යස්ස රාගො ච දොසො ච මානො මක්ඛො ච පාතිතො
සාසපො රිව ආරග්ගා තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් කිසිවකු විසින් රාගය ද ද්වේෂය ද මානය ද (ගුණ මැකීම් ලක්‍ෂණ වූ) මක්ඛය ද, හිදි අග නොරඳන අබැටක් මෙන් (ඒ ඒ මඟ නුවණින්) බැහැර ලන ලද්දේ ද එබඳු අශෛක්‍ෂයා බ්‍රාහ්මණ යැ යි මම් කියමි.
මහාපන්‍ථක ස්ථවිරයන් වහන්සේ සාර මසක් වෑයම් කොට ද එක් ගාථා පදයකුත් පුහුණු කරවා ලන්නට නො හැකි වූ බැවින් චුල්ලපන්‍ථක ස්ථවිරයන් වහන්සේට කතා කොට “චුල්ලපන්‍ථක! තමුසේට මේ ශාසනප්‍රතිපත්ති රැකීමට පිළිවන්කමක් ඇතිබව නො පෙණේ, එහෙයින් තමුසේ ශාසනයට නො සුදුස්සහු ය, ගිහි සම්‍පතිනුත් පිරිහී ගියහු ය, ඒ නිසා මෙහි විසීමෙන් තට වැඩෙක් නෙ වන්නේ ය, මෙ තැනින් බැහැර ගොස් ඉදිරියෙහි දිවි ගලවන්නට සෑහෙන යමක් කර ගණිවු”යි වෙහෙරින් පිටතට ඇද දමා වෙහෙර දොර වසා තැබූහ. එකල්හි භික්‍ෂූන් වහන්සේලා ධර්‍ම ශාලාවෙහි රැස් ව “ඇවැත්නි! මහාපන්‍ථක තෙරුන් විසින් චුල්ලපන්‍ථක තෙරුන් දොරට ඇද දමා දොර වසන ලද්දේ ය, මෙයින් රහතුන්ටත් ක්‍රෝධය උපදනාබව පෙණේ ය”යි කතා කරන්නට වූහ. එහි වැඩ ම කළ බුදුරජානන් වහන්සේ මෙය අසා “මහණෙනි! රහතුන්ට රාගාදී වූ කෙලෙස් නැත්තේ ය, මා පුතු විසින් චුල්ලපන්‍ථක බැහැර කරණ ලද්දේ ක්‍රෝධයෙන් නො වේ, අරුත් පෙරටු කොට දහම් පෙරටු කොට බැහැර කරණ ලදැ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
යස්ස රාගො ච දොසො ච මානො මක්ඛො ච පාතිතො,
සාසපොරිව ආරග්ගා තම්හං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
යමක්හු විසින් රාගයත් දෝසයත් මානයත් මක්ඛයත් ඉදිකටු අගින් ගිලිහෙන අබැටක් මෙන් හෙල ලද ද ඔහු, මම බමුණු යි කියමි.
යස්ස රාගො ච දොසො ච මානෙ මක්ඛො ච පාතිතො = යමක්හු විසින් රාගයත් දෝසයත් මානයත් මක්ඛයත් හෙලන ලද ද.
කාමරාගාදීන්ගේ වශයෙන් රාගය තෙවැදෑරුම් ය. “මේ සත්ත්‍වයෝ නැසෙත්වා” යන ඈ විසින් යම් අරමුණෙක්හි ගැටෙමින් උපදනා ද්වේෂය නවාඝාතවස්තූන්ගේ වශයෙන් නවවැදෑරුම් ය. “ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨ වෙමි” යන ඈ විසින් උපදනා මානය නව වැදෑරුමු ය. යට කියන ලද්දේ ය. මක්ඛය අනුන් විසින් කරණලද උපකාර මකා දැමීම ලකුණු කොට සිටියේ ය. අනුන් කළ උපකාර නසාලන්නේ ය.
මක්ඛය අසත්ගුණයෙකි. එයින් පළමු කොට කෙරෙණුයේ මකුගුණ ඇත්තහු සද්ගුණයෙන් මැකී යෑම ය. අසුචියෙන් අන්හට පහර දෙනු කැමැත්තේ පළමු කොට අසුචි තමන් ගේ අතට ගන්නේ ය. ඒ අතට ගත් අසුචියෙන් ඔහු ම පළමු කොට මැකෙන්නේ ය. ඔහු අත අසුචි තැවරෙන්නේ ය. එමෙන් මක්ඛයෙන් යුත් තැනැත්තහුගේ සද්ගුණ මැකී යන්නේ ය.
මේ අටුවා:- යදිපි හා සො ගූථං ගහෙත්‍වා පරං පහන්තො විය අත්තනො කරං පඨමතරං මක්ඛතියෙව, තථාපි පරෙසං ගුණ මක්ඛනාධිපපායෙන පවත්තෙතබ්බත්තා පරගුණමක්ඛනංති වුච්චති, තථාහි සො උදකපුඤ්ජනමිව නහාතස්සා සරීරගතං උදකං පරෙසං ගුණෙ මක්ඛති පුඤ්ජති විනාසෙති. පරෙහි වා කතානං මහන්තානම්පි කාරානං ඛෙපන්තෙ ධංසනතො මක්ඛොති වුච්චති, යනු.
සාසපො ඉව ආරග්ගා තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = ඉදිකටු අගින් ගිලිහී වැටෙන අබැටක් මෙන් හෙලන ලද ද ඔහු, මම බමුණු යි කියමි.
යමකු විසින් රාග දෝස මෝහ මාන මක්ඛ යන කෙලෙස් ඉදිකටු අග නො රඳා ගිලිහී වැටෙන අබැටක් මෙන් හෙලන ලද ද ඔහු බ්‍රාහ්මණ නම් වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
මහාපන්‍ථක ස්ථවිර වස්තුව නිමි.