරජුන්ට ලංවිය හැක්කෙක් නො වේ වංගීස, බුදුරජානන් වහන්සේ ලෝකයෙහි එක් ම ආශ්චර්‍ය්‍යමනුෂ්‍ය වෙති, එසේ ම උන්වහන්සේ ලෝකයෙහි දෙවන බුදුවරයක්හුගේ අභාවයෙන් අද්විතීය වෙති, එසේ ම උන්වහන්සේට අත්බවින් හෝ ප්‍රතිවේධ කළ ධර්‍මයෙන් හෝ සහායයකු නො වන බැවින් අසහාය වෙති, උන්වහන්සේ තමන්ගේ අත්බව වැනි අත්බවෙක් අන්හට නැත්තේ අප්‍රතිම වෙති, තමන්ගේ අත්බව හා ප්‍රතිසම වූ අත්බවක් අන්හට නැති බැවින් අප්‍රතිසම වෙති, උන්වහන්සේ විසින් ‘චත්තාරො මෙ භික්ඛවෙ සතිපට්ඨානා’ යනාදි ක්‍රමයෙන් යම් ධර්‍ම කෙනෙක් දෙසන ලද ද එහි ‘සතිපට්ඨාන සතරෙක් නො වේ, තුනක් හෝ පසක් විය යුතු ය’යි විරුද්ධකථා කරන්නට සමර්‍ත්‍ථ වූවකු නො වන බැවින් අප්‍රතිභාග වෙති, ‘මම බුදුමි’යි කියන්නට සමර්‍ත්‍ථ වූ පුද්ගලයකු නො වන බැවින් උන්වහන්සේ අප්‍රතිපුද්ගල වෙති, අප්‍රතිපුද්ගල බැවින් ම සියලු සත්ත්‍වයන් හා අසම වෙති, අතීතානාගත සම්‍යක් සම්බුද්ධයන් හා සම බැවින් අසමසම වෙති, අපාද - දිපාද - චතුප්පාද - බහුප්පාද - රූපී - අරූපී - සඤ්ඤී - අසඤ්ඤී - නෙවසඤ්ඤීනාසඤ්ඤී සත්ත්‍වයන්ට අග්‍ර බැවින් අග්‍ර වෙති, මේ නිසා වංගීස කො තැන? අපගේ බුදුරජානන් වහන්සේ කො තැනැ යි තෙපි දන්නහු ද? තොපගේ වංගීස අපගේ බුදුරජුන් ඉදිරියෙහි කදෝපැණියකු තරම් ද නො වේ”යි කී කල්හි බමුණෝ “කුමක් කියහු, වංගීස තරම් හපනෙක් නො වේ තමුසේලාගේ ශාස්තෘ”යි කතාව දිග් ගසා ගත්හ. උපාසකවරු “එවු, දැන් යන්නට, තමුසේලාගේ ඔය කියන වංගීසගේත් අප ශාස්තෘහුගේත් තරම බලන්නටැ”යි බමුණන් කැටුව වෙහෙරට ගියහ.
බුදුරජානන් වහන්සේ උන් එන බව දැන නිරයයෙහි, තිරිසන් යෝනියෙහි, මනුෂ්‍යලෝකයෙහි, දෙවලෝකයෙහි ඉපද සිටින සිවු දෙනකුන්ගේ හා රහත් මහණක්හුගේත් හිස්කබල් පසක් ගෙන්වා පිළිවෙළින් තබවා උන් එනු බලා වැඩහුන් සේක. උන් ආ කල්හි “වංගීස! මළ මිනිසුන්ගේ හිස් කබල ගසා උන් උපන් තැන් කියන්නට දනිහි සැබෑ දැ?”යි අසා වදාළ සේක. “එසේ ය, දනිමි” යි වංගීස කී ය. “හා, හොඳයි, එසේ වේවා, මේ කාගේ හිස්කබල දැ?”යි අසා වදාළ කල්හි හිස් කබලට ගසා නිරයෙහි උපන්නහුගේ ය යි කී ය. බුදුරජානන් වහන්සේ “කීවා සැබෑ ය”යි ඔහුට ස්තුති කළහ. තිරිසන් යෝනියෙහි මිනිස්ලොව දෙව්ලොව උපන්නවුන්ගේ හිස් කබල් වලට නිය පිටින් ගසා උන් උපන් තැන් ද නො වරදවා කී ය. ඒ හැම වරත් බුදුරජානන් වහන්සේ ඔහුට වෙන් වෙන් ව ස්තුති කළහ. පස්වන වර රහත් නමගේ හිස් කබල පෙන්වා “මේ කො තැන උපන්නහුගේ හිස් කබල දැ?”යි අසා වදාළ සේක. ඒ හිස් කබල නිරයෙහි හෝ එයින් අන් තැනෙක හෝ උපන්නහුගේ ය, යි කියන්නට හේ අසමත් වී ය. එවිට බුදුරජානන් වහන්සේ “වංගීස! මේ හිස් කබල කො තැන උපන්නහුගේ දැ යි කියන්නට නො දනිහි”යි විචාරා “නො දනිමි”යි කී කල්හි “මම නම් දනිමි”යි වදාළ සේක. එවිට වංගීස “මට මේ මන්ත්‍රය දෙවු”යි බුදුරජුන්ගෙන් ඉල්ලා සිටියේ ය. “මේ මන්ත්‍රය නො පැවිදි වූවනට දෙන්නෙක් නො වේ, මෙය දෙන්නෙම් පැවිදි වූවනට ය”යි වදාළ කල්හි “මේ මන්ත්‍රය උගත හොත් මම මුළු දඹදිව නායක වන්නෙමි”යි බමුණන් අමතා “තමුන්නාසේලා මා මන්ත්‍රය උගෙණ එනතුරු කිහිප දවසක් මෙහි කො තැනක හෝ රැඳී සිටිනු මැනැව, මම මන්ත්‍රය පිණිස පැවිදි වෙමි”යි කියා බමුණන් යවා හෙ තෙමේ පැවිදි ව උපසපන් ව වංගීස ස්ථවිරැ යි ප්‍රසිද්ධ වූයේ ය. නැවැත බුදුරජානන් වහන්සේ “මන්තයට පිරියම් පිණිස මෙය වඩව”යි අසුබ කමටහන උගන්වා වදාළ සේක. ඔහු එහි පිරියම් කරණුයේ අතරතුර බමුණන් අවුත් “මන්ත්‍රය උගත්තහු දැ?”යි අසත්, “තව ටික දවසක් ඉවසාලවු, මන්ත්‍රය උගන්නෙමි”යි කියා අසුබ කමටහන වඩා රහත් වූයේ ය. පසු දවසෙක බමුණන් අවුත් “මන්ත්‍රය උගන්නා ලද දැ?”යි ඇසූ කල්හි “ඇවැත්නි! දැන් යනු නො හැකි ය, නො යා හැකි තැනට වැටුනෙමි, තොප හා යන්නට මම නො සුදුස්සෙමි”යි වංගීස ස්ථවිරයන් වහන්සේ කීහ. වංගීස තෙරුන්ගේ මේ කතාව අසා භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් වෙත ගොස් “ස්වාමීනි! වංගීස බොරු කියා එහත් බව හඟවා”යි දන්වා සිටියහ. බුදුරජානන් වහන්සේ “මහණෙනි! එසේ නො කියවු, මාගේ පුත් දැන් ච්‍යුති - ප්‍රතිසන්‍ධි දැක්මෙහි දක්‍ෂයෙකැ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
චුතිං යො වෙදි සත්තානං උප්පත්තිඤ්ච සබ්බසො,
අසත්තං සුගතං බුද්ධං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං.
.
යස්ස ගතිං න ජානන්ති දෙවා ගන්‍ධබ්බමානුසා,
ඛීණාසවං අරහන්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
යමෙක් සත්ත්‍වයන්ගේ ච්‍යුතියත් උත්පත්තියත් හැම ලෙසින් දනී ද නො ලැගුනා වූ මනාගති ඇති සිවු සස් දහම් අවබෝධ කළා වූ ඔහු, මම බමුණු යි කියමි.
යමක්හුගේ ගතිය දෙවියෝත් ගන්‍ධර්‍වයන් හා මිනිස්සුත් නො දනිත් ද, ක්‍ෂය කළ ආස්‍රව ඇති කෙලෙසුන් කෙරෙන් දුරු වූ ඔහු, මම බමුණු යි කියමි.
චුතිං යො වෙදි සත්තානං උප්පත්තිං ච සබ්බසො = යමෙක් සත්ත්‍වයන්ගේ ච්‍යුතියත් උත්පත්තියත් දනී ද.
ප්‍රත්‍යය හේතුවෙන් උපන් සඞ්ඛතයන්ගේ බිඳී යෑම ‘චුති’ නම්. “පච්චයසමභූතානං සඞ්ඛතධම්මානං භඞ්ගො = චුති” යනු අටුවා. ඒ ඒ භවයෙන් ස්කන්‍ධපරම්පරාවගේ ගිලිහී යෑම ය චුති. මරණ යැ යි කියනු ද මෙහි යෙදේ.
‘සත්ත’ යනු, ප්‍රාණීන්ට නමෙකි. රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යය යන මෙ තැන්හි ලැගෙන බැවින් සත්‍වැ යි කියනු ලැබේ. අයෝනිසෝමනසිකාරය බොහෝ බැවින් ඒ ඒ වස්තූන්හි වූ ආදීනවය දෝෂය නො බලා නො සිහි කොට ආස්වාදය ම පතා ඒ ඒ වස්තූන්හි ඇලෙන්නේ සත්‍ව ය. “සත්තාති අයොනිසොමනසිකාරබහුලතාය විජ්ජමානම්පි අදීනවං අනොලොකෙත්‍වා අස්සාදමෙව සරිත්‍වා සජ්ජනවසෙන ආසත්තා ලග්ගාති” යනු ආප්ත යි.
‘උප්පත්ති’ නම්: ඒ ඒ භවයෝනිස්ථිතිවසත්‍වාවාසයන්හි ඒ ඒ භවයනට නියමිත ස්කන්‍ධප්‍රතිලාභය යි. හෙවත් පිළිසිඳ ගැණීම යි. ජාති - සඤ්ජාති - ඔක්කන්ති යනාදී විසින් කියනලද්දී ද උප්පත්තිය යි. ච්‍යුතිචිත්තයත් ප්‍රතිසන්‍ධිචිත්තයත් දිවැසින් නො දැකිය හැකි බැවින් මෙහිලා ගත යුත්තේ ච්‍යුති - ප්‍රතිසන්‍ධිචිත්තයන්ගේ ආසන්නය යි. [1]
අසත්තං සුගතං බුද්ධං තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = නො ලැගුනු මනාගති ඇති සිවු සස්දහම් අවබෝධ කළ ඔහු, මම බමුණු යි කියමි.
කිසි භවයෙක, කිසි අරමුණෙක නො ලැගුනේ ‘අසත්ත’ නම්. කාමසුඛල්ලිකානුයෝග - අත්තකිලමථානුයෝග යන අන්ත දෙකට නො බැස මද්ධ්‍යම ප්‍රතිපදායෙන් නිවනට ගියේ ‘සුගත’ නම්. [2] සිවු සස්දහම් අවබෝධ කළේ ‘බුද්ධ’ නම්. [3]
යමෙක් සත්‍වයන් පිළිබඳ ච්‍යුතිආසන්නයත් මුළුමනින් පැහැදිලි ලෙස දනී ද, කිසි භවයෙක, කිසි අරමුණෙක නො ලැගුනු මද්ධ්‍යම ප්‍රතිපදායෙන් නිවනට ගිය සිවු සස්දහම් අවබෝධ කළ ඔහු බ්‍රාහ්මණ නම් වන්නේ ය.
යස්ස ගතං න ජානන්ති දෙවා ගන්‍ධබ්බමානුසා = යමක්හුගේ ගතිය දෙවියෝත් ගන්‍ධර්‍වයෝත් මනුෂ්‍යයෝත් නො දනිත් ද.
‘ගති’ නම්: මෙහි උත්පත්තිය යි. නැත, නිෂ්ඨාය. කුශලාකුශල කර්‍මයන්ගේ වශයෙන් යා යුතු බැවිනි. තව ද ගතිගති - නිබ්බත්තගති - අජ්ඣාසයගති - විභවගති - නිප්ඵත්තිගති යි ගති බහුවිධ ය. එය “යස්සගතිං න ජානන්ති” යන මෙහි ගතිගතියෙහි ද “ඉමෙසං ඛො අහං භික්ඛුනං සීලවන්තානං නෙව ජානාමි ගතිං වා අගතිං වා” යන මෙහි නිබ්බත්තගතියෙහි ද, “එවම්පි ඛො තො අහං බ්‍රහ්මෙ ගතිඤ්ච පජානාමි චුතිඤ්ච පජානාමි” යන මෙහි අජ්ඣාසයගතියෙහි ද, “විභවො ගති ධම්මානං නිබ්බානං අරහතො ගති” යන මෙහි විභවගතියෙහි ද, “ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා” යන මෙහි නිප්ඵත්තිගතියෙහි ද ආයේ ය.
පංචකාමගුණයන් කරණ කොට ගෙණ ද තම තමන්ගේ ආනුභාවයෙන් ද ක්‍රීඩා කරණුයේ ‘දෙව’ නම්. “පංචහි කාමගුණෙහි අත්තනො අත්තනො ආනුබාවෙහි ච දිබ්බන්තීති = දෙවා” යනු ආප්ත යි. මනසින් උත්සන්න ව ගියේ ‘මනුස්ස’ නම්. “මනසො උස්සන්නත්තා = මනුස්සා” යනු ආප්ත යි. [4] සිවු මහ රජයේ ගයනුයේ වයනුයේ නටනුයේ ‘ගන්‍ධබ්බ’ නම්. [5]
ඛීණාසවං අරහන්තං තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = ක්‍ෂය කළ ආස්‍රව ඇති කෙලෙසුන් කෙරෙන් දුරු වූ ඔහු, මම බමුණු යි කියමි.
කාමාදිආස්‍රවයන් ක්‍ෂය කොට සිටියේ ‘ඛීණාසව’ නම්. [6] කෙලෙසුන් කෙරෙන් දුරු වූයේ, කෙලෙස් සතුරන් නැසූයේ, සංසාරචක්‍රයෙහි අර සිඳලූයේ, ප්‍රත්‍යයයනට සුදුසු වූයේ ‘අරහත්ත’ නම්. [7]
යමක්හුගේ උත්පත්තිගතිය දෙවියෝත් ගන්‍ධර්‍වයොත් මනුෂ්‍යයෝත් නො දනිත් ද, ඔහු ක්‍ෂය කළ කාමාදිආස්‍රව ඇතියේ කෙලෙසුන් කෙරෙන් දුරු වූයේ බ්‍රාහ්මණ නම් වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානෙයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
වඞ්ගීසස්ථවිර වස්තුව නිමි.