පුබ්බෙනිවාසං යො’වෙදි සග්ගාපායං ච පස්සති
අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤාවොසිතො මුනි
සබ්බවොසිතවොසානං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යමෙක් පෙර වුසූ කඳපිළිවෙළ (ප්‍රකට කොට) දනී ද, ස්වර්‍ගය ද නිරය ද දිවැසින් දකී ද, යලි (ජාතික්‍ෂය සඞ්ඛ්‍යාත) අර්‍හත්ත්‍වඵලප්‍රාප්ත වූයේ ද, විශිෂ්ටඥානයෙන් දැන නිෂ්ඨාප්‍රාප්ත ද, සියලු කෙලෙසුන්ගේ අවසානය වූ අර්‍හත්ත්‍වමාර්‍ගඥාන නැමැති බ්‍රහ්මචර්‍ය්‍යය වැසැ නිම කළ ඒ ක්‍ෂීණාස්‍රවොත්තමයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
භාග්‍යවත් බුදුරජානන් වහන්සේ එක් අවස්ථායෙක වාත රෝගයකින් පෙළී සිටි සේක්, උපවාන තෙරුන් උණුදිය ගෙණ එන්නට දෙවඞ්ගික බ්‍රාහ්මණයා වෙතට යැවූ සේක. උන්වහන්සේ බමුණා වෙත ගොස් බුදුරජානන්වහන්සේ රොගාතුර ව වැඩ හිඳින බව කියා උණු දිය ටිකක් ඉල්ලූහ. එයසා තුටු සිත් ඇති බ්‍රාහ්මණ තෙමේ “බුදුරජානන් වහන්සේ උණු දිය ඉල්ලා තමන් වහන්සේගේ ශ්‍රාවකයකු මා වෙතට එවූ සේක ද, එය එකාන්තයෙන් මට මහත් ලාභයෙකැ”යි උණුදිය කදක් පුරුෂයකු ලවා ගෙන්වා ගෙණ යන්නට නියම කොට, උපවාන තෙරුන් අතට උක්පැණි මුළකුත් දුන්නේ ය. උන්වහන්සේ එය ගෙන්වා ගෙණ විහාරයට ගොස් බුදුරජුන් උණුදියෙන් නාවා උණුදිය ටිකක් බඳුනකට ගෙණ එහි උක්පැණි වත් කොට කලතා බුදුරජුන්ට පිළිගැන්නූහ. එය වැළඳූ සේක. එ කෙණෙහි ම වාතරෝගය සන්සිඳී ගියේ ය. බ්‍රාහ්මණ තෙමේ “දියයුත දැය කාහට දුන් කල්හි මහත්ඵල වේ දැ?යි බුදුරජුන් අතින් විචාරමි”යි සිතා බුදුරජුන් වෙත ගොස් එය විචාරණුයේ “දියයුතු දැය කවරක්හට දෙන්නේ කවරක්හට දෙන ලද්දේ මහත් ඵල ඇත්තේ වේ ද? කොයි ලෙසකින් දෙන්නහුට දක්‍ෂිණාව කෙසේ සමෘද්ධ වන්නී දැ?”යි විචාළේය.
ඉක්බිති එයට පිළිතුරු දී වදාරණ බුදුරජානන් වහන්සේ “මෙන්න, මෙබඳු බ්‍රාහ්මණයාහට දුන් දැය මහත් ඵල ඇත්තේ වේ ය”යි වදාරා බමුණාට ඒ දක්වන සේක් මේ ධර්‍මදේශනාව කළ සේක.
පුබේබෙනිවාසං යො වෙදී සග්ගාපායඤ්ච පස්සති,
අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤා වොසිතො මුනි,
සබ්බවොසිතවොසානං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
යම් මහණෙක් පෙර වුසූ කඳ පිළිවෙළ දනී ද, ස්වර්‍ගය හා අපායයත් දකී ද, අර්‍හනඵලයට පැමිණියේ ද, විශිෂ්ටඥානයෙන් දැන කටයුතු නිම කෙළේ ද, මගබඹසර වැස නිම වූ ඔහු, මම බමුණු යි කියමි.
පුබ්බෙනිවාසං යො වෙදී = යම් මහණෙක් පෙර වුසූ කඳපිළිවෙළ දනී ද.
‘පුබේබෙනිවාසං’ යන මෙයින් දැක් වූයේ තමන් පිළිබඳ වූත් පරා පිළිබඳ වූත් පෙර වුසූ ස්කන්‍ධපරම්පරාව පිළිවෙළින් සිහි කරණ නුවණ ය. ඒ මේ නුවණ පිළිබඳ ඉතා කෙටි කතාවක් “සම්පන්නවිජ්ජාචරණ” යන්නට කළ පරිකථායෙහි ලා කියන ලද්දී ය. එහි කියන ලද්ද හැර මෙහි කියනු ලබන්නී ද ඒ පිළිබඳ ඉතා කෙටි කතාවකි. එහෙයින් ඒ හා මේ හා බැලිය යුතු ය.
ස්කන්‍ධපරම්පරාව හෙවත් චුති-පටිසන්‍ධීන් සිහි කරණු කැමැති යොගී මහණහු විසින් පිඬු සිඟා ගොස් අවුත් වළඳා අවසන්හි විවේක ස්ථානයකට ගොස් එකලා ව හිඳ සිත එක අරමුණෙක තබා පිළිවෙළින් ප්‍රථම - ද්විතීය - තෘතීය - චතුර්‍ත්‍ථද්ධ්‍යානයන්ට සමවැද අභිඥාපාදකචතුර්‍ත්‍ථද්ධ්‍යානයෙන් නැගී සිටිය යුතු ය. එසේ චතුර්‍ත්‍ථද්ධ්‍යානයෙන් නැගී සිට තෙරුවන් වැඳීම් ආදී හැම කටයුතු වලට පසුව කළ හිඳීම ගැණ මෙනෙහි කළ යුතු ය. එයින් පසු ඒ හිඳීමට පෙරටු ව වූ අසුන් පැණවීම සෙනසුනට පිවිසීම පා සිවුරු තැන්පත් කිරීම හා වළඳන කාලය, ගමින් එන කාලය, පිඬු පිණිස හැසිරෙණ කාලය, ඒ පිණිස ගම්වැදුනු කාලය, විහාරයෙන් නික්මෙන කාලය, සෑ - බෝ වඳින කාලය, පාත්‍රය දෝනා කාලය, පාත්‍රය ගන්නා කාලය හා එතැන් පටන් මුවසේදීම තෙක් කළ කටයුතු ද එසේ ම අලුයම මැදියම පළමු යාමය යන මේ කාලයන්හි කළ කටයුතු දැ යි ප්‍රතිලෝම වශයෙන් ද සියලු රෑ දාවල කළ කටයුතු ද මෙනෙහි කළ යුතු ය. එවිට මේ කටයුතු ප්‍රකෘතිචිත්තයට හා පරිකර්‍ම වශයෙන් උපදනා සමාධිචිත්තයටත් ප්‍රකට ව වැටහෙනු ඇත. මෙයින් කිසිවක් නො වැටහේ නම් නැවැත පාදකද්ධ්‍යානයට සමවැද ඉන් නැගිට ආවර්‍ජනය කළ යුතු ය. එවිට ප්‍රකට ව වැටහෙන්නේ ය.
මෙසේ ප්‍රතිලෝම වහයෙන් දෙවන දවස තෙවන දවස සිවුවන දවස පස්වන දවස දසවන දවස ද අඩමස, මස, අවුරුද්දක් ද යන මෙතෙක් කල් තෙක් කළ දැය ආවර්‍ජනය කළ යුතු ය. ක්‍රමයෙන් දස අවුරුද්දක් ද විසි අවුරුද්දක් දැ යි මේ අත්බව්හි තමාගේ පිළිසඳ තෙක් මෙනෙහි කළ යුතු ය. නැවැත මෙයට අනතුරු අත්බව්හි ච්‍යුතික්‍ෂණයෙහි පැවැති නාම - රූප මෙනෙහි කළ යුතු ය. මෙහි පුරුදු කළ නුවණැති මහණ මුල්වාරයෙහි ම ප්‍රතිසන්‍ධිය උගුළුවා ච්‍යුතික්‍ෂණයෙහි පැවති නාම - රූප බැලීමට සමර්‍ත්‍ථ වන්නේ ය. මුලින් කියූ සේ පැසුළු හිඳීම පටන් ප්‍රතිසන්‍ධිය තෙක් පැවැති ඥානය පූර්‍වෙනිවාසානුස්මෘතිඥානය නො වන්නේ ය. ඒ වනාහි ඒ ඥානයට පිරියම් පිණිස පැවැති සමාධිය හා එක් වූ ඥානය යි. මේ යොගී මහණහුට ප්‍රතිසන්‍ධිය ඉක්ම ච්‍යුතික්‍ෂණයෙහි පැවැති නාම - රූප අරමුණු කොට මනෝද්වාරාවජිනචිත්තය උපදී ද එය නිරුද්ධව ගිය කල්හි එය ම එල්බ ගෙණ ජවන් සිත් සතරක් හෝ පසක් උපදී. එයින් මුලින් සිටි ජවන් සිත් පරිකර්‍මාදිකාමාවචර නම් ලබන අතර අවසනැ ම වූ ජවනය රූපාවචර චතුර්‍ත්‍ථද්ධ්‍යානය හා සමග යෙදුණේ අප්පණාචිත්ත යි නම් ලබන්නේ ය. ඒ අර්‍පණාචිත්තය හා සමග යෙදුනු ඥානය පුබ්බෙ නිවාසානුස්සතිඤාණ නම් වේ. ඒ හා යෙදුනු සිහියෙන් මේ යොගී තෙමේ පෙර වුසූ කඳපිළිවෙළ සිහි කරන්නේ ය.
මේ, බුදුරජානන් වහන්සේ එය වදාළ සැටි:-
“සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියාදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සති ඤාණය චිත්තං අභිනින්නාමෙති. සො අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථීදං :- එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසතිම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ට විවට්ටකප්පෙ ‘අමුත්‍රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණෙ එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදි එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූප පන්නොති ඉතිසාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො තම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්‍ය, තම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්‍ය, සො තම්හා ගාමා සකංයෙව ගාමං පච්චාගච්ඡෙය්‍ය, තස්ස එවමස්ස :- අහං ඛො සකමහා ගාමා අමුං ගාමං අගච්ඡිං, තත්‍ර එවං අට්ඨාසිං, එවං නිසිදීං, එවං අභාසිං, එවං තුණ්හී අහොසිං, තම්හාපි ගාමා අමුං ගාමං අගඤ්ඡිං, තත්‍රාපි එවං අට්ඨාසිං, එවං නිසීදිං, එවං අබාසිං, එවං තුණ්හී අහොසිං, සොම්හි තම්හා ගාමා සකංයෙව ගාමං පච්චාගතොති”යි.
අධිගතචතුර්‍ත්‍ථද්ධ්‍යානය ඇති යොගී මහණ තෙමේ මේ අයුරෙන් රූපාවචර සිත චතුර්‍ත්‍ථද්ධ්‍යාන සමාධියෙන් එකඟ වූ කල්හි උපේක්ෂාස්මෘථියෙන් පිරිසිදු වූ කල්හි එබැවින් ම ප්‍රබාස්වර වූ කල්හි පහ වූ රාගාදී අඞ්ගණ ඇති කල්හි පහ වූ කෙලෙස් ඇති කල්හි මොනවට වැඩූ බැවින් මොළොක් වූ කල්හි කර්‍මයට යොග්‍ය වූ කල්හි පිරිසිදු බැව් ආදියෙහි පිහිටි කල්හි ශ්‍රද්ධාදීන් විසින් පරිගෘහිත බැවින් නො සැලී සිටුනා කල්හි පූර්‍වෙනිවාසානුස්මෘතිඥානය පිණිස සිත එළවා තබයි. ඒ මහණ තෙමේ නන්වැදෑරුම් වූ පෙරවුසූ කඳපිළිවෙළ සිහි කරයි. ඒ කිසේය? යත් :- ජාති එකකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතළිසකුදු ජාති පණසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියක්දහසකුදු නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු අසවල් තැන මෙබඳු නම් ඇතියෙම් වීමි, මෙබඳු ගොත් ඇතියෙම් වීමි, මෙබඳ පැහැ ඇතියෙම් වීමි, මෙබඳු අහර ඇතියෙම් වීමි, මෙසේ සුවදුක් විඳියෙම් වීමි, මෙසේ ආයු කෙළවර කෙළෙම් වීමි, මම මෙයින් ච්‍යුත ව අසවල් තැන උපන්මි, එහිදු මෙබඳු නම් ඇතියෙම් වීමි, මෙබඳු ගොත් ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමි, මෙබඳු අහර ඇතියෙම් වීමි, මෙසේ සුවදුක් විඳියෙම් වීමි, මෙසේ ආයු කෙළවර කෙළෙම් වීමි, මම එයින් ච්‍යුත ව මෙහි උපන්මි”යි මෙසේ ආකාරසහිත වූ උද්දෙස සහිත වූ පෙරවුසූ කඳ පිළිවෙළ සිහි කරයි. මහණෙනි! යම් පරිදි පුරුෂ තෙමේ සියගමින් අන් ගමකට යන්නේ වේ ද, එ ගමිනුදු අන් ගමකට යන්නේ වේද, එකල්හි ඔහුට මෙබඳු සිත් වන්නේ ය :- මම වනාහි සිය ගමින් අසවල් ගමට ගියෙමි, එහිදී මෙසේ සිටියෙමි, මෙසේ හිඳ ගතිමි, මෙසේ බිණීමි, මෙසේ නිහඬ වීමි, මම එගමිනුදු අසවල් ගමට ගියෙමි, එහිදීත් මෙසේ සිටියෙමි, මෙසේ හිඳ ගතිමි, මෙසේ බිණීමි, මෙසේ නිහඬ වීමි, මම එගමින් පෙරළා සිය ගමට ම ආයෙමි” යනු එහි සිංහලය යි.
මෙහි “එකම්පි ජාතිං” යනු ප්‍රතිසන්‍ධිය මුල් කොට ච්‍යුතිය කෙළවර කොට සිටි එක් ම භවයකට අයත් එක් ම භවයෙක්හි ඇතුළත් ස්කන්‍ධපරම්පරාව ය. ජාති දෙකක් යනාදී තන්හි ද මෙසේ ය. “සංවට්ටකප්ප” නම්, පිරිහෙන නැසෙන කල්පය යි. “විවට්ටකප්ප” නම් වැඩෙන හට ගැණෙන කල්පය යි. මෙදෙකින් “සංවට්ටට්ඨායී - විවට්ටට්ඨායී” කල්ප ද ගැණේ. විස්තර විශුද්ධිමාර්‍ගයෙන් දත හැක්කේ ය.
“අමුත්‍රාසිං” යනු, අසවල් සංවට්ටකල්පයෙහි මෙ නම් භවයෙක හෝ මෙ නම් යෝනියෙක හෝ මෙ නම් ගතියෙක හෝ මෙ නම් විඤ්ඤාණට්ඨිතියෙක හෝ මෙ නම් සත්ත්‍වාවාසයෙක හෝ මෙ නම් සත්ත්‍ව නිකායෙක හෝ උපන්මි, “එවං නාමො” යනු, තිස්ස - ඵුස්ස ආදී වහයෙන් මෙසේ නම් ඇතියෙම් වීමි, “එවං ගොත්තො” යනු, කච්චායන - කස්සප ආදී වහයෙන් මෙසේ ගොත් ඇතියෙම් වීමි, යනු අරුත්. ඒ කාලයෙහි නම සිරුරෙහි පැහැය හෝ රළු පිණී දිවිපෙවෙත හෝ සුවදුක් අඩු වැඩිබව හෝ වයසෙහි අඩු වැඩිබව හෝ සිහි කරණු කැමැති නම් එද සිහි කරන්නේ ය. එහෙයින් “එවං වණ්නො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියෙන්තො” යනු වදාළෝ ය. ඒ මම ඒ භව - යෝනි ආදියෙන් ච්‍යුත ව අසවල් භවයෝනි ආදියෙහි උපන්මි’යි සිහි කරණ බව “සො තතො චුතො අමුත්‍ර උප්පාදිං” යන මෙයින් වදාළ සේක. “තත්‍රාපාසිං” යන මෙයින් වදාළෝ ඒ යොගීහුගේ මෙහි උපැත්මට අනතුරුව හුන් තැන, නම්, ගොත් ආදීන්ගේ සිහි කරණ බව දැක්වීමට ය. මේ යොගී තෙමේ ‘ඒ මම නැවැත උපන් එතැනින් ච්‍යුත ව මේ අත්බව්හි අසවල් කැත් කුලයෙහි හෝ බමුණු කුලයෙහි හෝ උපන්මි’යි සිහි කරන්නේ ය, යනු දක්වනු සඳහා “සො තතො චුතො ඉධූපපන්නො” යනු වදාළාහු ය. මෙසේ නොයෙක් අයුරින් පෙරවිසූ කඳපිලිවෙළ සිහිකිරීම පුබ්බෙනිවාසානුස්සතිඤාණ ය යි දත යුතු ය.
සග්ගාපායං ච පස්සති = ස්වර්‍ගය හා අපායයත් දකී ද.
සවිසි වැදෑරුම් දෙව්ලොව ‘සග්ග’ නම්. [1] සිවුවැදෑරුම් අපාය ය ‘අපාය’ නම්. [2] කාමස්වර්‍ග සය, බ්‍රහ්මලෝක නවය, සුද්ධාවාස පස, අරූපලෝක සතර, අසඤ්ඤසත්තය, වෙහප්ඵලය යන මේ ය සවිසි වැදෑරුම් ස්වර්‍ග. නිරය, තිරිසන් යෝනිය, ප්‍රේතලෝකය, අසුරකාය යන මේ ය සිවුවැදෑරුම් අපාය ය. ඒ මේ ස්වර්‍ගය හා අපාය ය දිවැසින් දැකීම ‘පස්සති’ යන ක්‍රියා පදයෙන් කියන්නේ ය. ච්‍යුති - උත්පත්ති දන්නා නුවණ දිවැසැ යි කියනු ලැබේ. [3]
අථො ජාතික්ඛයං පත්තො = තව ද අර්‍හතඵලයට පැමිණියේ (ද)
‘ජාතික්ඛය’ නම්, අර්‍හත්ඵලය යි. භවයෙහි ඉපැත් ම මුළුමනින් නසාලනුයේ අර්‍හත්ඵලයෙනි. එහෙයින් අර්‍හත්ඵලය ජාතික්ඛය යි කියන ලදී. [4]
අභිඤ්ඤා වොසිතො මුනි = විශිෂ්ටඥානයෙන් දැන සිවු මගින් කටයුතු නිම කෙළේ ද.
විශිෂ්ටඥානයෙන් දතයුතු මාර්‍ගඵලධර්‍ම වෙසෙනා දැන පිරිසිඳ දතයුතු පස්කඳ පිරිසිඳ දැන පැහිය යුතු තෘෂ්ණාව ප්‍රහාණය කොට පිළිවිද දතයුතු නිවන පිළිවිද දැන වැඩිය යුතු අරී අටඟිමග වඩා සිවුමගින් අවසන් කළ කටයුතු ඇතියේ ‘අභිඤ්ඤාවොසිත’ නම්. [5]
‘මුනි’ නම්, ආස්‍රවක්‍ෂයප්‍රඥායෙන් ප්‍රඥාවත් වූ රහතුන් වහන්සේ ය. [6]
සබ්බවොසිතවොසානං තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = මගබඹසර වැස නිම වූ ඔහු, මම බමුණු යි කියමි.
සකලක්ලේශයන්ගේ අවසනැ යි කියූ අර්‍හනමාර්‍ගඥාන නම් වූ බ්‍රහ්මචර්‍ය්‍යවාසය වැස නිම වූයේ ‘සබ්බවොසිතවොසාන’ නම්. “සබ්බකිලෙසානං වොසානං අරහත්තමග්ගඤාණං බ්‍රහ්මචරියවාසං වුත්‍ථබාවෙන සබ්බවොසිතවොසානං” යනු දේශනා ය. ‘තං’ යනු වෙසෙසෙන්නේ ය.
යමෙක් අතීතස්කන්‍ධපරම්පරාව දැන ස්වර්‍ගය හා අපායයත් දිවැසින් දැක අර්‍හනඵලයට පැමිණ විශිෂ්ටඥානයෙන් දැන සිවුමගින් කළයුතු කටයුතු මුළුමනින් ම ක්‍ෂය කෙළේ ද, මෙසේ මගබඹසර වැස නිම වූ ඔහු බ්‍රාහ්මණ නම් වන්‍නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය. බ්‍රාහ්මණයා ද පහන් සිත් ඇතියේ සරණයෙහි පිහිටා ගෙන තමන් උපාසකයකු බව දන්වා සිටියේ ය.
දෙවඞ්ගික බ්‍රාහ්මණ වස්තුව නිමි.