සබ්බසංයොජනං ඡෙත්‍වා යො වෙ න පරිතස්සති
සඞ්ගාතිගං විසඤ්ඤුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
සියලු සංයෝජන සිඳැ සිටි හෙයින් යම් රහත් පුඟුලෙක් ඒකාන්තයෙන් (ජීවිතාශා නැති හෙයින්) නො තැති ගණී ද, රාගසඞ්ගාදි සත් සඞ්ගයන් ඉක්මුණු, කෙලෙසුන්ගෙන් වියුක්ත ඒ රහත් පුද්ගලයා බ්‍රාහ්මණ යැ යි මම් කියමි.
උග්ගසේන සිටු පිළිබඳ කතා පුවත “මුඤ්ච පුරෙ මුඤ්ච පච්ඡතො” යි ආ ගාථාවණර්‍නායෙහි විස්තර විසින් කියන ලදි. එකල්හි වනාහි “ස්වාමීනි! උග්ගසේන නො බාමි යි කියා, ඔහු බොරුවෙන් රහත් බව හඟවා”යා භික්‍ෂූන් දන්වා සිටි කල්හි බුදුරජානන් වහන්සේ “මහණෙනි! මාගේ පුතු වැනි සිඳ හළ භව බැඳුම් ඇතියෝ කො තැනකත් බිය නො වෙති”යි වදාරා මේ ධර්‍ම දේශනාව කළ සේක.
සබ්බසංයොජනං ඡෙත්‍වා යො වෙ න පරිතස්සති,
සඞ්ගාතිගං විසංයුත්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
යමෙක් සියලු සංයෝජන සිඳ හැර (සිටි බැවින්) එකාන්තයෙන් නො තැති ගණී ද සඞ්ගයන් ඉක්මවා ගිය කෙලෙසුන්ගේන් මිදුනු ඔහු මම බ්‍රාහ්මණැ යි කියමි.
සබ්බසංයොජනං ඡෙත්‍වා = සියලු සංයෝජනයන් සිඳහැර (සිටි බැවින්)
‘සංයොජන’ නම්: බවබැඳුම් ය. සත්ත්‍වයා සසරෙහි යොදන්නේ ය. ඒ දසයෙකි. සක්කායදිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බතපරාමාස - යන සංයෝජන තුන හා සියලු සංයෝජනයන්ගේ අපායගාමී ශක්තිය සිඳී යනු ස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් වන්නේ ය. කාමරාග ව්‍යාපාද දෙදෙනාගේ දරදඬුගතිය සකෘදාගාමීමාර්‍ගයෙන් නැසෙත් ම අනාගාමීමාර්‍ගයෙන් එ දෙක සිඳී යන්නේ ය. ඉතිරි වූ රූපරාග අරූපරාග - මාන - උද්ධච්ච - අවිජ්ජා යන මොවුහු අර්‍හනමාර්‍ගයෙන් මුලසුන් ව යත්. [1]
යො වෙ න පරිතස්සති = යමෙක් එකාන්තයෙන් නො තැති ගණී ද.
කුමකින් නො තැති ගණී ද? යත්:- “ආහාර නො ලබමි, පාන නො ලබමි, වස්ත්‍ර නො ලබමි, කුලය නො ලබමි, ගණයා නො ලබමි, ආවාසය නො ලබමි, ලාභ නො ලබමි, යශස් නො ලබමි, පැසසුම් නො ලබමි, සැප නො ලබමි, චීවර - පිණ්ඩපාත - සෙනාසන - ග්ලාන ප්‍රත්‍යය, බෙහෙත් පිරිකර නො ලබමි, ගිලන් උවටැන් කරන්නකු නො ලබමි, අප්‍රකටයමේ වෙමි”යි නො තැති ගන්නේ ය. නො බිය වන්නේ ය. තැති ගැණුමට නො පැමිණෙන්නේ ය. නො බියසුලු නො සැලෙනසුලු නො තැතිගන්නා සුලා නො පලායන සුලු වන්නේ ය. පහ වූ බිය අරමුණු ඇතියේ පහවූ ලොමු දහ ඇතියේ වෙසෙන්නේ ය.
මේ මෙහි පාලි:- “අන්තං වා න ලභාමි, පානං වා න ලභාමි, වත්‍ථං වා න ලභාමි, කුලං වා න ලභාමි, ගණං වා න ලභාමි, ආවාසං වා න ලභාමි, ලාභං වා න ලභාමි, යසං වා න ලභාමි, පසංසං වා න ලභාමි, සුඛං වා න ලභාමි, චීවරං වා න ලභාමි, පිණ්ඩපාතං වා න ලභාමි, සෙනාසනං වා න ලභාමි, ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං වා න ලභාමි, ගිලානුපට්ඨාකං වා න ලභාමි, අප්පඤ්ඤතොමහීති න තසෙය්‍ය, න උත්තසෙය්‍ය, න පරිතසෙය්‍ය, න භාසෙය්‍ය, න සන්තාසං ආපජ්ජෙය්‍ය, අභීරූ අස්ස අච්ඡමහී අනුත්‍රාසී පහීනභයභෙරවො විගතලොමහංසො විහරෙය්‍ය” යනු.
සඞ්ගාතියං = සඞ්ගයන් ඉක්මවා ගියා වූ.
පඤ්චස්කන්‍ධය සත්ත්‍වපුද්ගලාදීන්ට නගා සංස්කාරයන් විෂයයෙහි ඇලීම ‘සඞ්ග’ නම්. [2] සඞ්ග සතෙකි.
විසංයුත්තං = කෙලෙසුන්ගෙන් මිදුනු. වෙන් වූ.
චතුර්විධයෝගයන්ගේ අභාව හේතුවෙන් විසංයුක්ත ය. කාමයෝග - භවයෝග - දිට්ඨියෝග - අවිජ්ජායෝගයෙනි විසංයුත්ත වනුයේ.
තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = ඔහු මම බ්‍රාහ්මණැ යි කියමි.
රහතුන් වහන්සේ සංයෝජනයන් නැසූ බැවින් තැති නො ගන්නෝ ය. කිසිද සංස්කාරයක් කෙරෙන් නො බාන්නෝ ය. රාගාදිසඞ්ගයන් ඉක්මවා ගියෝ ය. කිසි තැනක නො බැඳුනෝ ය. එහෙයින් උන්වහන්සේ ම බ්‍රාහ්මණ නම්.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
උග්‍රසේන වස්තුව නිමි.