අක්කොසං වධබන්‍ධං ච අදුට්ඨො යො තිතික්ඛති
ඛන්තිබලං බලානීකං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් පුද්ගලයෙක් තෙම ආක්‍රොශය ද (පාණිප්‍රහාරාදි) වධය ද (අන්‍දුබන්‍ධනාදී) බන්‍ධනය ද යන හැම අපරාධ නොකිපි සිතැත්තෙක් ව ඉවසා ද, ක්‍ෂාන්තිබලය බල කොට ඇති ඒ ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණ නමැයි මම කියමි.
අක්කොසක භාරද්වාජබ්‍රාහ්මණයාගේ බෑ වූ භාරද්වාජ බ්‍රාහ්මණයාහට ධනඤ්ජානී නම් බිරියක් වූ ය. සෝවන්පලය පැමිණ සිටි ඕ තොමෝ කිවිසියා ද කැස්සා ද පැකිළ ගියා ද ඒ හැම තැන දී ම “භාග්‍යවත් වූ අර්‍හත් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේට නමස්කාර වේවා”යි උදන් අනන්නී ය. ඕ තොමෝ දවසක් බමුණකු එහි වළඳනා වේලෙහි පා පැකිළී ගියා “සම්මා සම්බුදු රජානන් වහන්සේට නමස්කාර වේවා” යි මහහඬින් උදන් ඇනූ ය. බමුණා එයසා කිපුනේ “මේ සැඩොලිය හැම තැන හැම වේලෙහි හැම ගැස්මක දී ම යම්තම් කරුණකට ඒ මුඩු මහණහුගේ ගුණ කියා ඌට නමස්කාර කරන්නී ය, දැන් මම ගොස් තීගේ ඔය ශාස්තෘවරයා හා වාද කරන්නෙමි”යි කීයේ ය. එකල්හි ඕ තොමෝ “යව, මේ මුළු තුන් ලොව කිසි තැනක ඒ භාග්‍යවතුන් හා වාද කොට ජය ගත් එකකු මම නො දකිමි, ඒ නිසා වාද තබා උන්වහන්සේ වෙත ගොස් උන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විචාරා බලව”යි කිවු ය. ඉක්බිති බමුණා බුදුරජුන් වෙත ගොස් නො වැඳ පෙසක සිට, “ගෞතම! කුමක් නසාලීමෙන් සුවසේ හොවී ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? කිනම් ධර්‍මයක්හුගේ නැසීම රුස්නේ දැ?”යි යන මේ ප්‍රශ්න අසා සිටියේ ය. එ කල්හි බුදුරජානන් වහන්සේ “ක්‍රෝධය නසාලීමෙන් සුවසේ හෝනේ ය, ක්‍රෝධය නසා ශෝක නො කරන්නේ ය, බමුණ! යම් හෙයකින් ක්‍රෝධය නසා ශෝක නොකෙරේ ද, එහෙයින් ආර්‍ය්‍යයෝ ක්‍රෝධය නැසීම පසසන්නාහ”යි ඔහුට පිළිතුරු දුන් සේක.
එකෙණෙහි ම බ්‍රාහ්මණ තෙමේ බුදුරජුන් කෙරෙහි පැහැද පැවිදි ව රහත්බවට පැමිණියේ ය. ඔහුගේ බාල සහෝදර වූ අක්කොසක භාරද්වාජ තෙමේ “සහෝදරයා පැවිදි වී ය”යි අසා කිපියේ බුදුරජුන් වෙත ගොස් උන්වහන්සේට නො සැබි රළු බසින් ආක්‍රෝශ කෙළේ ය. එහි දී බුදුරජුන් විසින් ආගන්තුකයනට කෑම් බීම් දීමේ උපමාවෙන් කරුණු ගන්වන ලද බ්‍රාහ්මණ තෙමේ උන්වහන්සේ කෙරෙහි ප්‍රසන්න ව පැවිදි ව රහත් වූයේ ය. තවත් මොහුට සුන්‍දරිකභාරද්වාජ - විලිඞ්ගිකභාරද්වාජ යි බාල සහෝදරයෝ දෙ දෙනෙක් ද වූහ. ඒ දෙ දෙන ද බුදුරජුන්ට ආක්‍රෝශ කරමින් සිටියේ උන්වහන්සේ විසින් හික්ම වන ලදු ව රහත් වූහ. මේ අතර දවසක “ඇවැත්නි! බුදුගුණ නම් එකාන්තයෙන් මහත් අසිරි ය, සහෝදරයන් සතර දෙනකුන් ඉදිරියට අවුත් ඇණුම් බැණුම් කරද්දීත් බුදුරජානන් වහන්සේ ඔවුනට කිසිත් නො බැණ ඔවුනට පිහිට වූහ”යි ධර්‍මසභායෙහි කතාවක් උපන. ධර්‍මසභාවට වැඩම කළ බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් කළ ඒ කතාව අසා “මහණෙනි! ඉවසීමෙහි බලයෙහි මුදුන් අත්තට පැමිණ සිටුනා මම, මට දොස් පරොස් කියන්නවුන් කෙරෙහි නො කිපී දොස් පරොස් නො කියා ඔවුනට පිහිට වීමෙහි සමර්‍ත්‍ථ වෙමි”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
අක්කොසං වධබන්‍ධං ච අදුට්ඨො යො තිතික්ඛති,
ඛන්තීබලං බලාණිකං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
යම් පුද්ගලයෙක් ආක්‍රෝශය හා වධ බන්‍ධන ඉවසා ද ක්‍ෂාන්තිය බල කාට ඇති ක්‍ෂාන්තිය බල ඇණි කොට ඇති ඔහු, මම බමුණු යි කියමි.
අක්කොසං = අක්‍රෝශය (ද).
සොරෙක, බාලයෙක, මූඪයෙක, ඔටුවෙක, ගොනෙක, කොටළුවෙක, තිරිසනෙක, නිරිසතෙක, තට සුගතියක් නැත, තට දුගතිය ම කැමැති විය යුතු ය, යන මෙලෙසින් අනුන් ගැටීම අනුනට ගැරහීම ආක්‍රෝශය යි. [1]
වධබන්‍ධං ච = වධ හා බන්‍ධන ද.
අත් පා දඬු මුගුරු අවි ගල් ගඩොල් ආදියෙන් අනුන් තැළීම, පෙළීම පහරදීම ‘වධ’ නම්. හැකිල්ලෙන් රැහැණින් යොතින් බැඳීම් මාංචු දැමීම් සිරගෙයි ලෑම් ආදිය ‘බන්‍ධන’ නම්.
අදුට්ඨො යො තිතික්ඛති = නො කිපි සිත් ඇති යමෙක් ඉවසා ද.
ද්වේෂයෙන් දූෂිත නො වූයේ නො කිපි සිත් ඇතියේ දශවිධ ආක්‍රෝශයත් අන්‍දුබන්‍ධන රජ්ජුබන්‍ධනාදියත් ඉවසන්නේ ය.
ඛන්තිබලං = ක්‍ෂාන්තිය බල කොට ඇති. ශක්තිමත් වූ ක්‍ෂාන්තිය ඇති.
මෙරමා විසින් කරණ කියන තමාට නොරුස්නා හැම එකක් ඉවසීමෙහි ශක්තිය ‘ඛන්තිබල’ නම්. යමක්හුගේ ඉවසීම මොන ලෙසකිනුත් නොසැලේ නම් එබඳු නො සැලෙන ඉවසීම ඇතියේ ක්‍ෂාන්තිය බලකොට සිටියේ ය. [2]
බලාණිකං = ක්‍ෂාන්තිය බල ඇණි කොට සිටි.
මෙහි නැවැත නැවැත උපදනා එම ක්‍ෂාන්තිය ම බලඇණි කොට සිටියේ ‘බලාණික’ නම්. හත්‍ථානීක - හයානීක - රථානීක - පත්තානීක යි අනීක සතරෙක් යුද්ධසෙනාඞ්ගයෙහි ලා කියන ලද්දේ ය. එහි පුරුෂයන් දෙළොසේ දෙනකු හා ඇතුන් තුන් දෙනකු ඇති බල ඇනිය ‘හත්‍ථානීක’ නම්. පුරුෂයන් තුන් දෙනකු හා අශ්වයන් තුන් දෙනකු ඇති බලඇනිය ‘හයානීක’ නම්. පුරුෂයන් සතර දෙනකු හා රිය තුනක් ඇති බලඇනිය ‘රථානීක’ නම්. ආයුධ ගෙණ සිටි පුරුෂයන් සතර දෙනෙක් ‘පත්තානීක’ නම්. මෙසේ කියන ලද්දේ අන්තිම කෙළවර ගෙණ ය.
“හත්‍ථිද්වාදසපොසොති පුරිසො තුරගො රථො,
චතුපොසොති එතෙන ලක්ඛණෙනාධමන්තතො.
හත්‍ථානීකං හයානීකං රථානීකං තයො තයො,
ගජාදයොතු සත්‍ථාතූ පත්තානීකං චතුජ්ජනා”
යනු කෝෂාගත ය. මෙහි ක්‍ෂාන්තිබලානීකය කියන ලද්දේ ය.
මුලින් කියූ බලඇනි හා මෙහි සම්බන්‍ධයෙක් නැත්තේ ය. මේ පවත්නේ කෙලෙස් සතුරන් පරදවා ජය ගැණීමට ය. ඒ පවත්නේ සතුරු මිනිසුන් පරදවා කෙරෙණ දිග්විජය සඳහා ය. මෙහිලා ක්‍ෂාන්තිබලානීකය ම උසස් වන්නේ ය. අන් හැම බලඇනියක් යටපත් කොට සිටියේ ය.
තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = මම ඔහු බමුණු යි කියමි.
ආක්‍රෝශ - අන්‍දුබන්‍ධන - රජ්ජුබන්‍ධන යන සියල්ල නො කිපී සිත් ඇති ව ඉවසන ඉවසීම බලය කොට සිටි ඉවසීම බල සෙනග කොට ගත් ඒ ක්‍ෂීණාස්‍රවයා මම බමුණු යි කියමි යි මෙයින් වදාළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
අක්‍රෝශකභාරද්වාජ වස්තුව නිමි.