යොධ කාමෙ පහාත්‍වාන අනාගාරො පරිබ්බජෙ
කාමභවපරික්ඛීණං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් තෙම කාමයන් දුරැලා ගෘහවාසය හැර පියා පැවිදි වේ ද, කාමතෘෂ්ණා භවතෘෂ්ණා ක්‍ෂීණ කළා වූ ඒ අශෛක්‍ෂයා බ්‍රාහ්මණ යැ යි මම් කියමි.
සැවැත් නුවර සතළිස් කෙළක් පමණ මහත් ධනසම්පත් ඇති කුලයෙක සුන්‍දරසමුද්ද නම් කුලපුත්‍රයෙක් වී ය. ඔහු දවසෙක පස්වරුයෙහි සුවදමල් ගෙණ බණ අසන්නට දෙව්රම් මහවෙහෙරට යන ජනසමූහයක් දුටුයේ ය. දැක “මේ අය සුවඳමලුත් ගෙණ කො තැනක යෙත් දැ?”යි ඇසී ය. ඔවුන් “බණ අසන්නට බුදුරජුන් වෙත යමු”යි කී කල්හි “මමත් යමි”යි ඔවුන් කැටුව දෙව්රමට ගොස් පිරිස් කෙළවර හිඳ ගත්තේය. එකල්හි බුදුරජානන් වහන්සේ ඔහු දැක ඔහුගේ අදහස් බලා අනුපිළිවෙළ කතාව වදළ සේක. එය අසා සුන්‍දර සමුද්ද “දෙවූ සකක් වැනි පිරිසිදු වූ බඹසර හැසිරෙන්නට ගිහියකුට මොනලෙසකිනුත් නො හැකි ය”යි පැවිදිවීමෙහි තර අදහස් ඇතියේ බණ පිරිස නැගී ගිය කල්හි බුදුරජුන් වෙත ගොස් පැවිද්ද ඉල්ලා සිටියේ ද, “තථාගත සම්බුදුවරයෝ පැවිදිවීමට මවුපියන් විසින් නො අනුදත් දුරවන් පැවිදි නො කෙරෙති”යි අසා ගෙට ගොස් රට්ඨපාලාදිකුලපුත්‍රයන් මෙන් මහත් උත්සාහයෙන් පැවිදි වීමට අවසර ලබා ගත්තේ ය. ඉන් පසු ඔහු බුදුරජුන් වෙත ගොස් පැවිදි ව උපසම්පදාව ලබා “මට මෙහි විසීමෙන් වැඩෙක් නො වේ ය”යි එතැනින් නික්ම රජගහානුවරට ගොස් එහි පිඬු සිඟා වළඳමින් කල් ගෙවූයේ ය.
සුන්‍දර සමුද්ද තෙරුන්ගේ මවුපියෝ සැවැත් නුවර එක් උත්සව දිනයෙක් වටිනා ඇඳුම් කැඩුම් ආයිත්තම් ලා සැරසී සැණකෙළි කෙළනා ඔහුගේ යහළු කුමරුන් දැක “අනේ! අපගේ පුතුට මේ මහත් වාසනාව නැතැ”යි සිතා හඬන්නට වූහ. එ වේලෙහි වෙසඟනක් තෙරුන්ගේ හඬන මව දැක “මෑනියෙනි! ඇයි කුමක් නිසා හඬා දැ?”යි විචාළා ය. “ගෙය හැර ගිය මා පුතු සිහිවී හඬමි”යි කී විට වෙසඟන “ඔහු දැන් කොහි දැ?”යි අසා “භික්‍ෂූන් වෙත පැවිදි වී ය”යි කී කල්හි “ඔහු සිවුරු හරවාගෙණ එනු නරක දැ?”යි මවගෙන් ඇසුවා ය. “කළ හැකි නම් හොඳයි, කළ හැකි නො වේ, ඔහු එයට කැමැති නැත, ඒ නිසා ය මෙහි නො සිට රජගහා නුවරට ගියේ” යි කීවිට “අම්මාට එය බරෙක් නො වේ, මම ඔහු සිවුරු හරවා ගෙණ එන්නෙමි, හොඳයි, මා එසේ කළොත් අම්මා මට කරණ සඞ්ග්‍රහය කුමක් දැ යි කියව” යි කීවාය. “සිවුරු හරවා ගෙණ ආවොත් ඔහු තිට සැමියා කොට මේ ගෙයි ඇති හැම දෙයක් පාවා දෙමි”යි කී විට එසේ නම් “ඒ පිණිස මග වියදම් දෙව”යි මගවියදම් ඉල්ලා ගෙණ රජගහා නුවරට ගියා ය. ගොස් සුන්‍දර සමුද්ද තෙරුන් පිඬු සිඟා යන කඩපලෙහි නවාතැනට ගෙයක් ගෙණ එහි නැවතුන ය. පසුදා උදෑසන ම මිහිරි අහරක් පිළියෙල කොට තෙරුන් පිඬු සිඟා එනු බලා සිටියා උන්වහන්සේ එහි ආ කල්හි එය පිළිගැන්නූ ය. සුන්‍දරසමුද්ද තෙරණුවෝ එය පිළිගෙණ තමන් වසන ආවාසයට ගියහ. මෙසේ කිහිපදවසක් ගිය කල්හි “ස්වාමීනි! මෙහි ම හිඳ වළඳනු මැනැවැ”යි උන්වහන්සේගේ පාත්‍රය ගත්තා ය. උන්වහන්සේ ද ඇයට පාත්‍රය දුන්හ. එවිට වෙසඟන “ස්වාමිනි! පිඬුසිඟා ගෙණ අවුත් මෙහි ම හිඳ වළදනු මැනැව, මෙහි නැවතී පිඬුසිඟා යෑමත් පහසු ය, එහෙයින් මෙහි ම රැඳී ගත මැනැවැ”යි කියා ගෙයි පිටත පිළෙහි අසුන් පිළියෙළ කොට දී හිඳුවා වළඳවන්නට වූ ය.
මෙසේ කොට ටික දවසක් ගිය තැන ඕ තොමෝ කෙළ ඇවිදුනා කුඩා කොල්ලන් ගෙන්වා ඔවුන්ට කැවුම් පෙවුම් දී “දරුවෙනි! අප ගෙයි පිටත පිළෙහි හිඳ වළඳනා තෙරුන් පිඬුසිඟා ගෙන අවුත් පිළෙහි හිඳ වළඳන වේලෙහි මෙහි අවුත් මා එපා ය යි කියද්දීත් මාගේ ඒ වළකාලීම ගණනට නො ගෙණ පිළ අසල මිදුලෙහි සෙල්ලම් කරමින් දූලි නංවාලවු”යි කොල්ලනට කීවා ය. ඒ කොල්ලෝ පසුදා වෙසඟන කී ලෙසට තෙරුන් පිටත පිළෙහි හිඳ වළඳන වේලෙහි ඇය වළකාලන කල්හිත් එහි සෙල්ලම් කරමින් දූලි නැගූහ. පසුදා ඕ තොමෝ “ස්වාමීනි! මේ කොල්ලෝ මාගේ කීම නො සලකා මෙහි සෙල්ලම් කරමින් දූලි නගන්නාහ, පිළ හිඳ වළඳනු නො හැකි ය, මෙහි ගෙට ඇතුල් ව හිඳ වළඳනු මැනැවැ”යි ගෙයතුළට ගෙණ වැළඳ වූ ය. නැවැත කොලුවන්ට කෑම් බීම් දී සඞ්ග්‍රහ කොට “තෙපි මා එපා, එපා යි වළකනවිටත් එය නො සලකා තෙරුන් වළඳන වේලෙහි මහහඩ නගමින් එහා මෙහා දුව පනිමින් සෙල්ලම් කරවු”යි ඔවුනට නියම කළා ය. කොල්ලෝ එසේ දුව පනිමින් මහහඬ නැගූහ. එයට පසු වෙසඟන “ස්වාමීනි! මෙය මහත් ගැහැටෙක්, මෙතැන හිඳ ද වළඳනු අපහසු ය, කොල්ලෝ කිසිත් නො සලකා අරගල කරන්නාහ, ස්වාමීනි! උඩුමාලටවත් යමු දැ”යි කියා තෙරුන් කැඳවා ගෙණ උඩුමාලට යන ගමනේ තෙරුන් පෙරටු කොට, තොමෝ තෙරුන්ගේ පසු පස යමින් යටමාලෙහි දොරගුලු ලා තෙරුන් ගෙණ උඩුමාලට ඇතුල් වූ ය.
සුන්‍දරසමුද්ද ස්ථවිරයන් වහන්සේ සපදානචාරිකධුතඞ්ගය උත්කෘෂ්ට වශයෙන් පුරන්නෝ ද රසතෘෂ්ණායෙහි බැඳුනෝ වෙසඟන බස් පිළිගෙණ එම ගෙයි සත්වන මාලට ම නැගී ගත්හ. ඉන් පසු ඕ තොමෝ තෙරුන් වඩා හිඳුවා උන්වහන්සේ කියන බස් යට කොට කියන්නට පටන් ගතු. ඇඟපත අඹරන්නට පටන් ගතු. විළිබිය හැර සිට ගතු. නටන්නට බෙර ගසන්නට අඬන්නට සිනාසෙන්නට මූණ බලන්නට උකුළ නටවන්නට රහසඟ පෙන්වන්නට කළවා පෙන්වන්නට තන බඩතුර පෙන්වන්නට කිසිලි දක්වන්නට ඇස් මරන්නට බැම ඔසොවන්නට තොල් ලොවින්නට දිව දික් කරන්නට දිව නටවන්නට හැඳිරෙදිකඩ ලිහන්නට තර කොට හඳින්නට හිසකේ උනන්නට හිසකේ බඳින්නට පටන් ගතු. මෙසේ ස්ත්‍රීමායම් දක්වමින් තෙරුන් ඉදිරියෙහි සිට,
“ලතුඔත් පා ඇතී - වෙසඟන නැගී මිරිවැඩී,
තෙර මට නිසි දහරහී - මම දහරිම් ය තට නිසි.
.
එබැවින පසු ව අපි - දිරූ සැරයට පිහිටැතී,
දෙ දෙන ම පැවිදි වෙමු යි - කියූ තිරිමායම් පා”
යි මෙසේ කිවු ය.
ඉක්බිති සුන්‍දරසමුද්ද තෙරුන්ට “අනේ, කිසිවක් ගැණ නො සලකා මා කළ නපුරැ”යි මහත් සේ සංවේග උපන. ඒ මොහොතෙහි බුදුරජානන් වහන්සේ පන් සාළිස් යොත්නකින් ඈත්හි දෙව්රම් මහවෙහෙර වැඩහුන් සේක් මේ අරගලය දැක සිනා පහළ කළ සේක. ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ එ දැක “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! කුමක් නිසා සිනා පහළ කළ සේක් දැ?”යි විචාළ කල්හී “ආනන්‍ද! මේ දැන් රජගහානුවර සත්මහල් පහයෙක උඩමාලෙහි සුන්‍දර-සමුද්ද මහණහුගේ හා වෙසඟනකගේ මහත් යුද්ධයෙක් වේ ය”යි වදාළ සේක. “ස්වාමීනි! එහි කාහට ජය වේ ද? කාහට පරාජය වේ දැ?”යි ඇසූ කල්හි “සුන්‍දරසමුද්ද ජය ගන්නේ ය, වෙසඟන පැරද යන්නී ය”යි තෙරුන් ජය ගන්නා බව වදාරා එහි වැඩහුන් සේක් ම ආලෝකධාරාවක විහිදුවා “මහණ! දෙ පරිදි වූ කාමයෙහි බලාපොරොත්තු නැති ව කාමයන් හැරදමි යන්නේ ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
යොධ කාමෙ පහාත්‍වාන අනාගාරො පරිබ්බජෙ,
කාමභවපරික්ඛිණං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
මේ ලෝකයෙහි යමෙක් කාමයන් පහ කොට හැර දැමූ ගෙය ඇතියේ පැවිදි වේ ද කාමයන් හා භවයන් ක්‍ෂය කොට සිටි ඔහු, මම බමුණු යි කියමි.
යො ඉධ කාමෙ පහාත්‍වාන අනාගාරො පරිබ්බජෙ = මේ ලෝකයෙහි යමෙක් කාමයන් පහ කොට, හැර දැමූ ගෙය ඇතියේ පැවිදි වේද,
‘කාම’ නම්, වස්තුකාම ක්ලේශකාමයෝ ය. කාමරාගයට අරමුණු වූ රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන මොවුහු වස්තු කාම නම්. සිත් ගන්නා රූපාදීන් අරමුණු කොට සිතේ නගිනා රාගය ක්ලේශ කාම නම්. [1] මෙ කියූ දෙවැදෑරුම් කාමයන්ගේ පහ කිරීම වනුයේ මාර්‍ගඥානයෙනි. එහෙයින් ‘පහාත්‍වාන’ යන්නෙහි අරුත් මාර්‍ගඥානයෙන් පහ කොට, නසාලා යනු යි.
‘අනාගාර’ නම්, ගෙය හැර ගියේ ය. “අනාගාරොති පරිච්චත්තාගාරො” යනු අටුවා. ගොවිකම්, ගෙරි රැකීම්, වෙළඳාම්, ධන සැපයීම් ආදී වූ ගිහියන් පිළිබඳ කටයුත් හැර සිටියේ ‘අනාගාරැ’යි කියන ලදී. ඒ මේ ගෙරිරැකීම් ආදිය යම් තැනෙක නැත් ද එතැන අනාගාර ය යි කියනු ලැබේ. පැවිද්ද යි.
පරිබ්බජෙ = පැවිදි වන්නේ ය. පැවිද්දට පැමිණි යන අරුත්. මෙහි ‘වජෙ’ යනු හා එක් ව සිටි ‘පරි’ යනු උපසර්‍ග යි. එය, සමන්තොභව - ව්‍යාප්ත- දොෂාඛ්‍යාන - උපර - භූෂණ - පූජා - වර්‍ජන - ආලංඞ්ගන - නිවසන - ශෝක - වීප්සා යන අරුත්හි එන්නේ ය. මෙහි ආයේ සමන්තොභාවයෙහි ය.
කාමභවපරික්ඛීණං තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = කාමයන් හා භවයන් ක්‍ෂය කොට සිටි ඔහු, මම බමුණු යි කියමි.
වස්තුකාම - ක්ලේශකාමයනුත්, කාමභව - රූපභව - අරූපභවයනුත් ක්‍ෂය කොට සිටියේ ‘කාමභවපරික්ඛීණ’ නම්.
මෙලොව යමෙක් වස්තුකාම - ක්ලේශකාමයන් නසා හැර දමා ශාසනිකයෙක් ව පැවිදි වේ ද, කාමාශා - භවාශා නසාලූ ඔහු බ්‍රාහ්මණ නම් වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි සුන්‍දරසමුද්ද ස්ථවිරයන් වහන්සේ රහත්බවට පැමිණ ඍද්ධි බලයෙන් ගෙයි කැණිමඩල බිඳ අහසට නැග බුදුරජානන් වහන්සේගේ ශ්‍රී ශරීරයට තුති පුද දෙමින් අවුත් බුදුරජුන් වැඳ සිටියහ.
ඒ අතර දම්සබා මඩුවෙහි භික්‍ෂූන් අතර “ජිව්හා විඥානයෙන් විඳිය යුතු වූ යම්තම් රසයක් නිසා ඇසිල්ලෙකින් නැසෙන්නට ගිය සුන්‍දරසමුද්ද බුදුරජානන් වහන්සේගේ පිහිට ලබා බුදුරජුන්ට පින්සිදුවන්නට යම්තමකින් බේරී ගත්තේ ය”යි කතාවක් උපන. එයැසූ බුදුරජානන් වහන්සේ “මහණෙනි! මම මොහුට පිහිට වූයෙම් අද පමණක් නො වෙමි, පෙරත් මම රසතෘෂ්ණායෙන් බැඳුන සිත් ඇති මොහුට පිහිට වූයෙමි”යි වදාළ විට එහි රැස්ව හුන් භික්‍ෂූන් වහන්සේලා “ස්වාමීනි! එය අපි නො දනිමු, එය අපට පැහැදිලි කරණ සේක්වා”යි ඇයද සිටියහ.
ඉක්බිති බුදුරජානන් වහන්සේ,
“අවසැ සඳරා ලමු - මිතුරු සසගෙහැ සඳරා,
ලමු වේය එ දෙකට වැඩි - ලමු වේ රසෙහි සඳරා.
.
සංජය උයන්පල් - ගෙයැසුරෙහි සිටි වාමුව,
බැඳගෙණ රස තණෙහී - තමන් වසඟයට ගත්තේ”
යනු විසින් එකක නිපාතයෙහි වාතමෘග ජාතකය විස්තර කොට “එ කල්හි වාතමෘග වුයේ මේ සුන්‍දරසමුද්ද ය, මේ ගය වදාරා ඔහු නිදහස් කොට යැවූ රජුගේ ඇමැති වූ යෙම් මමැ”යි ජාතකය ගළපා ලූ සේක.
සුන්‍දරසමුද්ද ස්ථවිර වස්තුව නිමි.
6-11 ‘කාමෙ’ යනු බලනු. ↑