යො දුක්ඛස්ස පජානාති ඉධෙව ඛයමත්තනො
පන්නභාරං විසංයුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් පුද්ගලයෙක් තෙම මේ ආත්මභාවයෙහි ම තමා පිළිබඳ (ස්කන්‍ධ) දුඃඛයාගේ විනාශය දනී ද, ස්කන්‍ධභාරය බහා තැබූ කෙලෙසුන් කෙරෙන් මිදුනු ඒ ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණයෙකි යී මම කියමි.
එක්තරා බමුණකු වෙත සිටි දාසයෙක් ශික්‍ෂාපද පණවන්නට පෙරාතු ව පලා ගොස් පැවිදි ව රහත් බවට පැමිණියේ ය. බමුණු ඔහු නො දැක සිට දවසෙක බුදුරජුන් හා පිඬු සිඟා යන්නහු දැක දොර අතර දී සිවුරෙන් අල්ලා ගත්තේ ය. එවිට බුදුරජානන් වහන්සේ ගමන් නවතා “බමුණ! ඇයි, මේ කුමක් කරන්නු? ඇයි මේ නම ඩැහැ ගත්තහු?”යි අසා වදාළ කල්හි “පින්වත් ගෞතමයන් වහන්ස! මූ මාගේ දාස යා”යි කීයේ ය. “බමුණ! මෙතෙමේ බහා තුබූ බර ඇතියේ”යි වදාළ විට බමුණා ඔහු රහත් යි දැන ගත්තේ ය. එවිට බමුණු “භවත් ගෞතමයන් වහන්ස! එසේ දැ?”යි ඇසී ය. “ඔව් මෙතෙමේ බර බහා තබා සිටී ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
යො දුක්ඛස්ස පජානාති ඉධෙව ඛයමත්තනො,
පන්නභාරං විසංයුත්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
යමෙක් මේ අත්බැව්හි ම තමාගේ දුක පිළිබඳ විභාගය දනී ද, බහා තැබූ බර ඇති මිදුනා වූ ඔහු, මම බමුණු යි කියමි.
යො දුක්ඛස්ස පජානාති ඉධ එව ඛයං අත්තනො = යමෙක් මේ ආත්මභාවයෙදිමී ම තමාගේ දුක පිළිබඳ විනාශය දනී ද.
පන්නභාරං විසංයුත්තං තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = මම බහා තැබූ බර ඇති මිදුනා වූ ඔහු, බමුණු යි කියමි.
දුක්ඛස්ස = පංචස්කන්‍ධදුඃඛයාගේ, යනු අරුත්. රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥාන යන පස පංචස්කන්‍ධයයි. මුළුමනින් එය දුඃඛපිණ්ඩයෙකි. යථාර්‍ත්‍ථ විසින් දුඃඛපිණ්ඩය වූ පඤ්චස්කන්ධය දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය නරක තිර්‍ය්‍යක් ප්‍රේත අසුරාදීන්ගේ වශයෙන් මුළු ලෝකය මුළා කරන්නේ ය. යමෙක් මේ අත්බවේ දීම ඒ පංචස්කන්‍ධයාගේ විනාහය, මේ අත්බව හැර ඉදිරියෙහි ලබන අන් අත් බවෙක් මට නැතැ යි හෙඳ හැටි දනී ද, බහා තැබූ ස්කන්‍ධභාරය ඇති ඉදිරියෙහි ගෙණ යන ස්කන්‍ධභාරයක් නැති හැම කෙලෙසුන්ගෙන් මිදී සිටි ඔහු බ්‍රාහ්මණ නම් වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ බ්‍රාහ්මණ තෙමේ සෝවල් පලයෙහි පිහිටියේ ය.
අන්‍යතර බ්‍රාහ්මණ වස්තුව නිමි.