අසංසට්ඨං ගහට්ඨෙහි අනාගාරෙහි චූභයං
අනොකසාරිං අප්පිච්ඡං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
ගිහියන් ද පැවිද්දන් ද යන දෙ පිරිස සමග සංසර්‍ග රහිත වූ (තෘෂ්ණාසඞ්ඛ්‍යාත) ගිහි හැසිරීමෙන් බැහැර වූ අල්පෙච්ඡ වූ මෙබඳු අශෛක්‍ෂ පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
තිෂ්‍ය ස්ථවිරයන් වහන්සේ බුදුරජුන් වෙතින් කමටහන් උගෙණ වණ වැද සැප සෙනසුනක් සොයා ඇවිදින්නාහු ඉදිරියට නෙරා ගිය ගල්තල්ලක් දැක එහි නැවතී ගත්හ. එහි නවාතැන් ගත් ඇසිල්ලෙහි උන්වහන්සේගේ සිත එකඟ වී ය. “මෙහි දී මම මහණකම මුදුන් පමුණුවා ගණිමි” යි ද සිතූහ. ගල්තල්ලෙහි අරක් ගෙණ හුන් දෙවතා දුව “ආයේ සිල්වත් භික්‍ෂු නමෙක, මොහු හා එක් තැන විසීම මට දුකෙක, කම් නැත, මොහු මෙහි එක් රැයක් ම හිඳ යනු ඇතැ”යි සිතා දරුවන් හැර ගෙණ ගල් තල්ලෙන් බැහැරට ගියා ය. තෙරුන්නාන්සේ පසු දා උදෑසන ම ගොදුරු ගමට පිඬු සිඟා වැඩියහ. එහිදී උන්වහන්සේ දුටු උපාසිකාවක් දරුසෙන් උපදවා ගෙයි වඩා හිඳුවා වළඳවා “තමන් නිසා මෙහි තෙමසක් වැඩ වසනු මැනැවැ”යි ආරාධනා කළා ය. තිෂ්‍ය ස්ථවිරයන් වහන්සේ “මේ උපාසිකාව නිසා මට භවයෙන් මිදී ගන්නට හැකි ය”යි ආරාධනාව පිළිගෙණ පෙරළා එම ගල්තල්ලට ම ගියහ. දේවතා දූ ආපසු එන තෙරුන් දැක “එකාන්තයෙන් කවුරුන් විසින් හෝ මෙතෙමේ මෙහි නවතින්නට ආරධනා කරණ ලදුයේ වන්නේ ය, හෙට හෝ අනිද්දා හෝ යනු ඇතැ”යි සිතූ ය.
මෙසේ තෙරුන්ගේ එහි නැවැත්මෙන් අඩමසක් ගෙවී ගිය කල්හි “මොහු මේ ඇතුළු වසත් මෙහි ම වසන හැඩ පෙණේ. සිල්වතකු සමග දරුවන් ද ගෙණ එක් තනැ විසීම ඉතා අපහසු ය, මොහුට බැහැර යන්නට ද කියන්නට නො හැකි ය” යි සිතූ දෙව් දූ නැවැත සීලයෙහි වත් දොසක් තිබේ දැ’යි දිවැසින් බැලූ ය. සීලයෙහි ද දොසක් නො දැක “මොහුගේ සීලය පිරිසිදු ය, සීලයෙහි දොසෙක් නැත, මොහුට වෙනලෙසකින් අයසක් ඉපදවිය යුතු ය”යි සිතා දෙව් දූ උපාසිකාවගේ වැඩිමාල් පුතුගේ සිරුරෙහි ආවිෂ්ටව කර අඹරා ලූ ය. එකෙණෙහි ඒ දරුගේ ඇස් ඉදිරියට නෙරා මතු වී සිටියේ ය. කටින් ලේ ගලන්නට වන. උපාසිකා තොමෝ “අනේ, මේ වූයේ කිමැ”යි මොර දෙන්නට වූ ය. ඉක්බිති දෙව් දූ නො පෙණී සිට “මූ ගන්නා ලද්දේ මා විසිනි, බලිතොවිල් වලින් වැඩෙක් නැත, බිලියම් ද වුවමනා නැත, තොපගේ කුලුපග තෙරුන් ලබා වැල්මී කැබැල්ලක් ගන්වා ගෙණ ඒ ලා තෙලක් පිස එ තෙලින් මූට නස්‍යයක් කරව, එසේ කළ කල්හි මූ හැර යමි”යි කිවු ය. උපාසිකාවන් “මූ මැරුණත් හාමුදුරුවන් ලවා වැල්මී නො ගන්වමි”යි කී කල්හි, “වැල් මී ගන්වාලන්නට නො හැකි නම් මොහුගේ නැහැයෙහි පෙරුම්කායම් කුඩු ටිකක් බහන්නට තෙරුන්ට කියව”යි කීවා ය. “එ ද තෙරුන් ලවා නො කරවමි”යි උපාසිකාවන් කී කල්හි “එසේ නම් තෙරුන්ගේ පාදෙවූ දියත්තක් ගෙණ තෙරුන් ලවා ම මූගේ හිසෙහි ඉස පියවාලව”යි කීවා ය. “එය නම් කළ හැකි ය”යි තෙරුන් ගෙටවැඩිය වේලෙහි වඩා හිඳුවා කැඳ අවුළුපත් පිළිගන්වා වළඳමින් හුන් උන්වහන්සේගේ පා සෝදා දිය ගෙණ “ස්වාමීනි! මේ දිය මා දරුගේ හිස ඉසිම් දැ”යි අසා “ඉසින්නැ”යා කී කල්හි දිය ගෙණ දරුගේ හිසෙහි ඉස්සා ය.
දෙව් දූ එකෙණෙහි ම එ දරු මුදාහැර ගොස් ගුහාදොර සිට ගත. තෙරුන්නාන්සේ ද දන් වළඳා අවසන් කොට හුනස්නෙන් නැගිට නො හළ කමටහන් ඇත්තාහු කාගියාසී මෙනෙහි කරමින් ම එතැනින් නික්ම ආහ. උන්වහන්සේ ගුහාදොරට එත් ම දෙව් දූ “වෙදා! මෙහි නො එව” යි කිවු ය “තෝ කවරහි”යි තෙරුන් ඇසූ කල්හි “මම මෙහි අරක් ගෙණ සිටුනා දෙව් දූ වෙමි”යි ඕ පිළිතුරු දුන්නී ය. ඉක්බිති තෙරුන්නාන්සේ “මා වෙදකම් කළ තැනෙක් ඇත් දැ”යි උපසපන් වූ දා සිට තමන් ගැණ සිතන්නාහු තමනගේ සීලයෙහි කිසිත් කැලලක් නො දැක “මට මා වෙදකමක් කළ තැනෙක් නො පෙණේ, කුමක් නිසා මෑ මෙසේ කියා දැ”යි සිතා ඇයගෙන් එය ඇසූහ. දෙව් දූ “නො දකිහි වෙදකම් කළ තැනක්” යි ඇසූ විට “නො දකිමි”යි උන්වහන්සේ කීහ. “මම තට කියමි”යි දෙව් දූ කී කල්හි “කියව”යි කීහ. “පෙර කළ කටයුතු තිබේවා, අද අමනුෂ්‍යයකු විසින් යටපත් කොට ගත් උපස්ථායකා පුත්‍රයාගේ හිසෙහි ඔබවහන්සේගේ පා දෙවූ දිය නො ඉස්වා වුහු දැ?”යි ඇසූ විට “ඉස්වාලීමි” යී උන්වහන්සේ කීහ. නැවැත දෙව් දූ “කිම මෙය නො දන්නෙහි දැ?”යි කී කල්හි “මේ ගැණ ද තෝ කියහි?”යි ඇසූහ. “ඔව්, මම කියන්නෙම් මේ ගැණ ය”යි කීවිට “පුදුම ය, මාගේ සිත මැනවින් පිහිටා තිබේ, මාගේ චරිතය ද සසුනට සුදුසු සේ වැඩී සිටියේ ය, දෙව්දුව මාගේ සීලයෙහි කැලලක් නො දැක දරුගේ හිසෙහි ඉස්වාපු දියත්ත ම දක්නා ලදැ”යි තමන්ගේ සීලය නිසා උන්වහන්සේට බලවත් ප්‍රීතියෙක් උපන. ස්ථවිරයන් වහන්සේ එම ප්‍රීතිය යටපත් කොට පියවරකුත් නො නගා සිටි පියෙහි ම සිට රහත්බවට පැමිණ “මා වැනි පිරිසිදු මහණකු කෙලෙසා තිට මෙ තැන වසන්නට නො හැකි ය, එහෙයින් වහා මෙ තැනින් නික්ම යව”යි දන්වන්නට,
“පිරිසිදු මා විසුම් -නිමල් තපසැති මා තෝ,
නො කෙලෙසා දැන් මෙවනින් - නික්ම යව අන් තැනකට”
යි උදන් ඇනූහ.
තිෂ්‍ය ස්ථවිරයන් වහන්සේ තෙමසක් එහි ම වැස පැවැරූ වස් ඇති ව බුදුරජුන් වෙත ගියහ. ඒ වේලෙහි භික්‍ෂූන් විසින් “ඇවැත්නි! ඔබගේ පැවිදි කිස මුදුන් පැමිණියේ දැ”යි ඇසූ විට ඒ ගුහාවෙහි වස් විසු තැන් පටන් සිදු වූ සියලු තොරතුරු දන්වා ලූහ. භික්‍ෂූන් වහන්සේලා නැවැත “ඇවැත්නි! දෙව් දූ මෙසේ කියත්, ඇයට නො කිපියහු දැ”යි ඇසූ කල්හි “නො කිපියෙමි”යි කීහ. එවිට භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් වෙත ගියහ. ගොස් වැඳ “ස්වාමීනි! තිෂ්‍ය ස්ථවිර තෙමේ තමා රහත් යි කියාගන්නේ ය, දෙව් දූ ගැහැට කරද්දීත් ඇයට නො කිපයෙමි යි කියන්නේ ය”යි සැල කොට සිටියහ. “මහණෙනි! ඒ මාගේ පුත් කාහටත් නො කිපෙන්නේ ය, ගිහින් සමග පැවිද්දන් සමග ඒ නමගේ එක්වීමෙක් නැත, මෙ තෙමේ කිසිවකු කෙරෙහි ඇලුමක් බැඳුමක් ඇත්තේ නො වේ, මෙ තෙමේ ආශා නැතියේ ය, ලද දැයින් සතුටු වන්නේ ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
අසංසට්ඨං ගහට්ඨෙහි අනාගාරෙහි චූභයං,
අනොකසාරිජ අප්පිච්ඡං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
ගිහියන් සමග ද පැවිද්දන් සමග ද යන දෙපස වූවන් හා සංසර්‍ග නැති, ගෙයි නො හැසිරෙණ ආශා නැති ඔහු, මම බමුණු යි කියමි.
අසංසට්ඨං ගහට්ඨෙහි අනාගාරෙහි ච උභයං = ගිහියන් සමගත් පැවිද්දන් සමගත් යන දෙපස වූවන් සමග සංසර්‍ග නැති.
දස්සනසංසග්ග - සවණසංසග්ග - සමූල්ලාපසංසග්ග - සම්භෝගසංසග්ග - කායසංසග්ග යන සංසග්‍ර නැතියේ ‘අසංසට්ඨ’ නම්. මෙ තෙමේ මේ කිසි එකෙකින් ගිහිපැවිද්දන් හා එක්වීමක් නැත්තේ ය. ඇලීමක් නැත්තේ ය. බැඳීමක් නැත්තේ ය.
එහි දුටුවන් පහදවන මනා රූ ඇති ගෑණියක හෝ පිරිමියකු දැකීමෙන් එවුන්ගේ රූපයෙහි කාමාස්වාද විසින් උපදනා රාගය ‘දස්සනසංසග්ග’ නම්. ගෑණියක ගැණ හෝ පිරිමයෙකු ගැණ යමකු විසින් කියනු ලබන්නක් අසා, නැත, එවුන් විසින් ම කියනු ලබන ගී හඬක් හෝ කටහඬක් හෝ සිනාහඬක් ඇසීමෙන් එ හඬ කාමාස්වාද වශයෙන් ගැණීමෙන් උපදනා රාගය ‘ස්වණසංසග්ග’ නම්. මේ කියූවන් මුණ ගැසී මෙවුන් හා කරණ අල්ලාපසල්ලාපයෙහි උපදනා රාගය ‘සමුල්ලාපසංසග්ග’ නම්. ගෑණියක සතු පිරිමියකු සතු ඇඳුම් කැඩුම් සිවුරු පිරිකර ඈ යමක් කාමාස්වාද වශයෙන් හැඳ පැළඳ ගැණීමෙන් උපදනා රාගය ‘සම්භොගසංසග්ග’ නම්. ගෑණුන්ගේ හෝ පිරිමින්ගේ අත් පා ඇල්ලීමෙන් හෝ ඇගපත පැහැසීමෙන් උපදනා රාගය ‘කායසංසග්ග’ නම්. යමක්හුගේ සිත්හි මේ එකකුත් නූපදනේ නම් හේ ‘අසංසට්ඨ’ යි කියනු ලැබේ.
‘ගහට්ඨ’ නම්: ගෙයි සිටියේ ය. ගෙයින් නො නික්මුනේ ය. සීසෑම්, ගෙරි රැකීම්, වෙළහෙළඳාම් ඇතියේ ය. ‘ගහ’ යි පස්කම් සැපයට නමෙකි. ඒ විසින් පස්කම් සැපයෙහි බැඳුනේ ය. [1]
‘අනාගාර’ නම්: දුරුකළ ගේ ඇතියේ ය. සීසෑම්, ගෙරි රැකීම්, වෙළහෙළඳාම් ඈ ගිහියන් අයත් දිවිරැකුම් මං නැතියේ ය. ‘උභයං’ යනු ‘උභයෙහි’ යි ගත යුතු ය. මේ එහි යුක්ති. “තතියත්‍ථෙපඨමා” යනු විභක්තිවචනවිර්‍ප්‍යාස ය යි.
අනොකසාරිං අප්පිච්ඡං තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = ගෙයි නො හැසිරෙණ ආශා නැති ඔහු, මම බමුණු යි කියමි.
‘අනොකසාරි’ නම්: ඔක් නම් වූ රූපායතනාදී වූ සවැදෑරුම් වූ ආයතනයන්හි තෘෂ්ණා වශයෙන් හැසිරීම් නැත්තේ ය. මෙතෙමේ පිරිසිදු සිල් ඇතියේ චතුර්විධ සන්තෝෂයෙහි පිහිටා ගත්තේ සප්‍රත්‍යයනාමරූපධර්‍මයන් පිරිසිඳ දැන අනිත්‍යාදී වශයෙන් සංස්කාරයන් සන්මර්‍ශනය කරණුයේ විදර්‍ශනා වඩා ඉන් පසු පිළිවෙළින් චතුර්විධමාර්‍ගඥානයෙන් සංයෝජනයන් ප්‍රහීණ කෙළේ ය. එබැවින් අනොකසාරී නම් වේ. ‘ඔක’ යනු ගෙට නමෙකි. මෙහි ‘ඔක’ යන්නෙන් ෂඩායතන කින ලද්දේ ය.
‘අප්පිච්ඡ’ නම්: තෘෂ්ණා නැතියේ ය.
ගිහි පැවිද්දන් හා කාමාස්වාද විසින් කිසිත් එකතුවීමක් නැති සවැදෑරුම් ආයතනයන්හි තෘෂ්ණා වශයෙන් හැසිරීමක් නැති තෘෂ්ණා රහිත වූ ඔහු බ්‍රාහ්මණ නම් වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
තිෂ්‍ය ස්ථවිර වස්තුව නිමි.
11-5 ‘ගහකාරකං’ යනු බලනු. ↑