තෙවැනි භික්ඛුනෝවාද වග

  1. යම් භික්ෂුවක් (භික්ෂූන් විසින්) සම්මත නො කරන ලදුව භික්ෂුණීන්ට අවවාද කෙරේ නම් පචිති වේ.
  2. යම් භික්ෂුවක් (භික්ෂූන් විසින්) සම්මත කරන ලදුවත් හිරුබට කල්හි භික්ෂුණීන්ට අවවාද කෙරේ නම් පචිති වේ.
  3. යම් භික්ෂුවක් මෙහෙණවරකට අවුත් නො කල්හි භික්ෂුණීන්ට අවවාද කෙරේ නම් පචිති වේ. භික්ෂුණියක් ගිලන් වූවා නම් එය කාලයයි.
  4. යම් භික්ෂුවක් “මේ භික්ෂූහු චීවරාදි ආමිෂ ලාභය කැමැත්තෙන් භික්ෂුණීන්ට අවවාද කරන්නාහු යයි” කියා නම් ඕහට පචිති වේ.
  5. යම් භික්ෂුවක් නො නෑ වූ භික්ෂුණියකට සුළුදෙයකින් හෝ මාරුකර ගැනීමක් නැතිව සිවුරක් දෙයි නම් පචිති වේ.
  6. යම් භික්ෂුවක් නො නෑ වූ භික්ෂුණියකගේ සිවුරක් ගෙත්තම් කෙරේ නම් හෝ කරවා නම් පචිති වේ.
  7. යම් භික්ෂුවක් වාහනයකින් යායුතු තරම් සැක සහිත වූද භය සහිත වූද කාලයක මිස නො කාලයෙක්හි භික්ෂුණියක සමග දීර්ඝ මාර්ගයකට පැමිණියේ යටත්පිරිසෙයින් තමාහුන් ගමින් අනිත් ගමකට හෝ යේ ද පචිති වේ.
  8. යම් භික්ෂුවක් ගඟකින් එතරවීම පිණිස ගඟ හරහා යාමකදී හැර උඩුගං බලා හෝ යටිගං බලා යන නැවකට භික්ෂුණියක හා එක්ව නැගේ නම් පචිති වේ.
  9. යම් භික්ෂුවක් මුලදී හෝ ගිහියන් විසින් පිළියෙළ කිරීමක් නැතිව හුදෙක් භික්ෂුණියක විසින් පිසන ලද පිණ්ඩපාතය දැන දැන අනුභව කෙරේ නම් පචිති වේ.
  10. යම් භික්ෂුවක් භික්ෂුණියක සමග හුදකලාව රහසිගතව හිඳී නම් පචිති වේ.

තෙවැනි භික්ඛුනෝවාද වගයි.