අකක්කසං විඤ්ඤාපනිං ගිරං සච්චං උදීරයෙ
යාය නාභිසජෙ කඤ්චි තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් වචනයෙකින් කිසිවකු කුප්වා ද, එබඳු, රළු නොවූ, දෙලෝ වැඩ හඟවන්නාවූ සබවස යමෙක් පවසන්නේ ද, එසේ වූ ක්‍ෂීණාස්‍රව පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
පිලින්‍දිවච්ඡ මහාස්ථවිරයන් වහන්සේ ගිහි පැවිදි ගෑණු පිරිමි දෙව් මිනිස් ඈ හැම කෙනේකහට “වසලය! යව, වසලය! යව”යි වසල වාදයෙන් කතා කරත්. දවසක් භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් වෙත ගොස් “ස්වාමීනි! පිලින්‍දිවච්ඡ මහාස්ථවිරයන් වහන්සේ උස් පහත්කම් දෑ ගොත් පැවිදි නො පැවිදි දෙව් මිනිස් බැව් නො සලකා හැම කෙනෙක්හට වසල ය! වසල ය! යි වසලවාදයෙන් කතා කෙරෙති”යි සැලකළහ. එ කල්හි බුදුරජානන් වහන්සේ පිලින්‍දිවච්ඡ තෙරුන් ගෙන්වා “වච්ඡ! තමුසේ හැමදෙනාහට වසල, වසලැ,යි කියන්නහු සැබෑ දැ?”යි අසා වදාළ සේක. “ස්වාමීනි! එසේ ය” උන්වහන්සේ පිළිතුරු දුන්හ. එවිට බුදුරජානන් වහන්සේ පිලින්‍දිවච්ඡ තෙරුන්ගේ අතීතතත්ත්‍වය බලා බදාරා “මහණෙනි! පිලින්‍දිවච්ඡට අවමන් නො කරවු, පිලින්‍දිවච්ඡගේ වසල වාදයට නො කිපෙවු, මහණෙනි! පිලින්‍දිවච්ඡ, ද්වේෂයෙන් මැඩුනේ නො වේ, කිසිවකු හා තරහ ඇත්තේ නො වේ, ඒ නමගේ සිතෙහි කෝපයෙක් නැත්තේ ය, මහණෙනි! පිලින්‍දිවච්ඡ දෑ පන් සියයක් ම පිළිවෙළින් බුමුණු කුලයෙහි ඉපද ගත්තේ ය, බමුණන්ගේ ඒ වසල වාදය පිලින්‍දිවච්ඡටත් බොහෝ කලක සිට පුරුදු වී තිබේ, මහණෙනි! රහතුන්ගේ මුවෙහි රළු බසෙක් පරොස් බසෙක් අනුන්ගේ මර්‍මගටන බසෙක් කිසිදාකත් නැත්තේ ය, මා පුත් බොහෝ කලක පටන් තමන්ට පුරුදු වූ බසින් කතා කෙරේ ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
අකක්කසං විඤ්ඤාපනිං ගිරං සච්චං උදීරයෙ,
යාය නාභිසජෙ කඤ්චි තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
යම්කිසි වචනයකින් කිසිවකු නො කුප්වා ද (යමෙක්) එබඳු වූ රළු නො වූ වැඩ හඟවන්නා වූ සැබෑ තෙපුල් කියන්නේ ද ඔහු, මම බමුණු යි කියමි.
අකක්කසං = රළු නො වූ. මිහිර වූ. මටසිලිටි වූ.
යම් ද ඒ බසෙකින් මෙරමා සිත සැහැසි කෙරේ ද, මෙරමා සිත්හි කෝප උපදවා ද ජීවනස්ථාන ගටා ද එබඳු බස් ‘කක්කස’ නම්. එසේ මෙරමාගේ ජීවනස්ථාන නො ගටන බස් ‘අකක්කසං’ නම් වේ.
විඤ්ඤාපහිං = හිතවැඩ හඟ වන්නා වූ.
මේ කුසල්, මේ අකුසල්, මේ වරද, මේ නිවරද, මේ යායුතු මග, මේ නො යායුතු මග, මේ හිතවැඩ, මේ අහිත වැඩැ යි වෙන් කොට හිතවැඩ දන්වන්නා වූ බස් ‘විඤ්ඤාපනි’ නම්.
ගිරජ සච්චං උදීරයෙ = සැබූ තෙපුල් කියන්නේ නම්.
උදීරයෙ = ‘කියන්නේ ය’ යනු අරුත්. එහි වූ ‘උ’ යනු උපසර්‍ග යි. එය, ප්‍රබල්‍ය - වියොග = ලාභ - ඌර්‍ධවකර්‍ම - ප්‍රකාශ - උත්සවාස්ථ්‍ය - මෝක්ෂ - අභාව - බන්‍ධන - ප්‍රාධාන්‍ය - ශක්ති යන අරුත්හි එන්නේ ය. මෙහි ප්‍රකාශයෙහි සිටියේ ය.
යාය න අභසජෙ කංචි තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං = යම් වචනයකින් කිසිවකු නො කුප්වා ද ඔහු, මම බමුණු යි කියමි.
අභිසජෙ = කුප්වා, ලග්ගවා, කුපිත කෙරේ යනු අරුත්. එහි වූ ‘අභි’ යනු උපසර්‍ගයි එය, පූජා - ආභිමුඛ්‍ය - භෘශ - සාදෘශ්‍ය - ප්‍රයොග - ඉච්ඡා - ව්‍යාධ - නෘත්ත - සාරුප්‍ය - වචන - අදන - ආම්නාය යන අරුත් හි එන්නේ ය. මෙහි ආයේ ප්‍රයෝගයෙහි ය.
යම් වචනයකින් කිසිවකු කෝප ඉපදවීම් වශයෙන් නො ලග්ගවා ද කුපිත නො කෙරේද, එබඳු නො රළු එලොව මෙලොව වැඩ පහදාලන්නා වූ සැබෑ බස් කියන ඔහු, බ්‍රාහ්මණ නම් වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
පිලින්‍දිවච්ඡ ස්ථවිර වස්තුව නිමි.