යස්ස පුරෙ ච පච්ඡා ච මජ්ඣෙ ච නත්‍ථි කිඤ්චනං
අකිඤ්චනං අනාදානං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් පුද්ගලයකු විෂයයෙහි අතීත ස්කන්‍ධයන් පිළිබඳ වූ ද අනාගත ස්කන්‍ධයන් පිළිබඳ වූ ද, වර්‍තමාන ස්කන්‍ධයන් පිළිබඳ වූ ද, (තෘෂණාග්‍රහණ සඞ්ඛ්‍යාත) පළිබෝධයෙක් නැද් ද, රාගාදි කිඤ්චන රහිත වූ තෘෂ්ණා දෘෂ්ටි මාන ග්‍රහණයක් නැති ඒ වීතරාග පුද්ගලයා බ්‍රාහ්මණයැ යි මම් කියමි.
ධම්මදින්නාවගේ ස්වාමිපුත්‍ර වූ විශාඛ උපාසක තෙමේ දවසක් විහාරයට ගොස් බුදුරජුන් වෙතින් බණ අසා අනාගාමීඵලයට පැමිණියේ ය. ඉන් පසු ඔහු “දැන් ඉතින් මා අයත් සියලු දේපල ධම්මදින්නාවට පවරා දිය යුතු ය”යි සිතා ගෙට එනුයේ අනාගාමී වන්නට පෙර කො තැනක හෝ ගොස් ගෙට එන විට වා කවුළුයෙන් පිටත බලා ඉන්නා ධම්මදින්නාව දෙස බලා සිනාසෙමින් ගෙට ඇතුල් වන්නේ ය. අනාගාමීඵලයට පැමිණි දා ගෙට එනුයේ වා කවුළුයෙන් බලා හුන් ධම්මදින්නාව දෙස නො බලාම ගෙට ඇතුල් වී ය. ධම්මදින්නා තොමෝ අද මාගේ ස්වාමිපුත්‍රයා වෙනසා මෙන් මා දෙස බලා සිනහ නො වී ගෙට ඇතුල් වූයේ කුමක් නිසා දැ යි නො දනිමි, හොඳ යි, වේවා, කෑම ගන්නා වේලෙහි මෙය දැන ගන්නෙමි”යි වහා ම කෑම පිළියෙල කොට කෑම එළවා තැබූ ය. උපාසක, කිසිත් නො බැණ නිහඬව ම කෑම ගත්තේ ය. ඒ වේලෙහි ධම්මදින්නා “මා හිමි කුමකින් නමුත් මට කිපුනේ වනැ”යි සිතූ ය.
විශාඛ උපාසක දවසක් නිදහස් සිතින් සුවසේ ඉන්නා වේලාවක ධම්මදින්නාවට ලඟට කතා කොට වැඩි යමක් නො කියා “ධම්මදින්නා! මේ ගෙයි ඇති මා සතු සියලු දෙපල බාර ගෙණ යහතින් ජීවත් වන්නැ”යි කීයේ ය. එබසට කිපී ගත් ඕ තොමෝ දේපල නො පිළිගෙණ “මේ වන්නට යන්නේ කිමැ”යි සිතමින් “හිමි! තමුන්නාන්සේ මේ දේපල මට පවරා කො තැනක යන්නහු? කුමක් කරන්නහු?”යි විචාළා ය. මම මෙවක් පටන් මේ දේපල ගැණ නො බලමි, මට මේ දේපලවලින් වැඩෙක් නැත, එහෙයින් මම මේවා ගැණ කිසිත්විචාරීමක් ද නො කරමි”යි විශාඛ කී විට, ධම්මදින්නා තමුන්නාන්සේ විසින් කටින් දැමූ මේ කෙලගොඩ කවරෙක් පිළිගනී ද, මට මේ කිසිත් දැයෙක් වුවමනා නැත, මට පැවිදි වන්නට අවසර දුන මැනැවැ”යි ඉල්ලා සිටියා ය. “සොඳුර! හරි, ධම්මදින්නාවගේ අදහස හොඳ යි, මාත් එයට එකඟ යි, පැවිදි වන්නැ”යි මහත් සත්කාර පෙරටු කොට ඇය මෙහෙණවරට කැඳවා ගෙණ ගොස් පැවිදි කර වී ය. ඕ ඉන්පසු උපසපන් වූවා ධම්මදින්නාස්ථවිරා යි ප්‍රසිද්ධ වූ ය. විවේකය කැමැත්තෙන් මෙහෙණන් හා එක් ව දනවු බලා ගිය ධම්මදින්නා තොමෝ එහි වසන්නී නො බෝ දවසකින් ම පිළිසැඹියාවන් සමග රහත්බව ලැබූ ය. රහත්බව ලැබූ ඕ තොමෝ “මා නිසා මාගේ නෑයෝ පින්කම්හි යෙදී ගත්හ”යි පෙරළා රජගහානුවරට පැමිණියා ය. විශාඛ, ඇය රජගහානුවරට පැමිණි බව අසා මෙහෙණවරට ගොස් ස්ථවිරාවන් වැඳ එකත් පසෙක හිඳ “ආර්‍ය්‍යා! කුමක් නිසා නැවැත මෙහි ආවා ද? සසුන් පිළිවෙතෙහි කළකිරුණි දැ?යි ඇසීම නො සුදුසු ය, ප්‍රශ්නයක් පමණක් අසමි”යි සිතා ස්‍රෝතාපත්තිමාර්‍ගයෙහි ප්‍රශ්නයක් විචාළේ ය. ධම්මදින්නා තොමෝ ඇසූ ඇසිල්ලෙහි ම නො පැකිළ එය විසඳු ය. උපාසක, ඒ ලෙසින් සෙසු මාර්‍ගයන්හි ද ප්‍රශ්න විචාරා ඒ ඉක්මවා රහත් මගෙහි ද ප්‍රශ්න විචාළේ ය. එවිට ධම්මදින්නා තොමෝ “ඇවැත් විශාඛ! ඔබ මෙතෙක් රහත් නො වූ බැවින් එය ඔබට විෂය වූවෙක් නො වේ, කැමැත්තහු නම් ඕනෑකම තිබේ නම් බුදුරජුන් වෙත එළැඹැ මේ ප්‍රශ්නය විචාරවු”යි කීවා ය. එ කල්හි විශාඛ තෙමේ ස්ථවිරාවන් වැඳ හුන් තැනින් නැගිට බුදුරජුන් වෙත ගොස් ඒ සියලු කතාපුවත බුදුරජුන්ට සැලකෙළේ ය. උන්වහන්සේ “ධම්මදින්නා තෙමෝ ධර්‍මකථික වූ මෙහණන් අතර අග්‍රස්ථානයෙහි තබන ලද්දී මා විසිනි, ඕ තොමෝ පියුමතුරා බුදුරජුන් දවස හංසවතී නුවර පරා අයත් තැනෙක ඉපද සිටියා පියුමතුරා බුදුරජුන්ගේ අගසවු වූ සුජාත තෙරුන්ට අධිකසත්කාර කොට ඒ තනතුර පැතූ ය, ඕ දිවි පමණින් කුසල් දහම් කොට දෙව්ලොව උපන්නී ය, මෝ තොමෝ බුදුරජුන්ගේ කාලයෙහි උන්වහන්සේගේ භින්නමාතෘක වූ තුන් බෑයන්ගේ දානාධිකාරයෙහි කටයුතුවල යෙදී සිටි එහි සංවිධායක වූ කම්කරුගේ ගෙයි වසන්නී ‘එකක් දෙව’ යි කී කල්හි දෙකක් දීමෙන් සියල්ල නො පිරිහෙළා මැනැවින් සිදු කළා ය, එසේ කොට දෙයානූකපක් ඉක්මවා කසුප් බුදුරජුන් ලොව පහළව දම් දෙසමින් දනවු සැරිසරමින් ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යයෙහි යෙදී සිටුනා කාලයෙහි කිකීරජුගේ ගෙයි පිළිසිඳ ගත්තී ය, සත් බුහුනැනියන්ට ඇතුළත් ව විසි දහසක් අවුරුදු බඹසර හැසිරෙන්නී මහසඟුන් උදෙසා පිරිවෙණක් කරවා පිදූ ය, මෙසේ මෝ තොමෝ එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර ම සැරිසරන්නී මෙ දවස් සියලු කෙලෙස් නසා සිවුපිළිසැඹියාවන් ලබා රහත් වූ ය, මෙසේ මා දුවනිය වූ ධම්මදින්නාව විසින් එය මැනැවින් කියනලද ය, මමත් මේ ප්‍රශ්නය විසඳන්නෙම් එ ලෙසමැ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
යස්ස පුරෙ ච පච්ඡා ච මජ්ඣෙ ච නත්‍ථි කිඤ්චනං,
අකිඤ්චනං අනාදානං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
යමක් හට අතීත ස්කන්‍ධයන්හි ද අනාගත ස්කන්‍ධයන්හි ද වර්‍තමාන ස්කන්‍ධයන්හි ද පළිබෝධයෙක් නැත්තේ ද, පළිබෝධ නැති, ගැණීම් නැති ඔහු, මම බමුණු යි කියමි.
යස්ස පුරෙ ච පච්ඡා ච මජ්ඣෙ ච නත්‍ථි කිඤ්චනං = යමක්හට අතීත ස්කන්‍ධයන්හි ද අනාගත ස්කන්‍ධයන්හි ද වර්‍තමාන ස්කන්‍ධයන්හි ද පළිබෝධයෙක් නැත්තේ ද.
මෙහි ‘පුරෙ’ යන්නෙන් අතීත භවයෙහි නිරුද්ධ ව ගිය රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥාන යන ස්කන්‍ධ පංචකයත්, ‘පච්ඡා’ යන්නෙන් අනාගත භවයෙහි වර්‍තමාන හේතුන් නිසා පහළ වන රූප - වේදනාදිස්කන්‍ධ පංචකයත්, ‘මජ්ඣෙ’ යන්නෙන් අතීත භවයෙහි හේතුන් නිසා පහළ වූ වර්‍තමාන රූප - වේදනාදිස්කන්‍ධ පංචකයත් ගත යුතු ය.
‘කිඤ්චන’ නම් රාගාදිපලිබෝධයෝ ය. [1]
අකිඤ්චනං අනාදානං තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = පළිබෝධ නැති ගැණීම් නැති ඔහු, මම බමුණු යි කියමි.
රාගාදි පළිබෝධ නැතියේ ‘අකිඤ්චන’ ය. චතුරුපාදාන නැතියේ ‘අනාදාන’ ය. අතීත - වර්‍තමාන - අනාගත ස්කන්‍ධයන්හි රාගාදී වශයෙන් ගැණීම් නැතියේ තෘෂ්ණා - දෘෂ්ටි - මාන වශයෙන් ගැණීම් නැතියේ අකිඤ්චනැ යි ද, අනාදානැ යි ද ගත යුතු ය. ඉක්ම ගිය භවයෙහි ස්කන්‍ධයන්හි, ඉදිරියෙහි ලබන භවයෙහි ස්කන්‍ධයන්හි දැන් දරා සිටුනා භවයෙහි ස්කන්‍ධයන්හි ආත්ම ආත්මීය වශයෙන් ගැණීමෙක් යමක්හට නැත්තේ ද එසේ පළිබෝධ නැති, ගැණීම් නැති ඔහු බ්‍රාහ්මණ නම් වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
ධම්මදින්නා ස්ථවිරාවස්තුව නිමි.
15-2 ‘නත්‍ථි කිඤ්චනං’ යනු බලනු. ↑