හිත්‍වා මානුසකං යොගං දිබ්බං යොගං උපච්චගා
සබ්බයොගවිසංයුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
මේ සත් ලොවැ මානුෂක ආයුෂ හා පඤ්චකාම ගුණය හැර පියා දිව්‍ය ආයුෂ හා පඤ්චකාම ගුණ ද යමෙක් ඉක්මැ යේ ද, (කාමාදි) යොගයන්ගෙන් වෙසෙසින් වෙන් වූ ඒ වීතරාග පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
අජාසත් කුමරු දෙව්දත් තෙරුන් හා එක් ව පියා මරා රාජ්‍යය පැහැර ගත්තේ ය. ඉන් පසු ජෝතිය සිටුහුගේ ප්‍රාසාදය පැහැර ගණිමි යි යුද්ධයට සැරසී නික්ම ගත්තේ ය. එහි ජෝතිය සිටු ගෙදොර වට කොට ගොඩ නගා තුබූ මිණිපවුරෙහි වැටුනු පිරිවර සහිත වූ තමන්ගේ සෙවණැල්ල ඈත දී ම දැක වැඩිදුර නො විමසා “මට විරුදු ව ගැහැවි තෙමේ යුද්ධයට සැරසුනේ බල සෙනග ගෙණ නික්මුනේ වනැ”යි සිතා ඉදිරියට යන්නට නො පිළිවන් ව එහි ම සිට ගත. සිටු තෙමේ එදා පෙහෙ ව ගෙණ උදෑසන ම බත් අනුභව කොට විහාරයට ගොස් බණ අසමින් බුදුරජුන් වෙත හුන්නේ ය. ඔහුගේ පහයෙහි රැකවල් ගෙණ සිටි යමකොලි යක්‍ෂ තෙමේ බල සෙනග ගෙණ අජාසත් රජු දැක ඉදිරියට පැන කො තැනක යෙහි දැ’යි ගුගුරන්නට වූයේ ය. බල සෙනග සහිත වූ අජාසත් රජ තෙමේ බියෙන් තැති ගෙණ දුවන්නට වන. බල සෙනග ද දිසා විදිසාවන්හි දිවූහ. යක් රජු විසින් ලුහුබඳනා අජාසත් රජ තෙමේ විහාරයට පැන ගත්තේ ය.
බුදුරජුන් වෙත බණ අසමින් හුන් සිටු තෙමේ දුව ආ රජු දැක, “මොක ද, දේවයන් වහන්ස!”යි හුන් තැනින් නැගී සිටියේ ය. “කිම, ගැහැවිය! ඔබ මා හා යුද වදින්නට සිය පිරිසට අණ කොට සිය පිරිස යොදා මෙහි අවුත් බණ අසන්නකු සේ හිඳින්නහු?”යි රජ තෙමේ ඇසී ය. “මොක ද, දේවයන් වහන්ස! මාගේ පහය පැහැර ගන්නට වත් ගියහු දැ?”යි සිටු ඇසූ කල්හි “ඔවු, එසේ කරන්නට සිතා ගියෙමි”යි කීයේ ය. “දේවයන් වහන්ස! එය කළ හැකි වැඩෙක් නො වේ, මා නො කැමැත්තෙන් ඔබවහන්සේ තබා ඔබවහන්සේ වැනි සිය දහස් ගණනක්ටත් ඒ වැඩේ නම් නො කළ හැකි ය” යි සිටු කී විට “කිම, ඔබ මෙහි රජහු දැ”යි ඇසී ය. “මම රජ නො වෙමි, එහෙත් මා නො කැමැත්තෙන් රජකුට සොරකුට මා අයත් දාවල්ලක නූල් පටකුත් ගන්නට නො හැකි ය”යි සිටු තෙමේ කීයේ ය. එවිට රජ තෙමේ “හොඳ යි, වේවා; බලමු නොගන්නා සැටි” යි කී ය. සිටු තෙමේ “දේවයන් වහන්ස! එසේ නම් මාගේ මේ දෙයතෙහි ඇඟිලි දසයෙහි මුදු විස්සෙක් ඇත, මම මේ එකකුත් ඔබවහන්සේට නො දෙනු කැමැත්තෙමි, හැකි නම් ගණු මැනැවැ”යි දෙයත දිගු කෙළේ ය. රජ තෙමේ වනාහි බිම උළුලුයන් හිඳ උඩ පනිනුයේ අටළොස්රියනක් පමණ උඩට නැගීමට සමර්‍ත්‍ථ වේ. බිම කෙළින් සිට පනිනුයේ අසූරියනක් පමණ උඩට නගින්නේ ය. එතරම් මහත් බල ඇති රජ තෙමේ සිටුගේ දෙයතෙහි ඇගිලි ගෙණ මුදු ගැලවීමට එහා මෙහා පෙරළෙමින් උත්සාහ කෙළේ ද එක් මුද්දකුත් ගළවා ගන්නට අසමර්‍ත්‍ථ වූයේ ය.
එවිට සිටු “දේවයන් වහන්ස! සළුපටක් බිම අතුරව”යි කියා ඇඟිලි දිග හැර ඇඟිලි බිමට නතු කොට සිටියේ ය. මුදු විස්ස ම ගැළවී සළුව මතුපිට වැටුනේ ය. “මා අයත් දැයක් මා නො කැමැත්තෙන් ගත නො හැකි ය”යි රජුට කියා සිටු තෙමේ රජුගේ ක්‍රියායෙන් උපන් සංවේග ඇතියේ “දේවයන් වහන්ස! මට පැවිදි වන්නට අවසර දෙනු මැනැවැ”යි ඇයද සිටියේ ය. රජු ද “මොහු පැවිදි වූ කල්හි ගැහැටක් අරගලයක් නැති ව පහය ගන්නට හැකි ය”යි සිතා එක් බසට ම “හා! හොඳ යි, පැවිදි වෙවු”යි අවසර දුන්නේ ය. සිටු ද පැවිදි වූයේ වැඩි දවස් නො යවා ම රහත් බවට පැමිණ ජෝතිය ස්ථවිරැයි ප්‍රසිද්ධියට පැමිණියේ ය. ඔහු රහත් වූ ඇසිල්ලෙහි ම ඒ සියලු සම්පත් අතුරුදහන් වූ ය. දෙවියෝ සතුලකාය නම් ඔහුගේ බිරිය ගෙණ ගොස් උතුරුකුරු දිවයිනෙහි ම තැබූහ. දවසක් භික්‍ෂූන් වහන්සේලා ජෝතිය තෙරුන් අමතා “ඇවැත්නි! ජෝතිය! තමුන්නාන්සේගේ ඒ පහයෙහි හෝ ඒ ස්ත්‍රිය කෙරෙහි තෘෂ්ණාවක් වේදැ?”යි ඇසූහ. ජෝතිය තෙරුන් “ඒ කිසිවක්හු කෙරෙහි තෘෂ්ණාවක් බැඳීමෙක් නැතැ”යි කී කල්හි බුදුරජුන් වෙත ගිය ඒ භික්‍ෂූන් වහන්සේලා “ස්වාමීනි! ජෝතිය ස්ථවිරයෝ බොරු කියා රහත්බව හඟවති”යි සැලකළහ. “මහණෙනි! ඒ නම් කීයේ බොරු නො වේ, මා පුත්හට ඒ කිසිවක්හු කෙරෙහි තෘෂ්ණාවක් නැතැ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
යොධ තණ්හං පහාත්‍වාන අනාගාරො පරිබ්බජෙ,
තණ්හාභවපරික්ඛීණං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
මේ ලෝකයෙහි යමෙක් තෘෂ්ණාව පහ කොට හැර දැමූ ගෙය ඇතියේ පැවිදි වේ ද, තෘෂ්ණාව හා භවයන් ක්‍ෂය කොට සිටි ඔහු, මම බමුණු යි කියමි.
මේ ගාථායෙහි විස්තරාර්‍ත්‍ථ යට කියූ ජටිල තෙරුන් කතා පුවතෙහි කී ලෙසින් දතයුතු ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
ජෝතිය ස්ථවිර වස්තුව නිමි.