ආසා යස්ස න විජ්ජන්ති අස්මිං ලොකෙ පරම්හි ච
නිරාසයං විසංයුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් පුද්ගලයකුහට මෙ ලොව පරලොව පිළිබඳ (රූපාදි අරමුණු උදෙසා පවත්නා) තෘෂ්ණාවෙක් නොමැත්තේ ද, තෘෂ්ණා නැති, කෙලෙසුන් කෙරෙන් සිත බැහැරැ ගිය ඔහු බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් පන් සියයක් පිරිවරා ගෙණ දනව්වෙහි එක්තරා විහාරයෙක් වස් එළැඹියහ. මිනිස්සු උන්වහන්සේ දැක වස් විසූවනට දිය යුතු පිදෙවිලි පුදන්නෙමු’යි පිළින කළහ. මහතෙරුන් වහන්සේ වස් පවරා ඒ ඒ විහාරයන්හි වස් විසූවන්ට ලැබෙන පුද පිරිකර ලැබෙන්නට පෙරාතුව ම බුදුරජුන් දක්නට යන්නාහු “උපාසකවරුන් වස්සාවාසික පරිෂ්කාර ගෙණා කල්හි පිළිගෙණ බෙදා මා හා එක් ව යන වැඩිමාලු මහණුන්ගේ හා හෙරණුන්ගේ පිරිකර කොටස් එවා ලවු. එවන්න්ට පිළිවෙළක් නො වූයේ නම් නො නැසෙන ලෙසින් තැන්පත් කොට ඒ බව කියා ලියුමක් එවවු”යි කියා බුදුරජුන් වෙත ගියහ. ඒ අතර භික්‍ෂූන් වහන්සේලා “අදත් මේ තරම් උසස් තැනක සිටින්නා වූ සැරියුත් මහතෙරුන්ගේ සිත්හි ආබහිකම ඒ ඒ දැය කෙරෙහි ආශා ව දැඩි ව රැඳී තිබේ, වස්සාවාසික, ලැබුනු කල්හි තමන්ගේ සද්ධිවිහාරිකයනට වස්සාවාසිකය එවා ලවු, නැත, තැන්පත් කොට තබා දන්වාලවු යි නියම කොට ගියහ”යි කතා කරන්නට වූහ. බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් කරණ කතාව අසා “මහණෙනි! මා පුත් සැරියුත්හට ආශාවක් නැත, මිනිසුන්ට පිණෙන්, දහර හෙරණුන්ට ධාර්මික ලාභයෙන් පිරිහීමක් නො වනු පිණිස ඒ තැන එසේ කියන ලදැ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
ආසා යස්ස න විජ්ජන්ති අස්මිං ලොකෙ පරම්හි ච,
නිරාසයං විසංයුත්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
යමක්හට මෙ ලොව පරලොව ද ආශාවෝ නැත්තාහු ද තෘෂ්ණා රහිත වූ සියලු කෙලෙසුන්ගෙන් මිදුනා වූ ඔහු, මම බමුණු යි කියමි.
ආසා යස්ස න විජ්ජන්ති අස්මිං ලොකෙ පරම්හි ච = යමක්හට මෙලොව හා පරලොව ආශාවේ නො වෙත් ද.
නිරායාසං විසංයුත්තං තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = තෘෂ්ණා රහිත වූ සියලු කෙලෙසුන්ගෙන් මිදුනු ඔහු, මම බමුණු යි කියමි.
‘ආසා’ නම්: තෘෂ්ණා ය. අරමුණු අනුභව කරණ බැවින් අරමුණු යටපත් කොට එහි බැස සිටින බැවින් අරමුණු කරා ගොස් එය වළඳන බැවින් තෘෂ්ණා, ආසා නමැයි කියන ලදී. එයා රූපාශාය, ශබ්දාශාය, ගන්‍ධාශාය, රසාශාය, ස්ප්‍රෂ්ටව්‍යාශාය, ලාභාශාය, ධනාශාය, පුත්‍රාශාය, ජීවිතාශාය යි රූපාදී අරමුණුරස විඳීම් විසින් නන්වැදෑරුම් ය. යම් ශක්තියක් කරණ කොට ලෝකයෙහි ඇතිතාක් රූප ශබ්ද ගන්‍ධරාසදී වූ උස් පහත් අරමුණු කෙරෙහි බැඳේ ද ලැගේ ද ගැලේ ද ඒ ශක්තිය ‘ආසා’ නම්. “ඉච්ඡති එතායාති = ‘ආසා’ යනු අරුත් විදැහීම ය.
මෙ ද සලකන්නේ ය:-
“ආසාය කසතෙ ඛෙත්තං බීජං ආසාය වප්පති,
ආසාය වාණිජා යන්ති සමුද්දං ධනභාරකා,
යාය ආසාය තිට්ඨාමි සා මෙ ආසා සමිජ්ඣතු”
යනු. ආශාව නිසා කෙත සායි, ආශාව නිසා බිජුවට වපුරයි, ධනය රැස් කරණ වෙළෙන්දෝ ආශාව නිසා මුහුදට යත්, යම් ආශයෙකින් මම මෙහි සිටිම් ද මාගේ ඒ ආශාව සමෘද්ධවේවා, යනු අරුත්. මෙහි ආශා යි කීයේ කත්තුකම්‍යතා ඡන්‍දය යි. ආශාව වැනි බැවිනි. මේ වනාහා කාලුදායි තෙරුන්ගේ පැතීමෙකි. ඒ මේ ආසා නැත්තේ ‘නිරාසය’ නම්. සත්ත්‍වයා සසර බැඳ තබන සත්ත්‍වයා කෙලෙසන රාගාදීන් කෙරෙන් මිදුනේ ‘විසංයුත්ත’ නම්.
යමක්හට මෙලොවැ පරලොවැ දෙක්හිම මිනිස් සැප දෙව් සැප කෙරෙහි ආසා නැත්තී ද සියලු කෙලෙසුන්ගෙන් මිදුනා වූ ඔහු බ්‍රාහ්මණ නම් වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
ශාරීපුත්‍ර වස්තුව නිමි.