26-33(1) ජටිල ස්ථවිරයන් වහන්සේ

යො’ධ තණ්හං පහාත්‍වාන අනාගාරො පරිබ්බජෙ

තණ්හාභවපරික්ඛීණං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

මෙ ලොව යම් පුද්ගලයෙක් තෘෂ්ණාව දුරු කොට ගෘහවාසය බැහැර ලා නික්මේ ද, කාමතෘෂ්ණා භවතෘෂ්ණා ක්‍ෂීණ කළා වූ ඒ ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

යටගිය දවස බරණැස් නුවර බෑ කෙළඹියෝ දෙදෙනෙක් එක් ව උක් හේනක් වැවූහ. දවසක් බාලසහෝදරයා උකහේනට ගොස් උක්ගස් මෝරා තිබෙනු දැක “රකක් අය්යාට ය, එකක් මට ය” යි උක්ගස් දෙකක් කපා පැණි නො වැගිණෙ ලෙසට කැපූ තැන කොළපත් තබා තද කොට බැඳ ගෙණ ආයේ ය. ඒ කාලයෙහි යන්ත්‍රයෙහි ලා උක් මිරිකන සිරිතෙක් නො වූයේ ය. උක්ගස මුලින් හෝ අගින් කපා කැපූ කොන් යටි හුරු කොට අල්ලා ගත් කල්හි ඩබරායෙන් වැගිරෙණ දියක් සේ උක්රොඩු පමණක් ඉතිරි කොට උක්පැණි වැගිරෙන්නේ ය. කෙළෙඹි, හේනෙන් කපා ගත් උක්ගස් දෙක බැඳ ගෙණ මග බැස එන වේලෙහි හිමාලය වනයෙහි ගන්‍ධමාදන පර්‍වතයෙහි නන්‍දමූලක ලෙන වසන පසේබුදු කෙනෙක් සමාපත්තියෙන් නැගී සිට “මම අද කවරක්හට අනුග්‍රහ කරම් දැ”යි බලා වදාළ සේක. එ වේලෙහි උන්වහන්සේගේ නුවණට උක්ගස් දෙක කර තබා ගෙණ මග යන මේ කෙළෙඹි හසු විය. කෙළෙඹි. තමන් වහන්සේට පූජාවක් කරන්නට පොහොසත් ව සිටුනා බව ද දුටහ.

ඉක්බිති උන්වහන්සේ පා සිවුරු ගෙණ ඍද්ධිබලයෙන් අහස නැග අවුත් ඔහු ඉදිරියෙහි පෙණී සිටියහ. ඔහු, උන්වහන්සේ දැක පහන් සිත් ඇතියේ තමන්ගේ උතුරුසළු ව ඉතා උස් බිම් පෙදෙසක අතුරා “ස්වාමීනි! මෙහි වැඩ හිඳුනු මැනැවැ”යි පසේබුදුරජුන් එහි වඩා හිඳුවා පාත්‍රය ගෙණ උක්ගස කැපූ තැන බැඳ තුබූ කෙළ පත් ලිහා හාර පාත්‍රයට උඩින් අල්ලා ගෙණ සිටියේ ය. එකෙණෙහි උක්පැණි වැගිර පාත්‍රය පිරී ගියේ ය. පසේ බුදුරජානන් වහන්සේ එහි ම වැඩහිඳ උක්පැණි වැළඳූ සේක. එ කල්හි කෙළෙඹි “අනේ, යහපති, ආර්‍ය්‍යයන් වහන්සේ උක්පැණි වැළඳූ සේක, මට වන්නේ මහත් වැඩෙක්, මාගේ අය්යා උක්පැණිවලට මුදල් ඉල්ලා සිටියොත් මුදල් දෙන්නෙමි, නැත, පින් ඉල්ලා සිටියොත් පින් දෙමි”යි සිතා නැවැතත් “ස්වාමීනි! මට පාත්‍රය දෙනු මැනැවැ”යි පාත්‍රය ඉල්ලා ගෙණ අය්යාට ගෙණ යමින් තුබූ උක්ගස ද කැපූ තැන බැඳ තුබූ කොළපත් ඉවත් කොට පෙර සේ පාත්‍රයට උඩින් අල්ලා සිටියේ ය. ඒ වර ද උක්පැණියෙන් පාත්‍රය පිරී ගත්තේ ය. ඒ පැණි පාත්‍රය ද පසේ බුදුරජුන්ට පිළිගැන්වී ය. එහි දී ඔහුට “අය්යා රවටාලමි”යි වඤ්චාසහගතචිනතාමාත්‍රයෙකුත් නො ද උපන්නේ ය.

පසේ බුදුරජානන් වහන්සේ පළමු පිළිගැන්නූ උක්පැණි වළඳා සිටි බැවින් දෙවන වර පිළිගැන්නූ උක්පැණි අනෙක් පසේ බුදුරජුනට බෙදා දෙනු කැමැති ව ‍නො වළඳා වැඩ හුන් සේක. කෙළෙඹි, උක්පැණි පය පිළිගත් ලෙසින් හා අල්ලා ගෙණ සිටි ලෙසින් උන්වහන්සේගේ අදහස දැන පසඟ පිහිටුවා වැඳ “ස්වාමීනි! මා විසින් පිදූ මේ අග්‍රරසයාගේ පිණෙන් දෙව් මිනිස් දෙ ගතියෙහි සැපත් විඳ කෙළවර ඔබවහන්සේ ලැබූ නිවන් රසය මටත් ලැබේවා”යි පැතී ය. උන්වහන්සේ ඔහුට “එසේ වේවා”යි වදාරා නැවැත “ ඉච්ඡිතං පත්‍ථිතං” යනාදි ගාථා දෙකින් අනුමෙවෙනි කොට කෙළෙඹියාට ‍තමන් පෙණෙන සේ ඉටා ඔහු බලා ඉන්ද දී ම අහසින් ගන්‍ධමාදන පර්‍වතයට වැඩ එහි හුන් පන් සියයක් පසේ බුදුවරුනට ඒ උක්පැණි බෙදා දුන් හ. ඔහු ඒ පෙළහර බලා තුටු සිත් ඇතියේ සහෝදරයා වෙත ගියේ ය. ඔහු “කොහි ගියෙහි දැ?”යි ඇසූ විට උක්හේන බලන්නට ගිය බව කී ය. “උක්හේන බලන්නට ගියා නම් උක්ගස් දෙක තුනක් නො ගෙණායෙහි ඇයි දැ?”යි ඇසී ය. “අය්යාටත් මටත් උක්ගස් දෙකක් කපා ගෙණ ආයෙමි, මග බැස එන ගමනේ පසේබුදු කෙනකුන් දුටු වෙමි, දැක මගදී ම උන්වහන්සේ වඩා හිඳුවා මා කපාගත් උක්ගසේ පැණි උන් වහන්සේට පිළිගැන්වීමි, අය්යාට මුදල් හෝ පින් දෙමි යි සිතා අය්යාට ගෙණා උක්ගසේ පැණිත් පසේබුදුන්ට ම පිදීමි”යි මලනුවන් කී කල්හි “පසේ බුදුරජානන් වහන්සේ ඒ උක්පැණි වලට කුමක් කළාහු දැ?”යි ඇසී ය. “මාගේ උක්ගසේ පැණි උන්වහන්සේ එ තැනදී ම වැළඳූහ, අය්යාගේ උක්ගසේ පැණි පාත්‍රයට ගෙණ අහසින් ගොස් ගන්‍ධමාන පර්‍වතයෙහි වැඩ හුන් පන් සියයක් පසේ බුදුවරුන්ට බෙදා දුන්හ, මම ද පැණි බෙදා දෙනු දිටිමි”යි මලනු තෙමේ කීයේ ය. එය කියත් කියත් ම වැඩිමාලු කෙළෙඹියාගේ සිරුර අතර නැති ව ප්‍රීතියෙන් පිණා ගියෙන් ඔහු “පසේ බුදුරජුන් අවබෝධ කළ ධර්‍මය මටත් අවබෝධ වේවා”යි පැතූයේ ය. මලනුවන් විසින් මෙහි දී දිව්‍ය - මනුෂ්‍ය - නිර්‍වාණ යන ත්‍රිවිධ සම්පත්තිය ම පතන ලද්දී ය. වැඩිමලා විසින් එක්වරින්ම රහත්බව පතන ලද්දේ ය. මේ මොවුන් පෙර කළ කුශලකර්‍මය යි.

ඒ දෙබෑයෝ ආයු ඇති තාක් සිට ඒ දිවියෙන් ගැලවී ගොස් දෙව්ලොව ඉපද එක් බුද්ධාන්තරයක් ගෙවූහ. ඔවුන් එසේ දෙව්ලොව දෙව් සැප විඳුනා කල්හි විපස්සි සම්මා සම්බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ දෙදෙන ද දෙව්ලොවින් ච්‍යුත ව බන්‍ධුමතී නුවර එක් ම කුල ගෙයක වැඩිමලා වැඩිමල් ව ම බාලයා බාල ව ම පිළිසිඳ ගත්හ. උන් අතුරෙහි වැඩිමලාට ‍ සෙන යි ද බාලයාට අපරාජිත යි ද නම් කළහ. උන් වැඩිවිය පැමිණ පවුල් කමින් සිටිය දී බුද්ධ - ධම්ම - සඞ්ඝ යන ත්‍රිවිධරත්නය ලොව පැතිරී ගියේ ය. මේ කාලයෙහි ධර්‍මඝොෂක තනතුර ලබා සිටියහු “දන් දෙවු, පින් කරවු; අද අටවක් පෝය, අද තුදුස්වක් පෝය, අද පසළොස්වක් පෝය, එහෙයින් පෙහෙවස් රකිවු, බණ අසවු”යි යන ඈ විසින් කියා ඇවිදුනා කල්හි එයසා බන්‍ධුමතී නුවර වැස්සො පෙරවරුයෙහි දන්පින්කම් කොට පස්වරුයෙහි සුවඳ මල් ගෙණ බණ අසන්නට විහාරාරාමයන් කරා යන්නාහ. එසේ බණ අසන්නට පන්සල් යන මහජනයා දුටු සෙන “කොහි යහු දැ?”යි උන් විචාරා “බණ අසන්නට බුදුරජුන් වෙත යමු”යි කී කල්හි “මමත් යෙමි”යි උන් හා එකතු ව පන්සලට ගොස් එහි බණ සාලායෙහි බණ අසන්නට හුන් පිරිස් කෙළවරට වී හුන්නේ ය. බණපිරිස දෙස බලා වදාළ බුදුරජානන් වහන්සේ පිණෙන් මෝරා සිටි සෙනගේ අදහස් දැන ඔහුට සරිලන අනුපිළිවෙළ කතාව වදාළ සේක. බුදුරජුන් වදාළ එ දහම් ඇසූ සෙනගේ සිත පැවිදිවීමට නැමී ගියේ ය. එහෙයින් එහි උත්සාහවත් වූ සෙන එ වේලෙහි ම පැවිද්ද ඉල්ලා සිටියේ ය. එවිට බුදුරජානන් වහන්සේ “ඇසිය යුතු දැන්විය යුතු කිසියම් නෑ කෙනෙක් ඇද් දැ?”යි අසා වදාළ විට ඔහු “ස්වාමීනි! ඇතැ”යි කී ය. “එසේ නම් උන් කරා ගොසින් විචාරා අවසර ගෙණ පැවිද්ද පිණිස උන්ගේ කැමැත්ත ගෙණ එව”යි වදාළ සේක.

සෙන ද මල්බෑයා වෙත ගොස් “මල්ලි! මේ අපගේ ගෙයි ඇතිතරම් සියලු ධනධාන්‍යාදිය ඔබට පවරමි, ඒ සියල්ල මල්ලිට භාර කරමි, මට මොකකුත් වුවමනා නැත, මේ සියල්ල භාර ගෙණ නිසි අන්දමට යොදා ප්‍රයෝජන ගන්නැ”යි කීවිට බාල බෑ වූ අජිත “අය්යා කුමක් කරන්නට කොහි යන්නට සූදානම් දැ?”යි ඇසී ය. හේ “මම බුදුරජුන් වෙත පැවිදි වෙමි”යි කී ය. “අය්යා මේ කියන්නේ කුමක් ද, මට මව මළවිට මව මෙන් පියා මළවිට පියා මෙන් සිටුනා එක් ම අය්යා ඔබ, ඒ ඔබ මේ කුමක් කියහු මේ ගෙයි ඇති වස්තුව ටික නො වේ, ඉමහත් ය, මුතු මැනික් මිල මුදල් වතුපිටි බතා බොහෝ ය, එහෙයින් පැවිදි වන්නට වුවමනා නැත, ගිහි ව සිට ඕනෑ තරම් පින් කළ හැකි ය, මෙසේ නො කළ මැනැව, මා තනිකඩයකු නො කළ මැනැව, මා හැර නො යනු මැනැවැ”යි අජිත බැගෑ හඬින් කියා සිටියේ ය. සෙන, මා බුදුරජුන් වෙතින් ඇසූ බණට අනුව පිළිපැදීම ගිහියකුට කළ නො හැකි ය, ඒ නිසාය මම පැවිදි වන්නෙම්, එයට කණස්සලු නො වන්න, මල්ලී ගේදොර දරුපවුල් රැක බලා ගෙණ හොඳින් කා බී දන්පින්කම් කරමින් දුප්පත් මිනිසුනට කෑම් බීම් වලින් මිල මුදලින් රෙදිපිළියෙන් උපකාර කරන්න, ඔවුන්ගේ ලෙඩට දුකට විපතට පිහිට වන්නැ”යි තම මලනු සනසාලා බුදුරජුන් වෙත ගොස් පැවිද්ද ඉල්ලී ය. උන්වහන්සේ ඔහු පැවිදි කරවා උපසපන් ද කරවූහ. හෙතෙමේ පැවිද්දෙන් වැඩි දවස් නො යවා ම සසර බැඳුම් මුළුමනින් බිඳ දමා සියලු කෙලෙසු මුලුසුන් කොට රහත්බවට පැමිණියේ ය.

ඉක්බිති අජිත සිය සොහොයුරු තෙරුන් වෙත ගොස් පැවිදි වූ සහෝදරයාට සත්කාර කරන්නට බුද්ධප්‍රමුඛ මහාසඞ්ඝයා වහන්සේට සත් දවසක් දන් පිළියෙල කොට පුදා බෑයා වැඳ, “ඔබ සසර දුකින් නිදහස් වූ වහු ය, මම පස්කම් ගුණයෙන් බැඳී සිටිමි, එ හාර දමා ගොස් පැවිදි වන්නට ඉඩ නැත, එහෙයින් ගිහිව සිට කළ හැකි ලොකු ම පින්කමක් මට කියන්නැ”යි ඉල්ලී ය. එ කල්හි සෙන ස්ථවිරයන් වහන්සේ “මල්ලි! එසේ නම් බුදුරජානන් වහන්සේට වැඩ හිඳින්නට ගඳකිළියක් කරව”යි කීහ. ඔහු ‘යහපතැ’යි පිළිගෙණ කම්කරුවන් ලවා නන්වැදෑරුම් වූ වටිනා ලීදඬු ලෑලි ගෙන්වා වඩුවන් ලවා ලීදඬු සස්වා රන් එබ්බූ එක් ටැඹෙක, රිදී එබ්බූ එක් ටැඹෙක, මැණික් එබ්බූ එක් ටැඹෙකැ යි මෙසේ ගඳකිළිය පිණිස ගත් සියලු ලීදඬු රුවන්කමින් විසිතුරුකරවා උන් ලවා ම ගඳකිළිය කරවා සත්රුවන් එබ්බූ පියසි උළුවලින් ම ගඳකිළිය වස්වා ලී ය.

මේ අතර අපරාජිත යන නම් ඇති ඔහුගේ බෑනනු කෙනෙක් මාමා වෙත පැමිණ “මාමේ! මමත් මෙහි වැඩ කරන්නට කැමැත්තෙමි, මට එයට ඉඩ දෙනු මැනැව, මටත් මෙහි පින් දෙනු මැනැවැ”යි ඉල්ලා සිටියහ. “බෑනා! මේ පින්කම එකලා ව ම මා විසින් ම කළයුතු ය, මෙයට අනෙකකුගේ සම්බන්‍ධය මම බලාපොරොත්තු නො වෙමි, අනෙකකුගේ උපකාරයෙක් මෙයට වුවමනා නැත, බෑනාගේ ඉල්ලීම ඉටු කරන්නට නො හැක්කෙමි”යි දෙටු අජිත කීයේ ය. බෑනා බොහෝ කොටත් ඉල්ලා සිටියේ ද මාමා එහි පින් දෙන්නට නො කැමැති වූ බැවින් ගඳකිළිය ඉදිරියෙහි වැඩ හිඳ දහම් දෙසන්නට සප්තරත්නමය කුඤ්ජර ශාලා නම් වූ ධර්‍මමණ්ඩපයක් කර වී ය. අප බුදුරජුන් දවස මෙණ්ඩක සිටු ව උපන්නේ මෙ‍ තෙමේ . ගඳකිළියෙහි මහාවාකවුළු තුන සත්රුවනින් කරවන ලද ය. ඒ ඉදිරියෙහි යටපත්ලෙහි සුණු පිරියම් කළ පොකුණු තුනක් කරවා සිවුදැ ගඳින් යුත් දිය පුරවා අපරාජිත ගැහැවි තෙමේ පස්වණක් පියුම් ගස් රොපණය කරවී ය. බුදුරජුන්ගේ ගඳකිළිය තුළ වැඩ හුන කල්හි සුළඟින් නැගුනු රෙණු උන්වහන්සේගේ සිරුරෙහි වැටී පැතිරී යනු පිණිස ගඳකිළිය මුදුන් කොත්හි කර වූ ඉකිළිය රන්මුවා ය. කැරලි, පබළුමුවා ය. කොත් කැරැල්ලට පහතින් සොයාලූ පියසිඋළු මිණිමුවා ය. මෙසේ ඒ ගඳකිළිය පිල් විදහා නටන මෙනෙරකු මෙන් ශොභමාන ව සිටියේ ය. සත්රුවන් අතුරෙහි ලොකු රුවන් ගල් පොඩි කරවා සිනිඳු කොටත් සිනිඳු රුවන්ගල් තුබූ ලෙසටත් ගෙණ ගඳකිළිය වටකොට බැඳි පවුරු වළල්ලෙහි ඇතුළත මලුව, පය තැබූ ඇසිල්ලෙහි දණ තෙක් එරී යන තරමට පුරවාලී ය.

මෙසේ ගඳකිළිය කරවා අවසන් කළ අපරාජිත තෙමේ සිය බෑ තෙරුන් වෙත එළැඹැ “ස්වාමීනි! ගඳකිළිය ගොඩනංවා නිම කරවාලීමි, ගඳකිළියෙහි සියලු වැඩ අවසන් වී ය, මම දැන් එය බුදුරජුන් පරිභෝග කරණු බලාපොරොත්තු වෙමි, උන්වහන්සේ එය පරිභෝග කළ විට මට මහත් පිණෙක් අයත් වන්නේ ය, එහෙයින් එලෙසක් කරවාලනු මැනැවැ”යි කියා සිටියේ ය. ඉක්බිති සෙන ස්ථවිරයන් වහන්සේ බුදුරජුන් වෙත එළැඹැ “ස්වාමීනි! මාගේ බෑ කෙළෙඹියා විසින් බුදුරජානන් වහන්සේට වැඩ හිඳින්නට ගඳකිළියක් කරවන ලද්දී ය, ඔහු දැන් එය බුදුරජුන් පරිභෝග කරණු බලාපොරොත්තු වන්නේ ය”යි සැල කළහ. බුදුරජානන් වහන්සේ හුනස්නෙන් නැගිට ගඳකිළිය ඉදිරියට වැඩ ගඳකිළිය වට කොට බහා තුබූ රුවන් රැස දෙස බලමින් දොර කොටුවෙහි රැඳී සිටි සේක. තුන් යලක් ම කෙළෙඹි තෙමේ “ගඳකිළිය තුළට වඩින සේක්වා”යි අයදනා ලද්දාහු නමුත් නො වැඩිය සේක. බුදුරජානන් වහන්සේ එහි ම වැඩ සිට තෙවන වර කෙළෙඹියාගේ බෑ තෙරුන් දෙස බලා වදාළ සේක. සෙන ස්ථවිරයන් වහන්සේ බුදුරජුන් බැලූ අයුරෙන් උනවහන්සේගේ අදහස් දැන මල්බෑයා අමතා “මෙහි එන්න, මේ සත් රුවන්හි ආරක්‍ෂාව සත්රුවන් රැකබලා ගැණීම තමා අයත්බව බුදුරජුන්ට සැලකොට උන්වහන්සේට සුවසේ වැඩ වදාරන්නට ආරාධනා කරව”යි කීහ. ‍

කෙළෙඹි ද බෑ තෙරුන්ගේ බස් පිළිගෙණ බුදුරජුන් පසඟ පිහිටුවා වැඳ “ස්වාමීනි! මිනිස්සු ගස්මුල් හි වාසය කොට එහි ආලය නො කොට බලාපො‍රොත්තු නැති ව එතැනින් නැගී යන්නාහ, ඔරු පාරු අඟුල්වලට නැග ගඟින් එතෙර ව ඒ ඔරු පාරු අඟුල්වල ආලය හැරදමා යන්නාහ, එපරිද්දෙන් බුදුරජානන් වහන්සේ මේ කිසිවක් රැකිය යුතුය,යි නො සිතා එය බරට නො‍ ගෙණ මෙහි වැඩ විසුව මැනැවැ”යි කියා සිටියේ ය. කුමක් නිසා බුදුරජානන් වහන්සේ මෙසේ වැඩ සිටි සේක් ද? යත්:- බුදුවරුන් වෙත උදය සවස රෑ නිතර යන මිනිසුන් මේ රුවන් දැක මෙයින් යමක් ගෙණ යන විට එය අපට වළකා ලන්නට නො හැකි ය, පිරිවෙණ රුවනින් පිරීසිටුනා කල්හි තමන් වහන්සේගේ උපස්ථායකයනුත් රුවන් ගෙණ යනු බලා එය ද වළකාලනු නො හැකි ය, රුවන් ගෙණ යන්නවුන් නො වළකන කල්හි කෙළෙඹියා ද මා කෙරෙහි අසහනයෙන් වෛර බැඳ අපාගත වන්නේ ය යන මේ කරුණු සලකා උන්වහන්සේ එහි වැඩ සිටි සේක. “ස්වාමීනි! රුවන් රැක බලා ගැණීම මා පිළිබඳ ය, බුදුරජානන් වහන්සේ සුවසේ වැඩ හිඳුනු මැනැවැ”යි කෙළෙඹියා සැලකොට සිටි කල්හි උන්වහන්සේ ගඳකිළිය තුළට පිවිසි සේක. කෙළෙඹි තෙමේ, හැමතින් රැකවල තබා රැකවල සිටියවුනට “ඔඩොක්කුවලින් හෝ මලු පැස්වලින් රුවන් ගෙණ යන්නට ඉඩ නො දෙවු, යමෙක් යමක් අතින් ගෙණ යේ නම් ඔවුන් නො වළකාලවු”යි දැන් වී ය. තව ද ඔහු “මා විසින් ගඳකිළි පිරිවෙන සත්රුවනින් පුරවන ලද්දේ ය, බුදුරජුන් වෙත පැමිණ බණ අසා යන දුප්පත් මිනිසුන්ට දෑත පුරා රුවන් ගෙණ යෑමට අවහිරයෙක් නැත්තේ ය, පොහොසතුනට ගෙණ යා හැක්කේ එක් අතකින් එක්විට ගත් රුවන් පමණ ය, ඉන් වැඩියක් ගෙණ යෑමට අවසර නැතැ”යි නුවර පුරා අණ බෙර ලැවූයේ ය. “සැදැහැවත් මිනිස්සු මෙහි පැමිණ දහම් අසන්නාහු වෙත්, සැදැහැ නැත්තාහු ධන ලොභයෙන් මෙහි පැමිණ දහම් අසා දුකෙන් මිදෙන්නාහු වෙත්”යි කෙළෙඹියාට මෙසේ අදහස් වූ බැවින් ඔහු මෙසේ රට පුරා ‍පළට කොට හැරියේ මහාජනයාට හිත වැඩ පිණිස ය. මහාජන තෙමේ ද කෙළෙඹියාගේ විධානය පරිදි මෙහි පැමිණ දහම් අසා ආපසු යත් ම රුවන් ද ගෙන ගියේ ය. මෙසේ ගෙණ යෑමෙන් එහි බහා තුබූ රුවන් නිමාවට ගිය කල්හි නැවැත නැවැතත් තුන්වරක් ම දණ පමණින් රුවන් එහි ලැවී ය. බුදුරජුන්ගේ සිරිපා මුල්හි තිඹිරි ගෙඩියක් තරම් වූ මිණිරුවනක් තැබී ය. උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් නික්මෙන රන්වන් රැස් සමග මිණිරුවනින් නිකමෙන රැස් එක්වූ කල්හි බලා සිටිනවුනට ඒ බැලීමෙහි සෑහීමක් නො වනු පිණිස හේ එසේ කෙළේ ය. මහාජන තෙමේ නො තිත්ව ම රැස් දෙස ම බලා සිටියේ ය.

දවසක් මිසදිටු ගත් බමුණෙක් බුදුරජුන්ගේ පා මුල්හි බහා තුබූ ඒ මාහැඟි මිණිරුවන හැර ගන්නට සිතා බුදුරජුන් වඳින්නට යනෙන මිනිසුන් අතරට වැදී විහාරයට ඇතුල් වී ය. එහි සිටි කෙළෙඹි ඔහු ඇතුල් වන සැටියෙන් ම මැණික පැහැර ගන්නට සිතා ඇතුල් වන්නේ ය යි සලකා “අනේ, මූ මෙය නො ගන්නේ නම් යෙහොකැ”යි ද සිතී ය. බමුණු ද බුදුරජුන් වඳින්නකු මෙන් පා මුල වැටී අත පොවා මැණික හැරගෙණ ඉණ තබා ගෙණ පලා ගියේ ය. කෙළෙඹි ඒ බමුණු කෙරෙහි සිත පහදා ගන්නට අපොහොසත් වූයේ දම් දෙසුම් අවසන්හි බුදුරජුන් වෙත ගොස් “ස්වාමීනි! ‍මම තෙවරක් ම ගඳකිළිය වට කොට දණ පමණින් රුවන් ලැවීමි, ඒ රුවන් ගත්තවුන් කෙරෙහි මෙතෙක් කිසිත් නො සතුටෙක් නූපන්නේ ය, ඔවුන් රුවන් ගෙණ යත් යත් ම මාගේ සිත වඩ වඩාත් පහන් වී ය, එහෙත් ‘අද මේ මැණික පැහැර නො ගන්නේ නම් යහපතැ’යි සිතමින් සිටි මම එය බැහැර ගත් බමුණු දැක ඔහු කෙරෙහි සිත පහදා ගන්නට අපොහොසත් වීමි”යි දන්වා සිටියේ ය. බුදුරජානන් වහන්සේ ඔහුගේ බස් අසා “ඇයි, උපාසක! තමා අයත් දැය අන්හට ‍ගෙණ යා නො හැකි ලෙසක් කරන්නට උපදෙස් දුන්නේ නො වෙම් දැ”යි වදාළ විට ඔහු බුදුරජුන් දුන් උපදෙස් හි පිහිටා උන්වහන්සේ වැඳ “ස්වාමීනි! අද පටන් රජදරු කෙනෙක් හෝ සොරු හෝ මා නො කැමැති කරවා මා අයත් දාවලුහුයක් පමණකුත් පැහැර ගැණීමෙහි සමත් වූවෝ නො වෙත් වා, මා අයත් දැය ගින්නෙනුදු නො දැවේ වා, ජලයෙනුදු ගසා ගෙණ නො යේවා”යි පැතූයේ ය. බුදුරජානන් වහන්සේ ද “ඒ එසේ වනු ඇතැ”යි ඔහුට අනුමෙවෙනි බණ වදාළ සේක. කෙළෙඹි තෙමේ ගඳකිළි උලෙළ පවත්වනුයේ එක් ලක්‍ෂ අටසැට දහසක් භික්‍ෂූන් වෙහෙරැ වඩා හිඳුවාලා නව වසක් මුළුල්ලෙහි මහ දන් දී කෙළවර ඔවුන් හැම දෙනා වහන්සේට තුන් සිවුරු පිදී ය. සඞ්ඝනවකයා ලත් සිවුරු පිළී මසු දහසක් අගනේ විය.

කෙළෙඹි දිවි ඇති තාක් මෙසේ පින්කම් කොට එයින් ච්‍යුත ව දෙව්ලොව ඉපද විපස්සී බුදුරජුන් දවස පටන් අප බුදුරජුන් දවස දක්වා දෙව්මිනිසුන් අතර සැරිසරමින් ආයේ, මෙ දවස රජගහා නුවර සිටුගෙයක පිළිසිඳ ගත්තේ ය. එසේ පිළිසිඳ ගත් ඔහු නව මස් දෙපෝයක් මවුකුස විසී ය. ඔහු මවු කුසින් බිහි වූ දවසෙහි මුළු නුවර හැම තැන තුබූ කුදු මහත් සියලු ආයුධ දිලිහී ගියේ ය. ගෑනු පිරිමි හැමදෙනා පැළඳ තුබූ අබරණ ද ආලෝකය විහිදුවා බැබලෙන්නට වන. මුළු නුවර ‍එකාලෝක විය. සිටු තෙමේ පසුදා උදෑසන රජුට උවටැන් කරන්නට රජමැදුරට ගියේ ය. එ කල්හි බිම්සර රජ “සිට! අද සියලු ආයුධ දිලිහී ගියේ ය, නුවර ද එකාලෝක විය, තමුසේ, මෙසේ වන්නට ඇති හේතුව කිමැ’යි දනිහු දැ?”යි ඇසී ය. “දේවයන් වහන්සෙ! මාගේ ගෙයි ඔබ වහන්සේට දාසයෙක් උපන, ඔහු මහාපින්වතෙක, ‍ඔහුගේ පින් තෙදින් මෙසේ වී ය”යි සිටු තෙමේ කීයේ ය. “මොක ද, ඌ සොරෙක් වේ ද?”යි ඇසූ විට “දේවයන් වහන්ස! නැත, සොරෙක් නො වන්නේ ය, මහ පිණැත්තේ ය, කළ හොඳ පැතුම් ඇත්තේ ය”යි කීවිට රජ තෙමේ “එසේ නම් එදරු හොඳින් රැකවල් තබා වඩම, මේ මුදල එදරුට කිරි මිල පිණිස වේවා”යි දවසට මසු දහස බැගින් දෙන්නට භාණ්ඩාගාරයට නියම කෙළේ ය. දරුට නම් තබන දවසෙහි ඔහු උපන්දා මුළු නුවර එකාලෝක වූ බැවින් ජොති යි නම් කළහ.

වැඩිවියට පැමිණි ඔහුට ගෙයක් ගොඩ නැගීමට ගෙපල් පිරිසිදු කරත් ම ශක්‍රභවනය උණු වී ගියේ ය. සක්දෙව් “මේ කුමක් නිසා”යි බලනුයේ “ජෝතිය කුමරුට ගෙයක් ගොඩ නැගීමට ගෙබිම් ඉදි කරති” යි දැක “මෙ තෙම් මොවුන් ගොඩ නගන ගෙයි නො වසන්නේ ය, එහෙයින් මා දැන් එතැනට යා යුතු ය” යි වඩු වෙසක් මවා ගෙණ ගෙබිම් පිරිසිදු කරණ තැනට ගොස් එහි සිටියවුන් අතින් “තෙපි කුමක් කරහු?”යි ඇසී ය. “ජෝතිය කුමරුට ගෙයක් ගොඩ නැගීමට බිම් සකස් කරමු”යි කී කල්හි “ඔහුට ගෙයක් ගොඩ නැගීම තොපට කළ නො හැකි ය. ඔහු තොප කළ ගෙයක හිඳින්නෙක් නො වේ, පහවවු” යි කියා සොළොස් කිරියක් පමණ වූ බිම්පෙදෙසක් බැලීය. එකෙ‍ණෙහි ඒ බිම්පෙදෙස කිසිණු මඩුල්ලක් සේ මතල වී ය. නැවැත, සක්දෙව් මෙ තැන පොළොව පළාගෙණ සත්රුවන්මුවා සත්මාල් පායෙක් නැගේවා, පහය මැදිකොට හාත්පස් සත්රුවන් මුවා පවුරු වළලු සතෙක් නැගේවා, ඒ පවුරු කෙළවර කප්රුක් නැගේවා, පහයෙහි සතර කොණ නිදන් සැළි සතරෙක් නැගේවා”යි මෙසේ විටින් විට ඉටී ය. තමා ඉටූ පරිදි ඒ සියල්ල නැගී සිට ගත. එහි එක් නිදන් සැළෙක් යොදුනක් පමණ ය. එකෙක් තුන් ගවු පමණ ය. එකෙක් අඩ යොදුන් පමණ ය. එකෙක් ගව්වක් පමණ ය. බෝසතුන්ට පහළ වූ නිදන් සැළිවල මුවවිටි ද මේ වුවවිටි තරම් විය. යට පෙදෙස් පොළොව කෙළවර කොට සිටියේ ය. ජෝතිය කුමරුන්ට පහළ වූ නිදන් සැළිවට මුවවිටි තරම නො දක්වන ලද්දේ ය. සැළි සතර ම මුව සිඳ දැමූ තල් ගෙඩියක් සේ පිරිපුන්ව ම සිටියේ ය. පහය සිවු කොන්හි නාඹ තල් කඳන් වැනි උක්ගස් සතරෙක් පොළොවෙන් නැගී සිට ගත්තේ ය. ඒ ගස්වල කොළ මිණිමුවා ය. පුරුක් රන් මුවා ය, පෙර කළ කුශල කර්‍මයාගේ මහත් විපාක විසින් මොවුහු පහළ වූහ. දොර කොටු සතෙහි යක්‍ෂයෝ සත් දෙනෙක් රැකවල සිටියහ. මුල් දොර කොටුවෙහි යමකචොලි යක්‍ෂ තෙමේ යකුන් දහසක් පමණ වූ තම පිරිවර ගෙණ රැකවලෙහි යෙදී ගත්තේ ය. දෙවන දොර කොටුවෙහි උත්පල යක්‍ෂ තෙමේ දෙදහසක් පමණ පිරිවර යකුන් ගෙණ අරක් ගෙණ සිටියේ ය. තෙවන දොර කොටුවෙහි වජ්‍ර යක්‍ෂ තෙමේ යකුන් දහසක් සමග රැඳී ගත්තේ ය. සිවුවන දොරටුවෙහි වජ්‍රබාහු යක්‍ෂ තෙමේ සාරදහසක් යකුන් ගෙණ සිටියේ ය. ශකට යක්‍ෂ තෙමේ පන්දහසක් යකුන් ගෙණ පස්වන දොරටුව රැක සිටියේ ය. කටත්‍ථ යක්‍ෂ තෙමේ සවන දොරටුවෙහි සදහසක් යකුන් ගෙණ සිටියේ ය. දිශාමුඛ යක්‍ෂ තෙමේ සත් දහසක් යකුන් හා අරක් ගෙණ සිටියේ සත්වන දොරටුවෙහිය . පහය ඇතුළත පිටත් දැඩි රැකුම් වීය.

“ජෝතිය සිටුහට සත්රුවන්මුවා පහයෙක්, පවුරු වළලු සතෙක්, දොරකොටු සතෙක් හා නිදන් සැළි සතරෙක් උපනැ”යි ඇසූ බිම්සර රජ තෙමේ ඔහුට සිටු සේසත් යැවී ය. එතැන් සිට ඔහු ජෝතියසෙට්ඨි නම් වී ය. ඔහු සමග එක් ව පින්කම් කළ ස්ත්‍රිය උතුරුකුරු දිවයිනෙහි උපන. දෙවියෝ ඇය ගෙණවුත් සිටුගෙයි සිරියහන් ගැබෙහි තැබූහ. දෙවියන් විසින් ගෙණ ආ ඇය සහල් නැළියක් හා මැණික් ගල් තුනක් ගෙණ ආ ය. ඔවුනට දිවි තිබෙන තුරු ම ඒ සහල් නැළියන් ම බත් පිළියල වී ය. ගැල් සියයක් සහලින් පුරවනු කැමැත්තෝ නම් ඒ සහල් නැළියෙන් ම ගැල් පුරවති. එහෙත් සහල් නැළියෙහි අඩු බවෙක් නො වේ. සහල් නැළිය සහල් නැළිය තරම් ව ම සිටි යි. බත් පිසන විට සහල්, සැළියෙහි ලා මැණික් ගල් තුන උඩ තැබූ කෙණෙහි ම එගල් ගිනි ඇවිළ දැල් වී බත් පැසුනු පසු තුමූ ම නිවී යෙත්. ඒ සලකුණෙන් ඉත් පැසුනු බව දැන ගණිත්. මාළුපිණී පිසින කල්හි ද එසේ ය. මෙසේ මැණික් ගල් ගින්නෙන් බත් මාළු පිණී පිසනු ලැබේ. මැණික්වල ආලෝකයෙන් ම නිදත්. ගින්නෙක පහණෙක ආලෝකයක් ඔවුහු නො දත්හ.

ජෝතිය සිටුහුගේ සම්පත්තය මෙ බඳුය යි මුළු දඹදිව පළට ව ගියේ ය. මිනිස්සු යානවාහන නැගී සම්පත් බලන්නට නොයෙක් දෙසින් දහස් ගණනින් ගලා එන්නට වූහ. සිටු තෙමේ ඒ ඒ ආ ආ හැම දෙනාට උතුරුකුරු සහලින් ම බත් පිසවා දෙවන්නේ ය. “කප්රුක්වලින් තමන් කැමැති වස්ත්‍රාභරණ ගණිත්වා, තුන් ගවු පමණ වූ නිදන් සැළිවලින් යැපෙන පමණට ධනය ද ගණිත්වා”යි අණ කෙළේ ය. දඹදිව් වැසි සියලු දෙනා ධනය ගතුදු නිදන් සැළිවල අඟලක් පමණ වූත් අඩු බවෙක් නම් නො වී ය. මේ වනාහි විපස්සී බුදුරජුන්ගේ ගඳකිළි පි‍රිවෙණෙහි රුවන් විසුරුවාලීමෙහි ආනිසංසය වේ.

මෙසේ නොයෙක් මාදිලියේ ගෑණු පිරිමි දරු දැරියන් තම තමන් කැමති තාක් වස්ත්‍රාභරණ හා මිල මුදල් ගෙණ යන කල්හි බිම්සර රජ තෙමේ ජෝතිය සිටුහුගේ පහය දකිනු කැමැත්තේ ද මිනිසුන්ගේ යෑම් ඊම අතුරු සිදුරු නැති ව පැවැත බැවින් එයට කල් බලා සිටියේ ය. ටික දවසක් ගිය තැන මිනිසුන්ගේ පැමිණීම අඩු විය. ඒ දුටු රජ තෙමේ ජෝතිය සිටුහුගේ පියාට “තමුසේගේ පුත් ජෝතිය සිටුහුගේ පහය බලන්නට කැමැත්තෙමි”යි දන්වා සිටියේ ය. ඔහු ද, “දේවයන් වහන්ස! යහපතැ”යි කියා ගොස්, “පුත! අපාගේ මහාරජානන් වහන්සේ ඔබගේ පහය බලන්නට කැමැති බව මට දන් එවා තිබේ ය”යි දන්වා සිටි කල්හි ඔහු ද “යහපති, දේවයන් වහන්සේ පහය බලන්නට වැඩම කරණ සේක්වා”යි දන්වා යැවීය. එවිට රජ තෙමේ මහත් වූ පිරිවර ගෙණ සිටු මැදුර බලන්නට ගියේ ය. එහි දී පළමු දොරකඩ හැමද කුණු කසල බැහර ලන දාසිය, රජුට අත දුන් කල්හි රජ තෙමේ සිටු බිරිය යන හැඟීමෙන් ලජ්ජිත වනුයේ ඇයගේ අත නො ඇල්ලී ය. අන් දොරකඩ සිටි දැස්සෝත් සිටුහුගේ බිරියහ’යි සලකා රජ තෙමේ ඔවුන්ගේ අත් ද නො ගත්තේ ය. සිටු ඉදිරියට අවුත් පසු පසට වී “දේවයන් වහන්සේ ඉදිරියෙහි වඩින සේක්වා”යි කියා සිටියේ ය. එහි දී රජුට පහයෙහි මිණිමුවා බිම, බඹ සිය ගණනක් ගැඹුරු වූ මහා වළකඩක් සේ වැටහින. රජතෙමේ “මෙය මා මෙහි හෙළා අල්ලා ගන්නට සෑරූ වළකඩෙකැ”යි සිතා ඉදිරියෙහි පියවරකුත් තවන්නට මැලි වී ය. සිටු තෙමේ “දේවයන් වහන්ස! මෙය වළකඩෙක් නො වේ, බිය වන සේක් නම් මට පිටුපසින් වඩින සේක්වා, මම පෙරටු වෙමි”යි තෙමේ පෙරටු විය. සිටු එසේ පෙරටු වී බිම පා තබා යත් ම රජ ද නො බිය ව යනුයේ යට මාලේ පටන් පහය බලමින් පහය තුළ හැසුරුණේ ය.

රජු සමග ගිය අජාසත් කුමරු ද පියාගේ ඇඟිල්ල එල්බ ගෙණ පහ තුළ ඇවිදිනේ “මාගේ පියා පින්වත් නො වේ, මහා මෝඩයකු සේ පෙණේ, මේ ගැහැවි සත්රන්මුවා පහයෙක වෙසෙයි, මාගේ පියා රජ වූයේ ද දැවදඬුවලින් කළ දිරූ ගෙයක වසන්නේ ය, මා රජ වුවොත් මොහුට මේ පහයෙහි වසන්නට ඉඩ නො දෙමි, මෙය රජ සතු කරමි”යි සිතමින් ඇවිද්දේ ය. රජු පහයෙහි මාලෙන් මාලට නැග පහය සැම තැන ඇවිද උඩ මාලට නගිත් ම දාවල බත් අනුභව කරණ කාලය ලංව සිටියේ ය. රජ තෙමේ “සිට! මෙහිදී ම බත අනුභව කරන්නට ඕනෑ ය”යි කීයේ ය. “දේවයන් වහන්ස! යහපති, එය මට මහත් සතුටෙක්, එසේ නම් එය මාගේ මහත් පිණෙක්, දේවයන් වහන්සේට දැන් බත පිළියෙල වී තිබේ” යි කී කල්හි රජ තෙමේ සුවඳ දිය සොළොස් කළයක් නාලා සිටු හිඳිනා මණ්ඩපයෙහි පැණ වූ රුවන් පලඟෙහි හිඳ ගත්තේ ය. එවිට සිටු, රජුට අත දෝනා පැන් දී ලක්‍ෂයක් අගනා රන්තලියකට උණු කිරිබත් වඩා රජුගේ ඉදිරියෙහි තැබූ‍යේ ය. රජ තෙමේ බත් ය යි සිතා වළඳන්නට පටන් ගත්තේ ය. සිටු “දේවයන් වහන්ස! මේ බත් නො වේ, දියගතිය සහිත කිරිබත් ය”යි කියා අන් රන්තලියකට බත් බෙදා ඒ බත්තලිය මුලින් තැබූ තලිය උඩ තැබී ය. මතුයෙහි තුබූ බත් තලිය උණුසුම් ව තුබූ බැවින් රජුට එය පහසුවෙන් වළඳන්නට හැකි විය. රජ තෙමේ මිහිරි අහර වළඳනුයේ එහි පමණ නො දත්තේ ය. එය දුටු සිටු, රජුට වැඳ දොහොත් මුදුන් දී “දේවයන් වහන්ස! වැළඳූ පමණ සැහෙයි, මෙයට වැඩියෙන් වළඳනු නො මැනැවි, වැඩියෙන් වළඳනා ලද නම් දිරවා ගත නො හෙන්නේ ය”යි කී ය. “ඇයි, ගැහැවිය! තාගේ බත එසේ බර කොට කියහු?”යි විචාළ කල්හි “දේවයන් වහන්ස! අපට ‍බරෙක් නැත, දේවයන් වහන්සේගේ සියලු බලසෙනඟට ද මේ බත් ම මේ මාළු පිණී ම සෑහෙන්නේ ය, අමුතුවෙන් ඔවුනටැ යි බත් මාළු පිළියෙළ කිරීමෙක් නැත, එහතේ මම නින්‍දාවට බය වෙමි”යි කීයේ ය. රජු “කුමක් නිසා?”යි විචාළ විට “යම් ලෙසකින් රජුගේ කයෙහි ගිලන් බවෙක් වූයේ නම් ඊයේ රජතුමන් ජෝතිය සිටුගේ ගෙයි දී බත් වළඳන ලද්දේ ය, ඒ වේලෙහි සිටු විසින් යම් කිසිවක් කරණ ලද්දේ වනැ යි යමක්හු විසින් කියන ලද්දේ නම් මම එයට බිය වෙමි”යි කී ය. “ගැහැවිය! එසේ නම් බත්තලිය මෙ තැනින් ගණුව, දිය ගෙණෙව”යි දිය ගෙන්වා ගෙණ අත කට සෝදා ගත්තේ ය. රජු බත් වළඳා අවසන් කළ කල්හි සියලු රජ පිරිස ද ඒ බත් ම අනුභව කළහ. අමුතු ‍බතෙක් ඔවුන් සඳහා පිළියෙල නො වූයේ ය.

අනතුරු ව රජ තෙමේ පිළිසඳර කතායෙහි යෙදුනේ සිටු අමතා “කිම, මේ ගෙයි සිටු බිරියක් නැද්දැ?”යි ඇසී ය. “දේවයන් වහන්ස! ඇතැ”යි කී විට “ඕ දැන් කොහි දැ?”යි විචාළේ ය. “ඕ සිරියහන් ගැබෙහි, දේවයන් වහන්සේ මෙහි වැඩිය බව ඕ නො දනී”යි කී විට රජ‍ තෙමේ කිම, “මම උදෑසන පිරිවර සහිත ව මෙහි ආයෙමි, මෙතෙක් වේලාත් මා මෙහි ආ බව ඈ නො දනී?”යි ඇසී ය. සිටු තෙමේ බිරිය වෙත ගොස් “අපගේ රජතුමා මෙහි යහපත් වූයේ ය, තිට රජු දැක ගන්නට නො වටී දැ?”යි විචාළේ ය. ඕ‍ තොමෝ හිමියාගේ බස් අසා වැදහෙව ම “හිමි! රජ නම් කවරෙකැ”යි ඇසූ ය. “අපගේ නායක, අපගේ ඊශ්වර රජ ය”යි කී කල්හි සිටු බිරිය “අප විසින් පෙර පින්කම් කරණ ලද්දේ නො සතුටු සිතින් විය යුතු ය, යම්තමකින් විය යුතු ය, අප යටත් කර ගත් නායකයෙක් වූයේ එහෙයිනි, කම්පල‍ නො අදහා පින් කොට අපි සම්පත් නො ලබා ම අන්හට යටත් ව උපන්නමෝ වම්හ, අප විසින් කම්පල නො අදහා ම දන් දෙන ලද්දේ වන්නේ ය, මේ අන්හට යටත් වීම ඒ නපුරු පින්කමේ විපාකැ”යි කිවු ය. එසේ කියා “හිමි! මම දැන් කුමක් කරම් දැ?”යි විචාළා ය. සිටු තෙ‍මේ “සොඳුර! තල් වැටක් ගෙණ ගොස් රජුට පවන් සලව”යි කී ය. ඕ එසේ කළා ය.

එකල්හි රජුගේ නළල් පටෙහි බැඳ තුබූ මැණික් ගල්වලින් නැගුනු දුම් සුළඟ ඇයගේ ඇස්වල වැදුනේ ය. ඇස්වලින් කඳුළු කඩා වැටින. රජතෙමේ එ දැක “මහ සිට! මාගම්හු නුවණ නැතියහ, මෝ තෙමෝ “රජ තෙමේ මාගේ හිමියා අයත් සැපත පැහැර ගත්තේ ය, යි සිතා බියෙන් හඬන්නී ය, ඇය සනසව, තාගේ යසිසුරෙන් මට වැඩෙක් නැතැ යි කීයේ ය. “දේවයන් වහන්ස! මෝ හඬන්නී එබඳු හැඟීමෙකින් නො වේ, දේවයන් වහන්සේගේ නළල් පටින් නැගි දුම් සහිත සුළඟ ඇයගේ ඇස්වල වැදීමෙන් කඳුළු ගලා යයි, මෝ කවදාකත් පහණක් වේව යි ගින්නක් ‍වේව යි නො බලා මැණික් එළියෙන් ම ආහාර ගණි යි, හිඳි යි, නිද යි, දේවයන් වහන්සේ පහන් එළියෙන් ම කටයුතු කරණ සේක් වන්නාහ”යි කී විට රජ තෙමේ “සිට! එසේ ය යි කීයේ” ය. “දේවයන් වහන්ස! එසේ නම් අද පටන් මැණික් එළියෙන් හිඳිනු මැනැවැ”යි කියා තියඹරා ගෙඩියක් තරම් වූ අනගි මිණිරුවනක් රජුට දුන්නේ ය. රජ තෙමේ පහය බලා “ජෝතිය සිටුගේ සම්පත්තිය ඉමහත් ය”යි කියා පරෙළා ගියේ ය.

මේ වනාහි ජෝතිය සිටුගේ උත්පත්ති කථා ය.

දැන් මෙතැන් සිට ජටිල සිටුහුගේ උත්පත්ති කථාව දත යුතු ය:- බරණැස් නුවර මනා රූ ඇති සිටුදුවක් වූ ය. ඇයගේ මවුපියෝ ඇය පසළොස් හැවිරිදි කාලයෙහි රැකවල පිණිස එක් දැස්සක් නිල කොට සත් මහල් පහයෙහි සිරියහන් ගැබෙහි වාසය කරවූ හ. අහසින් යන එක් විද්‍යාධරයෙක් දවසක් වාකවුළු දොර හැර පිටත බලමින් හුන් ඇය දැක උපන් සනා ඇතියේ වාකවුළු දොරින් ඇතුල් ව ඇය හා කාමසන්‍ථවය කෙළේ ය. ඕ එයින් වැඩි දවස් නො යවා දරුගැබක් ලැබූ ය. රැකවල සිටි දාසිය එය දැක “ආර්‍ය්‍ය! මේ කිමැ?”යි විචාළා ය. සිටුදුව “කාහටත් නො කියව මෙය”යි කිවූ ය. එයින් බිය වූ දාසිය එය කාහටත් නො කියා නිහඬ වූ ය. සිටුදුව දස මසක් ඉක්මවා පුතකු වැදූ ය. ඉන්පසු ඕ තොමේ අළුත් බඳුනක් ගෙන්වා ‍එ දරු එහි නිදි කරවා බඳුන වසා ඊමතුයෙහි මල්දම් තබා දාසිය අමතා “මෙය හිස මත තබා ගෙණ ගොස් ග‍ඟෙහි පා කොට හරුව, යමකු මේ කිමැ?”යි විචාරණ ලද්දී නම් මාගේ ස්වාමිදුවට බිලියමකැ යි කියව”යි දාසියට අණ කළා ය. ඕ එසේ කළා ය.

යටිගඟ තොටෙක නාමින් සිටි ගෑණු දෙ දෙනෙක් ගඟදියෙහි පාවී යන ඒ අළුත් සැළිය දැක එකියක් “තෙල සැළිය මාගේ ය”යි කිවු ය. එකියක් “සැළිය තුළ යමෙක් තිබේ නම් එය මට ය”යි කිවු ය. ඒ දෙ දෙනා මෙසේ කියා සැළිය ගොඩට ගෙණ වහුන් හැර එහි හුන් දරු දැක “බඳුන මට අයත් ය”යි කියූ ගැහැණිය “දරු අයත් විය යුතු මාහටැ”යි ද, “සැළිය තුළ යමෙක් වේ නම් ඒ මා අයත් ය” යි කියූ ගැහැණිය කෙළින් ම දරු මා අයත් විය යුතු ය”යි ද කලහ කරන්නට වූහ. කලහ කරමින් අධිකරණ ශාලාවට ගොස් විනිසකරුවන් ඉදිරියෙහි මෙය කියා සිටියහ. ඔවුහු ද මෙය විනිශ්චය කිරීමෙහි අපොහොසත් ව ඈලා රජු වෙතට පැමිණ වූහ. රජ තෙමේ ඈලාගේ බස් අසා “තී දරු ගන්න, තී බඳුන ගන්නැ”යි නියම කෙළේ ය. යම් තැනැත්තියක විසින් දරු ලද්දේ නම් ඕ තොමෝ මහාකාත්‍යායන තෙරුන්ගේ උපස්ථායිකා වූ වා දරු තෙරුන් වෙත පැවිදි කරන්නෙමි,යි ඉතා ආදරයෙන් රැක බලා වැඩූ ය. දරු උපන් දා ගැබ්මල සෝ දා නො හළ බැවින් කෙස් එකට බැඳී අවුල් ව සිටියේ ය. එහෙයින් ඔහු ජටිල නම් විය. එ දරු පයින් ඇවිදුනා කාලයෙහි මහාස්ථවිරයන් වහන්සේ උපාසිකාවගේ ගෙට පිඬු සිඟා වැඩිය සේක. උපාසිකා තොමෝ මහතෙරුන් වඩා හිඳුවා දන් වැළඳ වූ ය. ඒ අතර මහතෙරුන් වහන්සේ දරු දැක “කිම, උපාසිකාවට දරුවෙක් ලැබුනේ දැ?”යි අසා වදාළ කල්හි “ස්වාමීනි! එසේ ය, මම මේ දරු හදා වඩන්නෙම්, හාමුදුරුවන් වහන්සේ වෙත පැවිදි කිරීමට ය, එහෙයින් මෙ දරු පැවිදි කරගණු මැනැවැ”යි එ දරු මහතෙරුන්ට භාර කළා ය. උන්වහන්සේ දරු ගෙණ යන්නාහු “මොහුට ගිහිසැප වැළඳීමට පින් තිබේ දැ”යි බලනුවෝ, “මෙ තෙමේ මහාපිණැතියෙක, මහසැපත් අනුභව කරන්නේ ය, තවම ඉතා ලදරු ය, නුවණ ‍ද මෝරා නො ගියේ ය”යි දැක දරු ගෙණ තක්සලාවෙහි එක් උපස්ථායකකුලයකට ගියහ. එහි සිටි උපස්ථායක තෙමේ තෙරුන් වැඳ දරු දැක “ස්වාමීනි! ඔබවහන්සේට දරුවෙක් ලැබුනේ දැ”යි ඇසී ය. “ඔවු, මට ලැබුනු මේ දරු මෙහි රඳවා ගෙණ වඩවු”යි තෙරුන් කී කල්හි ඔවුහු දරු එහි රඳවා ගෙණ දරුපෙම් උපදවා මැනැවින් පොෂණය කෙළේය.

ඔහුගේ ගෙයි දොළොස් අවුරුද්දක් එකතු වූ බඩු රැසක් නො විකෙණී තුබුනේ ය. වෙණෙදා, බැහැර ගම් බලා යන දවසෙක ඒ සියලු බඩු කඩපිළට ගෙණ ගොස් තබා දරු ද එහි රඳවා “මේ බඩු ව මෙතෙක් මිල ගෙණ දෙව, මේ බඩුවට මෙතෙක් මිල ගණුව”යි ඒ ඒ බඩුවල ගණන් මිමි කියා ගියේ ය. දරු කඩපිළ රැඳුනු දා ම නුවර අරක් ගෙණ සිටි දෙවියෝ දුරු මිරිස් ලුනු ටිකක් පමණකුත් ගන්නට බලාපොරොත්තු වන ගෑණු පිරිමි හැම එකකු අන් කඩපිළකට යන්නට නතු නො කොට එ දරු හුන් කඩපිළට ම නතු කොට යැවූහ. එහි දොළොස් අවුරුද්දක් ම නො විකෙණී ගොඩ ගැස තුබුනු ඒ බඩු සියල්ල එක දවසින් විකිණී ගියේ ය. දවස් දෙක තුනක් යවා පැමිණි කෙළෙඹි සිස් ව තුබූ කඩපිළ දැක “ඇයි, දරු! තා කඩපිළෙහි තුබූ බඩු නිකමට විනාශ කරණ ලද දැ?”යි ඇසූ විට “එක බඩුවකුත් නො නැසූ වෙමි, පියා කියූ ලෙසට සියල්ල වික්කෙමි, මේ අසුවල් බඩුව විකුණා ලැබුනු මුදල, මේ අසුවල් බඩුවට ලැබුනු මුදලැ”යි එක් කොට තිබූ මුදල් සියල්ල ඔහුය භාර කෙළේ ය. එ දරු කෙරෙහි පහන් වූ කෙළෙඹි “මෙ තෙමේ වටිනා පිරි‍මියෙකැ, කො තැනක ගියත් රැකී ගත හැකි ය”යි සිතා වැඩිවිය පැමිණි සිටි තම දුව ඔහුට පාවා දීලා “මා පුතුට හිඳින්නට ගෙයක් ගොඩ නැගිය යුතු ය”යි කම්කරුවන් ගෙන්වා ගේ ගොඩ නගන්නට කම්කරුවන්ට නියම කෙළේ ය. ඔවුන් ගෙය ගොඩ නගා අවසන් කළ කල්හි “පුතා ගොස් පුතාට ගොඩ නැගූ ගෙයි නවාතැන් ගණුව”යි ගෙය පාවා දුන්නේ ය. ඔහු ගෙවදින දවසෙහි එක් පියවරක් එළිපත තබත් ම ගෙයි පිටුපස පොළොව බිඳ‍ ගෙණ අසූරියන් පමණ උස් වූ රන්කන්දෙක් නැගී සිටියේ ය. රජ තෙමේ ජටිලගේ ගේ පිටුපස පොළොව පළාගෙණ රන්කන්දෙක් මතුවී ඇතැ’යි අසා ඔහුට සිටුසේසත යැවී ය. එතැන් සිට ජ‍ටිල, ජටිලසෙට්ඨි නම් වූයේ ය.

ඔහුට පුත්‍රයෝ ති‍ දෙනෙක් වූහ. ඔවුන් වැඩිවිය පැමිණි කල්හි සිටු තෙමේ මහණ වන්නට සිතා “ඉදින් අප හා යසිසුරෙන් සමාන සිටු කුලයෙක් වේ නම් මට මහණ විය හැකි ය, නැත, මහණ වන්නට නො හැකිවනු ඇත, එහෙයින් මේ දඹදිව යසිසුරෙන් අප හා සමාන සිටුකුල ඇද්දැ”යි විමසනු පිණිස රන්මුවා උළුකැටක් ද රන් කැවිටි ලීයක් ද රන් හවඩියක් ද කරවා මිනිසුන්ට දී මේවා ගෙණ ගොස් කිසිවක් විමසන්නා සේ දඹදිව මුළුල්ලෙහි ඇවිද අපගේ සම්පත් හා සමාන සම්පත් ඇති සිටුකුල ඇද්ද, නැද්දැයි දැන එවු” යි මිනිසුන් යැවී ය. ඔවුහු ඒවා ගෙණ‍ ගොස් සෑම තැන ඇවිද විමසා බලනුවෝ භද්දිය නගරයට ගියහ. එ කල්හි මෙණ්ඩක සිටු තෙමේ ඔවුන් දැක “ඕය්! තමුසේලා කුමක් කරමින් මෙහි ඇවිදින්නහු දැ?”යි ඇසී ය. “එක්තරා කරුණක් ගැණ දැන ගණු පිණිස සොයා ඇවිදුම්හ”යි උන් කී කල්හි “මොවුහු එන් අළු කැටක් රන් කැවිටි ලීයක් රන්හවඩියක් අතේ ඇතිව කිසිවක් විමසන්නට හැසිරෙන්නෝ නො වෙති, මොවුහු රට ගැණ සොයා ඇවිදුනාහ”යි සිතා “අපගේ ගේ පිටුපසට ගොස් බලවු”යි කීයේ ය. ඔවුහු ද එහි ගියාහු අට කිරියක් පමණ තැන පොළොව බිඳ නැගී සිටි ඇත් අස් ගොන් තරම් වූ ඇළයෙන් ඇළය පැහැර සිටුනා සියලු සැපතින් පිරුණු කුස ඇති ගන රන්මුවා එළුවන් දැක උන්ගේ අතරින් අතර ඇවිද බලන්නට වූහ. මෙණ්ඩක සිටු “තමුසේලා යමක් බලමින් ඇවිදින්නහු නම් එය දක්නා ලද දැ”යි ඇසී ය. “ස්වාමීනි! නො දක්නා ලදැ”යි කී කල්හි “එසේ නම් යවු”යි ඔවුන් පිටත් කොට යැවී ය. ඔවුහු භද්දිය නගරයෙන් නික්ම ගොස් තමන්ගේ සිටු ඉදිරියෙහි පෙණී සිටියහ. එකල්හි සිටු තෙමේ “පින්වත්නි! අපගේ කුලයට සැපතින් සරිලන කුලයෙක් දක්නා ලද දැ?”යි විචාළේ ය. “ස්වාමීනි! ඔබ වහන්සේට කුමක් තිබේ ද, භද්දිය නුවර මෙණ්ඩක සිටානන්ගේ සම්පත්තිය මෙතෙකැ යි කියන්නට නො හැකි ය, ඒ ඉතා මහත් ය”යි මෙණ්ඩක සිටුගේ සම්පත්තිය පිළිබඳ සියලු තොරතුරු කියා සිටියහ.

එයැසූ ජටිල තෙමේ සතුටු ව “එක් සිටු කුලයක් ලදිමි, තවත් එබඳු කුලයෙක් වේ දැ”යි සොයා බලන්නට ලක්‍ෂයක් අගනා කම්බිලියක් දී නැවැතත් ඔවුන් පිටත් කොට යැවූයේ ය. ඔවුහු පළමු වාරයෙහි මෙන් ඒ කම්බිලිය ගෙණ රජගහා නුවරට ගොස් ජෝතිය සිටුහුගේ මාලිගාවට නො දුරෙහි තැනක ගිනිමැලයක් කොට හුන්හ. එහි රැස් වූ මිනිසුන් “මේ කිමැ?”යි ඇසූ විට “අප ලඟ මහත් වටිනාකම් ඇති පලසෙක් ඇත්තේ ය, වටිනාකම මහත් බැවින් එය මිල දී ගන්නට පොහොසත්කම් ඇති එකෙක් ද නැත්තේ ය, හැර ගෙණ ඇවිදුනා කල්හි සොරුන් විසින් එය දක්නා ලද නම් ඔවුන් අප මරා දමා එය පැහැර ගණු ඇත, ඔවුන බියෙන් පලස ගිනිබත් කරන්නට බලාපොරොත්තු වම්හ”යි කීහ. ජෝතිය සිටු,‍ මොවුන් ගැණ අසා මුන් ගෙන්වා “තෙපි කුමක් කරහු?”යි ඇසූ කල්හි ඔවුහු ඒ තොරතුරු කීහ. එවිට “තොප ලඟ තිබෙන පලසෙහි වටිනාකම කොතරම් දැ?”යි ඇසී ය. ඔවුන් එය ලක්‍ෂයක් අගනේ ය, යි කී විට ලක්‍ෂය දෙවා එය රැගෙණ “දොර කොටුව හැමද කසළ බැහැර ලන දැස්සට මෙය දෙවු”යි ඔවුන් අත ම එය යැවූයේ ය. ඕ ද පලස ගෙණ බලා හඬමින් සිටු වෙතට ගොස් “කිම, හිමියෙනි! මා අත වරදෙක් වේ නම් මට තළන්නට මා මරා දමන්නට නො වටී ද, කුමක් නිසා මෙබඳු දළ පලසක් මා වෙත එවුහු ද, මේ දළපිළීකඩ මම කෙසේ අඳිම් ද, කෙසේ පොරොවම් දැ”යි විචාළා ය. “මම මෙය තී වෙත එවූයෙම් අඳින්නට වත් පොරොවන්නට වත් නො වේ, මෙය බිස්සක් සේ කුඩාවට හකුළා තී වැද හෝනා යහන ලඟ තබා වැද‍ හෝනා වේලායෙහි සුවඳ දියෙන් පා සෝදා සේදූ පා පිසදමන්නට ගණු පිණිස ය, එයටත් මෙය නො සුදුසු දැ?”යි සිටු තෙමේ ඇසූයේ ය. එවිට දැස්ස “හිමියෙනි එය නම් කළ හැකි ය”යි පලස ගෙණ ගියා ය.

පලස විකිණීමට රජගහා නුවරට ගිය මිනිස්සු පලස මෙසේ විකුණා මේ තොරතුරු අසා දැන තමන්ගේ සිටු වෙතට ගියහ. උන් දුටු සිටු තෙමේ “කිම, අපට සරිලන සිටු කුලයෙක් වේ දැ?”යි ඇසී ය. “එහමෙ යි, ස්වාමීනි! රජගහානුවර උසස් සිටු කුලකේ ඇත්තේ ය, ඔබතුමාට ඇති වත්පොහොසත්කම කුමක් ද, ඔබගේ සම්පත්තිය මොන ලෙසකිනුත් රජගහානුවර සිටුහුගේ සම්පත්තියට ලං කරණු නො හැකි ය, රජගහානුවර සිටුහුගේ සම්පත්තිය ම ඉතා මහත් ය, පින්කම්හි විපාක බලන්නට නම් එහි යා යුතු ය”යි සියලු තොරතුරු දන්වා සිටියහ.

ඔවුන්ගේ බස් අසා සතුටු වූ සිටු තෙමේ “දැන් ඉතින් පැවිදි වන්නට ඉඩ ලබා ගණිමි”යි රජු වෙත ගොස් “දේවයන් වහන්ස! මම පැවිදිවනු කැමැත්තෙමි, එයට අවසර දෙනු මැනැවැ”යි පැවිද්දට අවසර ඉල්ලී ය. “හොඳයි මහසිට! පැවිදි වන්නැ”යි රජතෙමේ අවසර දුන්නේ ය. ඉක්බිති සිටු තෙමේ ගෙට ගොස් පුතුන් ඉදිරියට කැඳවා රන් මිටක් ඇති විදුරුතලයක් ඇති උදැල්ලක් දෙටු පුතු අතට දීලා “පුතේ! ගෙයි පිටුපස පිහිටි රන් කන්දෙන් පිඩක් කපා ගෙණ එව”යි කීයේ ය. දෙටුපුත් උදැල්ල ගෙණ ගොස් රන් කන්දට පහර දුන්නේ ය. ඒ උදලු පහර ගල්තල්ලකට පහට කලක් මෙන් වී ය. ඉන් පසු ඔහුගේ අතින් ‍උදැල්ල ගෙණ දෙවන පුතුට දී යැවී ය. ඔහු ද රන් කන්දට පහරත් ම එද පෙර සේ වී ය. නැවැත ඔහුගේ අතින් උදැල්ල ගෙණ බාල ම පුතු අතට දුන්නේ ය. ඔහු ගොස් එන් කන්දට පහර දෙත්, කොටා රැස් කොට තුබූ මැටි රැසකට කොටන්නා සේ රන් කන්ද සුණූ වී ගියේ ය. ඉක්බිති සිටු තෙමේ ඔහු කැඳවා “මෙතෙක් පමණැ”යි කියා දෙටු - මැදි පුතුන් දෙදෙනා ගෙන්වා “මේ රන් කන්ද පහළ වූයේ තොප දෙ‍ දෙනා නිසා නො වේ, මාගේ හා තොපගේ බාල මලනුවන්ගේ පින්පල වසයෙනි, එහෙයින් බාල මලනුවන් හා එක් ව මේ සම්පත් බෙදා වළඳවු”යි කීයේ ය. එන් කන්ද උන් දෙ දෙනා නිසා පහළවීමත් ජටිල උපන් දිනයෙහි ම දියෙහි පා කොට යැවීමත් කි නම් කර්‍මයක්හුගේ විපාක විසින් වූයේ ද? යත්: පෙර සසර ඇවිදුනා කාලයෙහි කළ කර්‍මයන්ගේ වශයෙනි.

කසුප් සම්මා සම්බුදු රජානන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතු වඩා දාගැබක් ගොඩ නගන කාලයෙහි එක් රහත් භික්‍ෂූන් වහන්සේ නමක් සෑය ගොඩ නඟන තැනට ගොස් සෑ කර්‍මාන්තයෙහි අඩු වැඩි දැය බලා “උපාසකයෙනි! කුමක් නිසා මෙහි උතුරුදිග මූණතෙහි වැඩ නො කෙරේ දැ?”යි විචාළ කල්හි ඔවුහු “එය මුළුමනින් කොට නිමවාලන්නට තිබෙන රන් මද හෙයිනැ”යි කීහ. එවිට උන්වහන්සේ “හොඳ යි, උපාසකයෙනි! මම ඇතුළු ගමට ගොස් මහාජනයා සමාදන් කරවා රන් එකතු කොට ගෙණ එන්නෙමි, එහෙයින් අත පසු නො කොට ඉතා ඕනෑකමින් කර්‍මාන්ත කර ගෙණ යවු”යි වදාරා ගමට වැද ගෙයක් ගානේ යමින් “මවුපියෙනි! තොපගේ සෑයෙහි එක් මූණතක වැඩ නිමවාලන්නට රන් නැත, එය ගොඩ නගා ගැණීමට අපි අපොහොසත් වූමූ නම් අපි හැම දෙන මහත් පිණෙකින් පිරිහෙන්නමෝ ය, නො කා නො බී හෝ එන් සපයා ගෙණ මේ සෑයෙහි ඉතිරි වැඩ අපිවිසින් ම කර ගත යුතු ය, රන් නැතැ යි පසුබට වීම අප වැන්නවුන්ට සුදුසු නො වේ, එහෙයින් එහිලා උත්සාහවත් වවු, උත්සාහවත් වන්නහු නම් එයට වුවමනා සියලු ම රන් සපයා ගත හැකි ය, හැම දෙන මෙහිලා නැගී සිටිය යුතු ය මෙය සුලු පින්කමෙකැ යි නො සිතිය යුතු ය, දෙව් සැපත් විඳ නිවන් සැප ලැබීමට මෙය හේතුවනු එකාන්ත ය, ඒ නිසා එයට හැකි පමණින් රන් දෙවු”යි මහාජනයාට කියමින් මහාජනයා සමාදන් කරවමින් එක් රන්කරු ගෙදරකට වැඩියාහ.

ඒ වේලෙහි ඒ ගෙයි රන්කරු තෙමේ සිය බිරිය හා කලහ කරමින් හුන්න් ය. උන්වහන්සේ ඒ ගැණ නො සලකා “තමුසේලා කරවීමට පටන් ගත් සෑයෙහි උතුරු දිග මූණත කරවීමට රන් නැත, එහෙයින් රන් එකතු කර දෙව”යි කීහ. එ වේලෙහි රන්කරු, බිරිය හා කලහ කොට කෝපයෙන් සැඬව සිටියේ “තොප‍ගේ බුදුන් දියෙහි දමා පා කොට හරිවු”යි කීයේ ය. රන්කරු එසේ කී කල්හි එය අසා සිට ඔහුගේ බිරිය “මොනවා මේ කියහි, මෙහි දී දක්වන ලද්දේ සැහැසිකමෙක්, මේවා විඳින්නට වේවි, මට කිපුණු ඔයාට කරන්නට තුබුනේ මට බැණීම හෝ ගැසීම ය, කුමක් නිසා බුදුරජුන් කෙරෙහි කිපුනෙහි දැ?”යි කීවා ය. රන්කරු, බිරියගේ බස් අසා තැති ගත්තේ “ස්වාමීනි! මට කමන්න, මම ඔබ වහන්සේගේ දාසයෙක්මි”යි තෙරුන්ගේ පා මුල වැඳ වැටී හොත්තේ ය. “උපාසක! ඔබ මට කිසිත් ඇණුමක් බැණුමක් නො කෙළෙහි, කෙළෙහි දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේට ය, බුදුරජානන් වහන්සේ ආර්‍ය්‍යයන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වන සේක, ශීලසමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥානදර්‍ශනාදි ගුණයන්ගෙන් අගතැන් පත් වූ සේක, එකී මහත් ගුණයන්ගෙන් උන්වහන්සේට ලංවිය හැකි දෙවියකු බ්‍රහ්මයකු තබා ආර්‍ය්‍යයෙකුදු මුළු තුන් ලොව කො තැනකත් නැත්තේ ය, එබඳු වූ බුදුරජානන් වහන්සේට කරණ ඇණුම් බැණුම් වලින් ලැබෙන දුර්විපාකය ඉතා බිහිසුණු ය, නපුරු ය, ඉවසිය නො හැකි ය, අනිටු විපාක ඇතියේ ය, යටත් පිරිසයින් සෝවන් වූ ගිහියෙකුට වුව ද කරණ ඇණුම් බැණුම් ද ඉතා දරුණු ය, ඇණුම් බැණුම් කෙළේ මරණින් මතු අපා‍යයෙහි ම උපදින්නේ ය, ආනන්තර්‍ය්‍යකර්‍ම කළහු මරණින් පසු ලබන උත්පත්තිය ආපායික වන්නා සේ ආර්‍ය්‍යයන් වහන්සේට ඇණුම් බැණුම් කළෝ ද දෙවන අත්බවේ දී අපායයෙහි උපදින්නෝ ය, එහෙයින් තා විසින් කළ මේ ඇණුම් බැණුම් සුලු විපාක ඇතියේ නො වේ, මහත් දරුණු විපාක ඇතියේ ය, මෙය, කල්පගණනක් අපාදුක් විඳීමට හේතු වන අත දෙන මහාපාපයෙක, තට අපායයෙහි ඉපැදෙන්නට සිදු වන්නේ ය, එහෙයින් බුදුරජුන් කමා කර ගණුව”යි උන් වහන්සේ කීහ.

එවිට ඔහු “ස්වාමීනි! කුමක් කොට කමා කරම් දැ?”යි ඇසී ය. “වියතක් පමණට රන්මල් යෙලයාළක් සාදා ඒ මල් නිදන් ගැබ තුළ තැන්පත් කොට තෙත් වත් ඇති ව තෙත් හිස කෙස් ඇති ව සිට සෑය වෙත වැඳ වැටී “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! භාග්‍යවතුන් වහන්සේගේ දාසයකු වූ මා විසින් කෝපයෙන් කියූ බසට කමා වන සේක්වා යි කමා කර ගණුව”යි තෙරුන් කී කල්හි ඔහු රන්මල් තනන්නේ, වැඩිමාලු පුතු කැඳවා “පුත! මම බුදුරජුන්ට තරහයෙන් නපුරු වචන කීමි, එහෙයින් මේ රන්මල් තනා ගෙණ ගොස් සෑය පුදා ධාතු නිධානයෙහි තබා බුදුරජුන් කමා කරවා ගන්නෙමි, පුතාත් මට මෙයට උපකාර කරන්නැ”යි කියේ ය. ඔහු “තරහයෙන් එසේ ඇණුම් බැණුම් කළේ තාත්තා ය, අපි නො වෙමු, ඒ නිසා තාත්තා ම එය කළ යුතු ය”යි කී විට දෙවන පුතුද ගෙන්වා ඔහුට ද තමාට සහාය වන්නැ,යි රන්කරු ඉල්ලී ය. දෙවන පුතා ද පියාගේ ඉල්ලීම පිළිකෙවු කෙළේ ය. එවර බාල පුතු ගෙන්වා තමාට මෙයට උපකාර ඉල්ලී ය. බාල පුතා “පියා විසින් කළයුතු කටයුතු කළ යුත්තේ දූ පුතුන් විසිනි, ඒවා දූ පුතුනට භාර ය, එහෙයින් මා එය කළ යුතු ය”යි පියාගේ ඉල්ලීම පිළිගෙණ පියාට සහාය ව සිට රන්මල් තැනී ය. රන්කරු වියතක් පමණට දිග පළල ඇති රන් මල් යෙල‍යාළක් කොට නිමවා තෙත් වත් ඇඳ තෙත් කෙස් ඇති ව ඒවා ගෙණ ගොස් ධාතුනිධානයෙහි තබා බුදුරජුන් කමා කරවූ යේ ය. මේ හේතුයෙන් සත් වරක් උපන්දා ම දියෙහි වැටුනේ ය. මේ වනාහි මොහුගේ අවසාන ආත්ම භාවය යිත මේ අත්බැමේදීත් එහි විපාක විසින් දියෙහි වැටුනේ ය. මොහුගේ දෙටු - මැදි දෙ පුත්තු රන්මල් තනන කාලයෙහි එයට කිසිත් උපකාරයක් නො කළහ. එයට සහාය වන්නට නො කැමැති වූහ. ඒ නිසා තම ගේ පිටුපස පහළ වූ රන්කන්ද ඔවුන් දෙ දෙනාට හිත පිණිස පහළ නො වූයේ ය. බාලපුතු හා ජටිල මල් තැනීමේ දී එක් ව රන්මල් තැනූ බැවින් ඔවුන් දෙ දෙනා පිණිස රන්කන්ද පහළ වී ය.

මෙසේ මෙ තෙමේ පුතුනට අනුශාසනා කොට අවවාද දී බුදු රජුන් වෙත ගොස් පැවිදිව කිහිප දවසකින් ම රහත්බවට ද පැමිණියේ ය. බුදුරජානන් වහන්සේ පසු කාලයෙහි භික්‍ෂූන් සමග පිඬු පිණිස හැසිරෙණ සේක් ඔහුගේ පුතුන්ගේ ගෙදොරට වැඩි සේක. ගෙ‍දොර වැස්සෝ අඩ මසක් ම බුද්ධප්‍රමුඛ මහාභික්‍ෂුසඞ්ඝයා හට මහදන් දුන්හ. භික්‍ෂූන් වහන්සේලා ද දම්සබා මඩුවෙහි මුන් ගැණ කතාවක් ඉපද වූහ. බුදුරජානන් වහන්සේ ඒ කතාව අසා “මපුත්හට ඔවුන් කෙරෙහි තෘෂ්ණාවක් හෝ මානයෙක් නැතැ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

යොධ තණ්හං පහාත්‍වාන අනාගාරො පරිබ්බජෙ,

තණ්හාභවපරික්ඛීණං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.

මේ ලෝකයෙහි යමෙක් තෘෂ්ණාව පහ කොට හැර දැමූ ගෙය ඇතියේ පැවිදි වේ ද, තෘෂ්ණාව හා භවයන් ක්‍ෂය කොට සිටි ඔහු, මම බමුණු යි කියමි.

යො ඉධ තණ්හං පහාත්‍වාන අනාගාරො පරිබ්බජෙ = මේ ‍ලෝකයෙහි යමෙක් තෘෂ්ණාව නසා හැර දැමූ ගෙය ඇතියේ පැවිදි වේ ද.

‘තණ්හා’ නම්: ඇස් - කන් - නාස් ඈ ස දොරට හමුවන රූප ශබ්ද ගන්‍ධාදී වූ අරමුණු නිසා උපදනා ප්‍රභේද විසින් අටෝරාසියක් වූ ලොභය යි. [1]

තෘෂ්ණාව නිසා ගිහි ව විසීමෙහි ආදීනව සලකා ගිහිගෙය සසර බැඳුම ය, කෙලෙස් උපදනා තැනැ,යි ගෙණ සලකා එය හැර ගියේ ‘අනාගාර’ නම්. [2]

තණ්හාභවපරික්ඛීණං තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = තෘෂ්ණාව හා භවයන් නසා සිටි ගෙවා සිටි ඔහු, මම බමුණු යි කියමි.

අටෝරාසියකට බෙදුනු තෘෂ්ණාව හා කාමභවාදි වශයෙන් බෙදුනු භවයත් මුළුමනින් ගෙවා සිටියේ ‘තණ්හාභවපරික්ඛීණ’ නම්.

මෙලොව යමෙක් තෘෂ්ණාව නසා සියලු දැය හැරදමා ශාසනිකයෙක් ව පැවිදි වේ ද තෘෂ්ණාව හා භවයන් නසා දැමූ ඔහු බ්‍රාහ්මණ නම් වන්නේ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.

ජටිල වස්තුව නිමි.

  1. 14-6 ‘දුක්ඛසමුප්පාදං’ යනු බලනු.

  2. 26-32 ‘අනාගාරො පරිබ්බජෙ’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.