ගම්භීරපඤ්ඤං මෙධාවිං මග්ගාමග්ගස්ස කොවිදං
උත්තමත්‍ථං අනුප්පත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
ගැඹුරු ප්‍රඥාවෙන් යුක්ත වූ විදර්‍ශනාඥානයෙන් මේධාවී වූ (මේ දුගති මග යැ මේ සුගති මග යැ මේ නිවන් මග යැ යී මෙසේ) මාර්‍ගාමාර්‍ගයන්හි දක්‍ෂ වූ (අර්‍හත්ත්‍වසඞ්ඛ්‍යාත) උත්තමාර්‍ත්‍ථයට සම්ප්‍රාප්ත වූ ඒ වීතරාග පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
දවසෙක සක්දෙව් රජ තෙමේ රෑ පළමු යම ගෙවී යත් ම දෙව් පිරිස ද ගෙණ බදුරජුන් වෙත පැමිණ සිහිකට යුතු සිත්හි එළවිය යුතු ධර්‍මකථාවක් අසමින් හුන්නේ ය. එවේලෙහි ඛේමා ස්ථවිරා තොමෝ බුදුරජුන් දක්නට අහසින් ආවා සක්දෙවිඳුන් හුන්බව දැක බුදුරජුන් වැඳ ආපසු යන්නට හැරී ගතු. සක්දෙවිඳු ඒ ස්ථවිරාවන් දැක “ස්වාමීනි! මෙහි එන්නට අවුත් අහස සිට ම බුදුරජුන් වැඳ අපාසු හැරී යන අරුන් දෑ කවුරු දැ?”යි විචාළේ ය. “මහරජ! ඛේමා, මාගේ දූ, පියුමතුරා බුදුරදුන් දවස හංසවතී නුවර උපන්නී ඒ බුදුරජුන්ගේ අගසවු වූ සුජාත තෙරුන් පිඩු සිඟා යන්නහු දැක අග්ගලා තුනක් පුදා එ දවස ම තම කෙස්වැටියත් කපා විකොට එයින් ලත් මුදලින් ඒ තෙරුන්ට දන් දී අනාගතයෙහි බුද්ධොත්පාදයෙක ඔබවහන්සේ මෙන් මමත් මහානුවණැතියා වෙම්වා යි පැතූ ය, එතැන් සිට නොයෙක් පින්කම් කරමින් කල්පලක්‍ෂයක් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරන්නී කසුප් බුදුරජුන් දවස කිකී නම් කාසි රජුන්ගේ ගෙයි පිළිසිඳ ගත්තී ය, එහි දී ඇයට සහෝදරියෝ සත් දෙනෙක් වූහ. මෝ අවුරුදු විසිදහසක් කුමරබඹසර රක්නී සහෝදරියන් හා එක් ව පිරිවෙණක් ගොඩ නංවා බුදුරජුන්ට පිදූ ය, එ තැන් සිට එක් බුද්ධාන්තරයක් ගෙවා මෙ දවස සාගල නුවර රජකුලයෙහි ඉපද නමින් ඛේමා නම් වූ ය. වැඩිවිය පැමිණියා බිම්සර රජුට අගමෙහෙසී වූවා ය, රූසපුවෙන් අගතැන් පත් වූ මෝ ‘බුදුරජ’ රූසපුවෙහි දොස් කියන්නේ ය’යි අසා කලක් මා දක්නට නො පැමිණියා ද රාජපුරුෂයන් විසින් මා වෙත පමුණුවන ලද්දී ය, එහි දී මම ඇයට දහම් දෙසීමි, දම් දෙසුම් කෙළවර මෝ සිටිපයින් සිටියා පිළිසැඹියාවන් සමග රහත්බවට පැමිණියා ය, නැවැත රජුගෙන් අවසර ගෙණ පැවිදි වූවා පසු කාලයෙහි මා වෙතින් නුවණැති මෙහෙණන් අතර අගතැන ද ලැබූ ය, මහනුවණැතියා මග නොමග දැනීමෙහි සමත්” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
ගම්භීරපඤ්ඤං මෙධාමං මග්ගාමග්ගස්ස කොවිදං,
උත්තමත්‍ථං අනුප්පත්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
ගැඹුරු වූ නුවණැති විදසුන් නුවණැති මගනොමග දැනීමෙහි දක්‍ෂ වූ අර්‍හතත්‍වයට පැමිණියා වූ ඔහු, මම බමුණු යි කියමි.
ගම්භීරපඤ්ඤං = ගැඹුරු වූ නුවණැති.
‘ගම්භීරපඤ්ඤ’ නම්: ගැඹුරු වූ නුවණැතියේ ය. රූප - වේදනා - සංඥා - සංස්කාර- විඥාන යන ස්කන්‍ධපඤ්චක ය බෙදිය හැකි කොටස් වලට වෙන් කොට එකකුත් නො හැර බෙදා බැලීම පහසු වැඩෙක් නො වේ. ඔවුන්ගේ අනිත්‍ය - දුඃඛ - අනාත්මලක්‍ෂණ සිතට නගා ගැණීම ද එසේ ම අපහසු ය. අවබෝධයට දැන ගැණීමට ඉතා අපහසු වූ ගැඹුරු වූ ස්කන්‍ධයන්ගේ පතුලට ම කැවී ගිය නුවණ ‘ගම්භීරපඤ්ඤා’ නම්. ඒ ඇතියේ ගම්භීරපඤ්ඤ. [1]
මෙධාවිං = විදසුන් නුවණැති.
විදසුන් නුවණ මෙහි ‘මෙධා’ නම්. ඒ ඇතියේ මෙධාවී.
මග්ගාමග්ගස්ස කොවිදං = මග නො මග දැනීමෙහි දක්‍ෂ වූ.
“මේ දුගතිමගය, මේ සුගතිමගය, මේ නිවණට මග ය, මේ නිවනට නො මග ය යනාදී විසින් මග නො මග දැනීමෙහි දක්‍ෂ වූයේ ය මග්ගාමග්ගස්ස කොවිද.
උත්තමං අත්‍ථං අනුප්පත්තං = අර්‍හතත්‍වයට පිළිවෙළින් පැමිණි. [2]
තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = ඔහු මම බමුණු යි කියමි.
ස්කන්‍ධයන් කෙරෙහි බැස ගත් නුවණැති පඤ්චස්කන්‍ධය අනිත්‍යාදී විසින් දක්නා නුවණැති මග නො මග දැනීමෙහි දක්‍ෂ වූ අර්‍හතත්‍වයට පැමිණි ඔහු බ්‍රාහ්මණ නම් වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවල් ඵලාදියට පැමිණියාහු ය.
ක්‍ෂෙමා භික්‍ෂුණී වස්තුව නිමි.