දිවා තපති ආදිච්චො රත්තිං ආභාති චන්‍දිමා
සන්නද්ධො ඛත්තියො තපති ඣායී තපති බ්‍රාහ්මණො
අථ සබ්බමහොරත්තිං බුද්ධො තපති තෙජසා.
හිරු දහවල්හි දිලිසෙයි. සඳු රැයෙහි දිලිසෙයි. රජ තෙම අබරණින් සැරැහී සිවුරඟ සෙනඟින් පිරිවැරුනේ ම දිලිසෙයි. (හොබනේයි). බමුණු තෙම (හෙවත් රහත් තෙම) සමවතට සමවන්නේ දිලිසෙයි (හොබනේයි). නැවැත සියලු දිවා රෑ දෙක්හි සම්‍යක්සම්බුද්ධ තෙම (චරණ ගුණ ඥාන පුණ්‍ය ධර්‍ම යැ යි පස්වැදෑරුම් වූ) තේජසින් දිලිසෙයි.
පසේනදි කොසොල් රජ තෙමේ මහාපවාරණ දිනයෙහි සව්බරණින් සැරසී ගඳමල් ඈ පිදෙවිලි ගෙණ විහාරයට ගියේ ය. ඒ වේලෙහි කාලුදායි ස්ථවිරයන් වහන්සේ ධ්‍යානයට සමවැද පිරිස් කෙළවර හුන්හ. උන්වහන්සේගේ සිරුර ඒ වේලෙහි මන වඩන්නේ රන්වන් ව බැබලුනේ ය. ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ බැස යන සූර්‍ය්‍යාගේත් නැග එන චන්‍ද්‍රයාගේත් ආලෝකය බලා, නැවැත කොසොල් රජුගේ ශරීරශොභාවත් කාලුදායී තෙරුන්ගේ ශරීරශොභාවත් බුදුරජුන්ගේ ශරීරශොභාවත් බැලූහ. එහි දී ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ඒ සියලු ශොබාවන් මැඩ ඉක්මවා බුදුරජානන් වහන්සේගේ ශරීරශොභාව ම උසස් ව නැගී සිටුනා බව පෙණී ගියේ ය. ඉක්බිති තෙරුන් වහන්සේ බුදුරජුන් වැඳ “ස්වාමීනි! සූර්‍ය්‍යාගේ, චන්‍ද්‍රයාගේ, කොසොල් රජුගේ, කාලුදායී තෙරුන්ගේ, හා බුදුරජුන්ගේ ශොභාවන් බලා සිටි මට බුදුරජුන්ගේ ශොභාව ම අන් හැම කෙනෙකුන්ගේ ශොභා යටපත් කොට ඉතා උස් ව බබලන බව පෙණී ගියේ ය, බුදුරජුන්ගේ ශොභාව ම මා සිත් ගත්තී ය, බුදුරජුන්ගේ හොභාව ම සියලු ශොභාවන් මැට ගෙණ සිටියාය”යි සැලකළහ. එ කල්හි බුදුරජානන් වහන්සේ “ආනන්‍ද! හිරු දාවල්හි ම බබලන්නේ ය, සඳ රෑ දවස ම බබලන්නේ ය, රජ තෙමේ අබරණ ලා සැරසී සිටි කල්හි ම බබලන්නේ ය, රජ තෙමේ අබරණ ලා සැරසී සිටි කල්හි ම බබලන්නේ ය, රහත් තෙමේ පිරිස් හැර දමා එකලා ව සමාපත්තිය තුළ සිටියේ ම බබලන්නේ ය, බුදුවරයෝ වනාහි රෑ දවල් දෙක්හි ම පස්වැදෑරුම් තෙදින් බබලන්නාහ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
දිවා තප්ති ආදිච්චො රත්තිං ආභාති වන්‍දිමා,
සන්නද්දො ඛත්තියො තප්තා ඣායී තප්ති බ්‍රාහ්මණො,
අථ සබ්බමහොරත්තිං බුද්ධො තප්ති තෙජසාති.
හිරු දාවල බබලයි. සඳ රැයෙහි බබලයි. රජ තෙමේ අබරණින් සැරසුනේ බබලයි. ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ ධ්‍යාන කරන්නේ බබලයි. එහෙත් බුදුරජ තෙමේ සියලු රෑ දාවල තෙදින් බබලයි.
දිවා තප්ති ආදිච්චො = හිරු දාවල බබලයි.
‘ආදිච්ච’ යනු, සූර්‍ය්‍යායාට නමෙකි. සූර්‍ය්‍යයා ගැණ සූර්‍ය්‍යයාගේ පහළවීම ගැණ අපගේ බෞද්ධග්‍රන්ථයන්හි ද සැකෙවින් කරුණු දක්නට ලැබේ. ඒ ඒ ආචාර්‍ය්‍යවරයන් විසින් සූර්‍ය්‍යයා ගැණ දක්වා ඇති කරුණු බුද්ධභාෂිතය යි නො ගත යුතු ය. බෞද්ධග්‍රන්ථයන්හි එන් ඒ කරුණු සමහර විටෙක බැහැරලන්නට නො සිදුවනුයේ ද නො වේ. “අදිතියා පුත්තො = ආදිච්චො” යනු විසින් කෙරෙණ අර්‍ත්‍ථ විවරණයත්, “ආදිකප්පිකෙහි ඉච්චො ගන්තබ්බොති = ආදිච්චො” යනු විසින් කෙරෙණ අර්‍ත්‍ථ විවරණයත් පිළිගත යුතු ය යි කියනු සිත් නො ගන්නේ ය. එහි ‘අදිතියගේ පුත් ආදිච්චය’ යනු ප්‍රථමයෙහි අරුත් ය. මුල දී ආදිත්‍යයන් පස් දෙනකු වූ බවත් පසුව ධාතෘ - මිත්‍ර - අර්‍ය්‍යමන් - රුද්‍ර - වරුණ - සූර්‍ය්‍ය - භග - විවස්වත් - පූෂන් - සවිතෘ - ත්‍වෂ්ටෘ - විෂ්ණු යි දොළොස් දෙනෙකු වූ බවත් කියත්. ‘ආදිකල්පිකයන් විසින් එළැඹිය යුත්තේ ආදිච්චය’ යනු දෙවැන්නෙහි අරුත් ය.
සූර්‍ය්‍යයා මුළුමනින් වහ්නිගොලයක් බැවින් “ආභුසො දිප්පතීති = ආදිච්චො” යනු විසින් කරණලද විවරණය මෙහිලා පිළිගත යුතු සේ පෙණේ. ‘හාත්පසින් තදින් බබලා නු යි ආදිච්චය, යනු එහි අරුත්. සූර්‍ය්‍යයා ස්වභාව විසින් පහළ වූයේ ය. කිසිවකුගේ මැවීමෙක් නො වේ. කිසිවකුගේ ප්‍රසූතියෙක් නො වේ. එහෙයින් කිසිවකුගේ පුත්‍රයෙක් ද නො වේ. සූර්‍ය්‍යයා ගිනියම් ව බබලන ධාතුස්කන්‍ධයකින් නිපන් ගොලාකාර වස්තුවෙකි. ඒ මේ ගොලාකාර වස්තුව පසු කාලයෙහි වෛදිකයෝ වෛදිකසුක්තයන්ගෙන් දෙවියකු කළහ. වෛදිකයන් විසින් සූර්‍ය්‍යයා කෙරෙහි නැගූ ඒ දෙවත්‍වය පසු කාලයෙහි බෞද්ධයන් විසිනුදු පිළිගෙණ ඇත. “සුරියොති සුරියවිමානවාසී දෙවපුත්තො, පඨමකප්පික මනුස්සානං හි ලොභාදිපාපධම්මසමායොගෙන සරීරාලොකන්තරධානා සංවිග්ගමානසානං ජනානං සූරභාවං ජනයන්තො උප්පන්තො පුරිසො” යනු අපගේ අටුවායෙහි ආයේ ය. ‘සූර්‍ය්‍යයා සූර්‍ය්‍යවිමානවාසී දේවපුත්‍රයෙකි, ප්‍රථම කල්පික මනුෂ්‍යයන්ගේ සිත්තුළ කැටි වූ ලොභාදිපාපධර්‍මයන්ගේ බලයෙන් ඔවුන්ගේ ශරීරාලෝකය අතුරුදහන් ව ගිය පසු එයින් සංවේගයට පැමිණි ඔවුනට සූරභාවය දනවමින් උපන් පුරුෂැ’යි යනු එහි අරුත්. ඇතැම් අර්‍ත්‍ථකථාවෝ ‘ආදිච්ච’ යනු සූර්‍ය්‍යපර්‍ය්‍යායවචන මාත්‍රයෙකැ යි කියත්. “වෙවචනමතතමෙව එතං සුරියසද්දස්ස සාමඤ්ඤතො” යනු ඒ ය.
ආදිතය නමින් තෙජස්වී පුරුෂයෙක් ආදිකල්පික මනුෂ්‍යයන් අතර වූයේ ය, යනු හා, ඔහු ගෞතම ගෝත්‍ර ඇත්තේ ය යනු ද අර්‍ත්‍ථකථාවන්හි දක්නට ලැබේ. “භගවාපි ගොතමගොත්තො, ආදිච්චොපි ගොතමගොත්තො” යන අටුවා පෙළින් බුදුරජානන් වහන්සේත් ආදිත්‍යයනුත් ගෞතමගෝත්‍ර ඇතියන්බව පැහැදිලි වන බැවින් ආදිච්ච නමින් පූර්‍වපුරුෂයකු වූ බව පිළිගත හැකි ය. එකල්හි නම්, එහි ලා ‘අදිතියගේ පුත්‍ර ආදිච්ච’යි ගත හැකි ය. එහෙත් ඒ මේ වහ්නිගොලය නො වේ. අනෙකෙකි. ආදිත්‍ය ගෝත්‍රයෙහි උපන් මහානුභාවවත් ගෞතම ඍෂියා පටන් මෙම ආදිත්‍ය ගෝත්‍රය, ගෞතම ගෝත්‍ර නමින් ප්‍රකට වූයේ ය. බුදුරජුන් කෙරෙහි යෙදුනු ‘ආදිච්චබන්‍ධු, ආදිච්චගොත්ත, යනාදී වූ නාමයෝ ද මේ බව කියාලන්නෝ ය. ‘සූර්‍ය්‍යයා අදිතියගේ පුතැ’යි ගණිතොත් මේ යුගාන්තයෙහි පහළ වෙති යි කියන සප්ත සූර්‍ය්‍යයෝ ද අදිතියගේ පුත්හු’යි ගත යුතු වන්නේ ය. එසේ ගත යුතු දැ යි සිතා බැලිය යුතු ය.
‘තපති’ යන ක්‍රියාපදයෙන් දෙනුයේ බබලා යන අරුත ය. බබලන්නේ ආදිත්‍ය තෙමේ ය. ගිනියම් ව බබලන ධාතුස්කන්‍ධයෙකින් ගොලාකාර ව නිපන්නේ ය.
‘රත්ති’ නම්: නිහඬ කාලය යි. “රා සද්දො තීයති පරිච්ඡිජ්ජති එත්‍ථාතා = රත්ති” යනු විවරණය යි. මෙහි ශබ්ද හාත්පසින් සිඳිනු ලැබේ නු යි ‘රත්ති’ නම්. හාත්පසින් තදින් බබලානු යි ‘අභාති’ නම්. ‘භාති’ යනු හා එක් වූ ආ යන උපසග්‍රය, මෙහි ශක්තියෙහි වැටේ. “ආභාති ගගනෙ චන්‍දිමා” යනු ද එයට නිදසුන් ය. ප්‍රාප්ති - ඉච්ඡා - බන්‍ධන - භය - වාක්‍ය - ශෙලෂ - අභිවිධි - සාද්ධ්‍ය - කෘච්ඡ - ආදිකර්‍ම - ග්‍රහණ - නිලය - සාමීප්‍ය - වික්‍රියා - නිමන්ත්‍රණ - නිවෘත්ති - ආශිස් - ආදාන - අන්තර්භාව - සපර්ද්ධා - ආභිමුඛ්‍ය - ඌර්‍ධවකර්‍ම - විස්මය - ප්‍රතිෂ්ඨා - නිර්‍දෙශ - ශක්ති - මර්‍ය්‍යාදා යන මේ අර්‍ත්‍ථයන්හි මෙය යෙදෙන්නේ ය.
සියලු උපක්ලේශයන්ගෙන් මුළුමනින් මිදුනු සඳ රාත්‍රිකාලයෙහි ඉතා තදින් දැඩි ව බබලන්නේ ය. [1]
සන්තද්ධො ඛත්තියො තප්ති = රජ තෙමේ අබරණින් සැරසුනේ බබල යි.
රන් රිදී මුතු මැණික්වලින් විසිතුරු වූ සියලු රජබරණින් සැරසුනේ සිවුරඟ සෙනගින් පිරිවැරුණේ ‘සන්නද්ධ’ නම්. ‘ඛත්තියො’ යන්නට විශේෂණ ව සිටියේ ය. [2]
ඣායී තප්ති බ්‍රාහ්මණො = බ්‍රාහ්මණතෙමේ ධ්‍යාන කරන්නේ බබලයි.
ආලම්බනොපනිද්ධ්‍යාන - ලක්‍ෂණොපනිද්ධ්‍යාන යන ද්විධ ධ්‍යානයෙන් ධ්‍යාන කරණුයේ ‘ඣායී’ නම්. [3] මුළුමනින් ප්‍රහීණ කළ කාමාදිආස්‍රව ඇති බාහිතපාපී වූ රහතුන් වහන්සේ ‘බ්‍රාහ්මණ’ නම්. [4]
අථ සබ්බං අහොරත්තං බුද්ධො තප්ති තෙජසා = එහෙත් සියලු දවරෑහි බුදුරජු තෙමේ බබලයි.
හිරු දාවල බැබලෙයි. රාත්‍රියෙහි නම් ඔහු ගිය මග ද නො පෙණේ. සඳු පංචවිධ උපක්ලේශයන්ගෙන් මිදුනේ ම රාත්‍රියෙහි පමණක් බැබලෙයි. දාවල නො බැබලෙයි. රජ තෙමේ රාජාභරණ පැළඳ සිවුරඟ සෙනඟ පිරිවරා සිටියේ ම බැබලෙයි. අප්‍රසිද්ධ වෙශයෙන් සිටියේ නො බැබලෙයි. ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ ගණයා හැර දමා ගෙණෙන් බැහර ව සමවත් සමවැදුනේ ම බැබලෙයි. බුදුරජානන් වහන්සේ රෑදෙවෙහි තමන් වහන්සේගේ ශීලතෙජසින් නිශ්ශීලයන් මැඩ, ගුණතෙජසින් නිරුගුණයන් මැඩ, ප්‍රඥාතෙජසින් මන්‍දබුද්ධිකයන් මැඩ, කුශලතෙජසින් අකුසලුන් මැඩ, ධර්‍මතෙජසින් අධර්‍මයන් මැඩ නිරතුරු ව ආයුඃකල්පය මුළුල්ලේහි ම බැබලෙන සේක. ‘බුද්ධො’ යනු කියනලදි. [5]
ඉතා දුකසේ ලැබිය යුතු වූ මිනිසත්බව ලබා ඉඳුරන්ගේත් පිරිපුන්බව ඇතුව සිටුනා හැම කෙනෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් වැජී ආත්මභාව සඞ්ඛ්‍යාත වූ මේ ලෝකය බබුලුවන්නට උත්සාහ කළ යුතු ය යි වදාළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
ආනන්‍දස්ථවිර වස්තුව නිමි.