යො’ධ දීඝං ව රස්සං වා අණුං ථූලං සුභාසුභං
ලොකෙ අදින්නං නාදියති තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් පුද්ගලයෙක් මෙ ලොවෙහි දිගු වූ හෝ ලුහුඬු වූ හෝ අණුවූ හෝ ස්ථූල වූ හෝ යහපත් වූ හෝ අයහපත් වූ හෝ (හිමියන් විසින්) නොදෙන ලද (මෙරමා සතු) දැයක් සොර සිතින් පැහැර නො ගණී ද ඔහු බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
සැවැත් නුවර වැසි මිසදිටු ගත් එක්තරා බමුණෙක් සිරුර ගඳගැණීම් බියෙන් උතුරුසළුව ගලවා පසෙක තබා ගෙට මූණ ලා හුන්නේ ය. ඒ අතර එක් රහත් මහණෙක් බත්කිස නිමවා විහාරයට යනුයේ ඒ සළු ව දැක වටපිට බලා කිසිවකු නොදැක “මෙය හිමියන් නැති එකෙක් වනැ”යි පවුල් හැඟීමෙන් හැර ගත්තේ ය. එවිට සළු ව හිම බමුණා සළු ව ගත් තෙරුන් දැක බැණ දොඩා “මුඩු මහර්‍ණ මාගේ සළු ව ගත්තෙහි ඇයි දැ?”යි ඇසී ය. උන්වහන්සේ “සළුව ඔබගේ දැ?”යි අසා “එසේ ය” යි කී කල්හි “මම වට පිට බලා කිසිවකු නො දුටු බැවින් මේ සළුව හිමියකු නැති එකෙක් වනැ යි පවුල් හැඟීමෙන් ඇර ගතිමි, ඔබගේ නම් ගණුව”යි එය ඔයුට දී විහාරයට ගොස් මේ පුවත භික්‍ෂූන්ට දැන්වූහ. භික්‍ෂූණ් වහන්සේලා කවටකම් කරමින් “කොහාම ද, ඇවැත්නි! සළු ව දිග ද, කොට ද, දළ ද; මටසිලිටි දැ?”යි ඇසූහ. එවිට උන්වහන්සේ “දිග වුවත්. කොට වුවත් දළ වුවත් මටසිලිටි වුවත් මාගේ එහි ඇල්මෙක් නැත, පවුල් හැඟීමෙන් ගතිමි”යි කීහ. භික්‍ෂූන් වහන්සේලා එයසා බුදුරජුන් වෙත ගොස් “ස්වාමීනි! මේ මහණ බොරු කියා තමන් රහත්,යි හඟවන්නේ ය”යි සැල කළහ. එකල්හි බුදුරජානන් වහන්සේ “මහණෙනි! මේ නම කියන්නේ ඇත්ත ය, රහත්හු කවදාකත් අනුන් අයත් දැයක් නො ගණිති”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
යොධ දීඝං ව රස්සං වා අණුං ථූලං සුභාසුභං,
ලොකෙ අදින්නං නාදියති තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
යමෙක් මෙලොව දික් වූ හෝ ලුහුඬු වූ හෝ කුඩා වූ හෝ මහත් වූ හෝ යහපත් වූ හෝ අයහපත් වූ හෝ නො දුන් දැයක් නො ගණී ද ඔහු, මම බමුණු යි කියමි.
යො ඉධ දීඝං වා රස්සං වා අණූං ථූලං සුභාසුභං = යමෙක් මෙලොව දික් වූ හෝ ලුහුඬු වූ හෝ කුඩා වූ හෝ මහත්වූ හෝ යහපත් වූ හෝ අයහපත් වූ හෝ.
මෙහි ‘දීඝං - රස්සං’ යන දෙ පදය වස්ත්‍රාභරණාදීන්ගේ වශයෙන් ද, ‘අණුං - ථූලං’ යන දෙ පදය මණි මුක්තාදීන්ගේ වශයෙන් ද, ‘සුභාසුභං’ යනු මාහැඟි නො මාහැඟි වස්තූන්ගේ වශයෙන් ද යොදා ගත යුතු ය.
ලොකෙ අදින්නං න ආදියති තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = (මෙලොව) නො දුන් දැය නො ගණී ද ඔහු, මම බමුණු යි කියමි.
මෙහි ‘ ලොකෙ’ යනු ‘ඉධ’ යනු හා එක් කොට අරුත් ගත යුතු ය. ‘අදින්න’ නම්: වස්තු හිමියා විසින් කයින් හෝ වචනයෙන් හෝ නො දුන් වස්තු හිමියා විසින් රැකි දෙය ය. [1] එබඳු දැයක් සොරසිත් උපදවා පැහැර ගැණීම ‘අදින්නාදාන’ ය යි. මෙය එලොව මෙලොව දෙක්හි හැම දුක් ඵල කොට සිටියේ ය. අදින්නාදායී පුද්ගල, අපාදුක් විඳ මිනිස් ලොව උපන්නේ ධන ධාන්‍ය ලාභයෙන් පිරිහෙන්නේ ය. පස්කම් සැපතින් ඇද වැටෙන්නේ ය. උත්සාහයෙන් කය වෙහෙසා දුකින් උපයා ගත් යම් දැයෙක් වේ නම් ඒ හැම රජ - සොර - දිය - ගිනි - සතුරු යන උවදුරුවලින් නැසී යන්නේ ය. නො දුන් දෙය පැහැර ගන්නේ හැම කල්හි සැකයෙන් දිවි ගෙවන්නේ ය. දොරට පිළට නො ද බසින්නේ ය. හැම කෙනෙකුන් කෙරෙහි ම යටත් ව දවසරින්නේ ය. එහෙයින් නො දුන් දැය ගැණීහෙන් වෙන්විය යුතු ය.
මෙලොව යමෙක් වස්ත්‍රාභාරණාදීන්ගේ වශයෙන් දික් වූ හෝ ලුහුඬු වූ හෝ, මණි මුක්තාදීන්ගේ වශයෙන් කුඩා වූ හෝ මහත් වූ හෝ, මහඟු නො මහඟු වස්තූන්ගේ වශයෙන් මනා වූ හෝ නො මනා වූ හෝ අන්සතු දැයක් සොර සිතින් නො ගණී ද ඔහු බ්‍රාහ්මණ නම් වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
අන්‍යතරස්ථවිර වස්තුව නිමි.
1-10 ‘පාපකාරී’ යනු බලනු. ↑