උභය ප්රාතිමෝක්ෂය
රේරුකානේ චන්දවිමල හිමි
පොත ගැන
උභය ප්රාතිමෝක්ෂය
බුරුම සංගායනාවෙන් ශුද්ධියට පත් කළ සිංහල අනුවාද සහිත උභය ප්රාතිමෝක්ෂය
(පස්වන මුද්රණය)
ප්රස්තාවනාව: මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්ය චක්රවර්ති, පණ්ඩිත, ප්රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්යාය ශාසන ශෝභන, ශ්රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසිනි
සම්පාදකවරු: ගොඩිගමුවේ සෝරත ස්ථවිර, පණ්ඩිත කනදුල්ලේ රතනරංසි ස්ථවිර
2550/2007
ලේකම්ගේ සටහන්....
ත්රිපිටකයට අයත් ධර්ම-විනය හා භික්ෂු පරපුර බුද්ධ ශාසනය යි. චිරාත් කාලයක් මේවා පැවැත්වීමේදී බිහිවූ සංස්කෘතිය ද ශාසනය මැ යි.
විනය ශාසනයේ ආයුෂයි. සංස්ථාවක් වශයෙන් සඟ පරපුර එක්කර ඇත්තේ විනය ශික්ෂාපද තුළිනි. කවර ජාතික භික්ෂූන් වහන්සේ නමකගේ වුවද සාම්යක් අප දකින්නේ මේ හැදියාව නිසා ය.
සංඝ සමාජයේ වටිනාකම ද මේ ඒකඝන වීමයි. බුදුන් පිදීමටත් වඩා සාංඝික පූජාවක් උසස් යයි වදාරා ඇත්තේ ද සමාජයක් වැළඳ ගන්නා සේවයක් මගින් සත්පුරුෂ සමාජයක් ඇති කිරීමට සංඝ සමාජය ඉවහල් වන නිසා ය.
භික්ෂු සමාජයේ මේ එකමුතුව බිඳී යන්නේ නම් ඉන් මිථ්යාදෘෂ්ටිය සමාජගත වීම ද වැළැක්විය නොහැකිය. සද්ධර්ම ප්රතිරූපකයන් නිසාත්, තෙරුවන, ශික්ෂාපද හා බණ-භාවනා ගැන ගරුසරු නැති සංඝයා වහන්සේ නිසාත්, දේශපාලනය, ජ්යෝතිෂය හෝ වෙනත් ගුප්ත විද්යාදිය ඇසුරු කරන භික්ෂූන් වහන්සේ නිසාත් ශාසන අන්තර්ධානය වන ආකාර බුදුන් වහන්සේ දේශනා කළ තැන් රාශියක් “සඟි බණ - සමන්නේසනා” මගින් පූජ්යපාද යක්කඩුවේ ප්රඥාරාම නාහිමියෝ පෙන්වා දෙති.
පූජ්යපාද රේරුකානේ චන්දවිමල නාහිමියෝ ද කාමච්ඡන්ද නීවරණය ගැන පැහැදිලි කිරීමේදී භික්ෂූන් වහන්සේ තමන් නොදැනම විවිධ ක්රියාකාරකම් ඔස්සේ සසුනට කරන හානිය දක්වා සිටිති.
ගමින් ගම සේවය කළ භික්ෂූන් වහන්සේගේ සේවය මුළුගැන්වී මාධ්ය ඔස්සේ ධර්ම දේශකයන් කීපදෙනකු ඉස්මතු වීමත්, ඒ අතර සමහරුන් බණ වැනි බණ කියන්නන් වීමත්, දුර්වල මානසික හේතු නිසා ධර්මය අවලංගු කරමින් භික්ෂු වංශයේ පූර්වාචාරීන් විවේචනය කිරීමත්, ශ්රද්ධාවත් ගිහි සමාජය එකතු කළ ‘පිරිත් හුය’ එක් එක් භික්ෂුවකගේ අනන්යතාව බවට පත් කිරීමත් වැනි කරුණ ගැන කල්පනා කරන විට සසුන පිරිහෙන්නේ බාහිර කරුණුවලට වඩා අභ්යන්තර ක්රියාකාරකම් නිසා බව පැහැදිලි වෙයි.
ඇසුරු කරන භික්ෂූන් වහන්සේගේ හැදියාව මත ගිහියන් ශ්රද්ධාවත් වන අයුරු බුදුන් වහන්සේ නිතර පෙන්වා ඇති නිසා තම වගකීම අවබෝධ කරගත් භික්ෂු පරපුරක් ඇති වන්නේ නම් අප සමාජය සකස් කරගැනීම තවමත් ප්රමාද නැත. මූලිකව කළ යුතු වැඩ කොටස අතපසු කර ගැටළුවලට පිළිතුරු සෙවීම පහසු නැත.
ප්රාතිමෝක්ෂය ඉගෙනීමෙන් හා දැරීමෙන් සංඝරත්නයෙන් විය යුතු සහ කළ හැකි සේවය අවබෝධ කරගත් භික්ෂූන් වහන්සේ දැකීමට බෞද්ධයෝ වාසනාවත් වෙත්වා.
පෙර පූජ්ය කුකුල්පනේ සුදස්සි, මමන සුසීම හිමිපාණන් වහන්සේලා සැකසූ සෝදුපත් සටහන් මෙවර මුද්රණයටත් උපකාරී විය. සංශෝධිත පරිඝනක අක්ෂර ගැලපීම හොරණ රූ-මායා ග්රැෆික්ස්හි සාලිය ජයකොඩි මහතා අතින් ද, මුද්රණය සිකුරු ප්රකාශක ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ප්රමුඛ කාර්ය්ය මණ්ඩලයෙන් ද මනා ලෙස ඉටු කිරීම කෘතඥතා පූර්වකව සිහිපත් කරමි. උපකාරී වූ සැමට ශාසනාලයෙන් යුතුව පින් දෙමි.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2007 මාර්තු මස 15 වන දින, පොකුණුවිටදී ය.