හැඳින්වීම

විනය

“විනයො නාම සාසනස්ස ආයු” විනය නම් ශාසනයාගේ ආයුෂයයි.

මෙයින් භික්ෂූන්ගේ ශික්ෂා ගරුත්වයත්, සම්බුද්ධශාසනයේ ජීවනයත්, පිළිබඳ අවධාරණයෙන් කළ පරිච්ඡේද නියමයක් හෙලි කරයි. සම්බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු පවත්නා පරිදි දේශනා කොට වදාළ චිරස්ථායි ක්‍රියා මාර්ගය විනය නමින් හැඳින්වූවා මෙන් ම, එය අනුගමනය කිරීම, භික්ෂුවංශයේ දියුණුවට මෙන් ම ශාසනයේ පැවැත්මටත් හේතු වන බව වදාළ අවස්ථා රාශියක් විනය ග්‍ර‍න්ථවලින් සොයා ගත හැකිය. එය කෙතරම් වැදගත් දෙයක් කොට සලකා වදාරණ ලද්දේ දැ’යි කියතොත් පසළොස් දිනකට වරක් ශික්ෂාවන් සිහිපත් කරගත යුතු බවත්, එසේ නො කිරීම ආපත්තියක (වරද)ට හේතුව වන බවත් වදාළහ. තමාට තමා ම වංචා සහගත නොවීමේ පදනම මත ගොඩනගන ලද භික්ෂු ජීවිතය පිළිබඳ මනා පාලනයක් විනය ශික්ෂාවන්ගෙන් සිදුකෙරේ. එහෙයින් වරදත්, ඊට සුදුසු දඬුවමත් නො සඟවා, විනය ශික්ෂාවන් ගුරුතන්හි ලා සලකන භික්ෂූන් නිසා ශාසනය චිරස්ථායි වීම ගැන කවර කථාද?

උභය ප්‍රාතිමෝක්ෂය

සියලු ම විනය ශික්ෂාවෝ පස්මහ පොතකින් පරිමිතයහ. i. පාරාජික ii. පාචිත්තිය iii. චූලවග්ග iv. මහාවග්ග v. පරිවාර වශයෙනි. එයින් පාරාජික, පාචිත්තිය යන ග්‍ර‍න්ථ ද්වයෙහි වදාළතාක් ආඥා දේශනාවන් ඉතා සංක්ෂිප්ත කොට සකස්කළ ශික්ෂා සංග්‍ර‍හයකි, උභය ප්‍රාතිමෝක්ෂය. භික්ෂූන් හා භික්ෂුණීන් පිළිබඳ ප්‍රාතිමෝක්ෂය හෙයින් මෙ නම් විය. සර්වඥ ශාසනයට ඇතුළත් ව, විසිවිය සම්පූර්ණ වීමෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලය ලැබූ භික්ෂුව විසින් රැක්ක යුතු ප්‍රාතිමෝක්ෂය උද්දේසවාර පරිච්ඡේද පසකින් පරිමිත වූ අතර භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය සතරකින් යුක්තය.

භික්ෂු භික්ෂුණී ශාසනද්වය ම නිර්මලව පැවති යුගයේ උභය ප්‍රාතිමෝක්ෂය වැනි ශික්ෂා සංග්‍ර‍හයකින් ලද පහසුවත් අවශ්‍යතාව හා ප්‍රයෝජනයත් පිළිබඳ යමක් සිතාගත හැක්කේ අනිත් විනය ග්‍ර‍න්ථ අතර උභය ප්‍රාතිමෝක්ෂයට හිමි වන ස්ථානය ගැන සලකා බැලීමෙනි. යාම්-ඊම්, ඉඳුම්-හිටුම්, කෑම්-බීම් වැනි ඉතා කුඩා කරුණෙහි පටන් භික්ෂුත්වය විනාශ වී යාම දක්වා වූ ලොකු කරුණුත්, මාතෘකා සංග්‍ර‍හයක් වශයෙන් සකස් වූ ප්‍රාතිමෝක්ෂය, විනය සාගරයට බැස ගන්නවුන්ට විවෘත කළ තොටක් වැනිය.

අද භික්ෂුණී ශාසනයක් නැත. මතු ඇති විය හැකි ද නොවේ. එහෙයින් භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය ද තව ඉදිරියටත් ගෙන යාමෙහි අවශ්‍ය බවක් නො පෙනේ. අද පමණක් නොව අනුරාධපුර රාජධානියෙන් මෙපිට ලක්දිව භික්ෂුණී ශාසනයක් (මෙහෙණි සස්නක්) ගැන තොරතුරු අනාවරණය නොවේ. එහෙත් ඉතා මෑතක් වනතුරු ම ප්‍රාතිමෝක්ෂය පිළිබඳ ටීකා විස්තර කථාදිය සැපයූ ආචාර්‍ය්‍යවරු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය අමතක නො කළහ. භික්ෂුවට පමණක් සාධාරණ ශික්ෂාවන් සංග්‍ර‍හ කොට ප්‍රාතිමෝක්ෂය පිළියෙළ කිරීම අදට මෙන් ම එදාට ද ප්‍ර‍මාණ විය. ශික්ෂා ගෞරවය, ධර්ම ගෞරවය හා ග්‍ර‍න්ථ ගෞරවය ගැන සැලකූ ඇදුරෝ පෙර පැවති පරිදි ම තිබෙන්නට හළමුත් වෙනසක් නො කළහ. අපිදු මෙහිදී එය අනුගමනය කෙළෙමු.

අපේ සංස්කරණය

“ශ්‍රී ලංකා ශ්වේජින් නිකායික” මහා සංඝ සභාවේ අනුමැතිය පරිදි වර්ෂයකට වරක් ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දීමේ සිරිතක් පැවැත්තේ ය. සෑම වර්ෂයක ම ජනවාරි හෝ පෙබරවාරි මාසයේ නියමිත දිනයක දී එය සිදුවිය. සිරිත් පරිදි අදත් එය සිදුකෙරේ. එහිදී ශ්වේජින් නිකායේ මහානායක මා හිමියන් ඇතුළු මධ්‍යම නවක සෑම භික්ෂුවක් ම ප්‍රාතිමෝක්ෂය කට පාඩම් දිය යුතුය. එසේ ම සාමණේරවරු සතර බණවර පාඩම් දිය යුතුය.

ඉකුත් වර්ෂයෙහි පැවැත්වූ මේ ධර්ම පරීක්ෂණයේදී ඊට සහභාගිවනු කැමති භික්ෂුවරයකුට අප අයත් ප්‍රාතිමෝක්ෂය දීමට සිදුවිය. අපට ද පොතක් අවශ්‍ය වූයෙන් අළුත් පොතක් මිලට ගතිමු. අනුවාදය සහිත වූ ඒ පිටපත මුද්‍ර‍ණයෙන් බිහිව වැඩි කලක් ගත නොවූ බව පෙනින. එහෙත් එය පෙරලා බැලීමේදී අප තුළ ඇති වූ බලවත් සංවේගයේ ප්‍ර‍තිඵලය වශයෙනි, මෙම අනුවාදය සහිත ප්‍රාතිමෝක්ෂය මුද්‍ර‍ණය කිරීමට අදහස් කෙළේ. එතරම් ඒ පිටපත වරදින් ගහනව පැවැත්තේය. විනය පරීක්ෂණවලදී නැතිව ම බැරි පොත් පිංචක් වශයෙනුත්, විනය ශික්ෂාවන් පිළිබඳ භික්ෂුවගේ අත්පොත වශයෙනුත්, වැදගත් වූ, ප්‍රාතිමෝක්ෂය සැලකිලිමත්ව මුද්‍ර‍ණය කළයුතුව තිබිය දී සෝදුපත් බැලීම ගැන සැලකිල්ලක් නො දක්වා ඇති බව පෙනී ගියේ ය.

වරදවා මුද්‍ර‍ණය කරවන ලද, ශික්ෂාවන් පිළිබඳ පාලි පාඨයක් කටපාඩම් කිරීමට සැලැස්වීම විනය අපරාධයකි. විනය අවිනය කිරීමකි. ප්‍රාතිමෝක්ෂය හදාරණ ශිෂ්‍යයා එහි වරද තැන් නිවරද කරගනිමින් ඉගෙනීමට තරම් හැකි වියෙක නො සිටී. මෙවැනි දූෂිතව මුද්‍ර‍ණය කළ පෙළ පොත්, විශේෂයෙන් වාචෝද්ගත කළ යුතු පොත්, මුද්‍ර‍ණ දෝෂ පවා පහ නො කොට ඔවුන් වෙ තැබීම අශාසනිකය. කරුණු මෙසේ හෙයිාන් හැකිතාක් දුරට වැරදිවලින් තොරව පාවිච්චියට ද පහසුවන පරිදි මෙවැනි පොතක් සකස් කිරීමේ අදහස පහළ වීමේ හේතුව යට සඳහන් කළ කාරණය බව කියනු කැමැත්තෙමු.

මේ දිනවල බුරුම රට පැවැත්වෙන ඡට්ඨ මහා සංගායනාවෙන් ශුද්ධියට පත්කළ විනය ග්‍ර‍න්ථ මේ කටයුත්තෙහි ලා ගුරුකොට ගතිමු. කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි අදහස පමණක් ඇතුළත් වන සේ අනුවාදය ද සකස් කෙළෙමු. මෙහි ලා විස්තර කළ යුතු බොහෝ තැන් ඇතත් දීර්ඝ විස්තර ලියැවුණු පොතපත සුලභව ඇති හෙයින්, විශේෂ තැන් කීපයක් උපුටා උපග්‍ර‍න්ථය වශයෙන් පිළියෙළ කරන ලද්දේ විනය ඉගෙන ගන්නා පැවිදි ශිෂ්‍යයන්ගේ පාවිච්චියට ද ඇති පහසුව සලකා ගෙනය.

කරුණු මෙසේ හෙයින් කුඩා වුවද මේ වටිනා ග්‍ර‍න්ථය අප අදහස් කළ පරිදි පොතක් නැතිකමේ පාඩුව පිරිමසාලීමෙහි මෙන් ම පැවිද්දන්ගේ විනය ඉගෙනීමෙහිත් අල්පමාත්‍ර‍ වූ හෝ ප්‍රයෝජනයක් වන්නේ නම් එය අපගේ උත්සාහයේ වටිනා ප්‍ර‍තිඵලය කොට සලකමු.

උපකාරා’නුස්මෘති

මේ කටයුත්තෙහි දී අපට ලැබුණු උපකාර අතර, උගත් ධර්‍මධරයාණ කෙනකු වශයෙන් හා ධර්‍මග්‍ර‍න්ථ කර්තෘවරයාණ කෙනකු වශයෙනුත් අද ලෝකයා පිළිගත් අපගේ ගුරුදේව අතිගරු ආචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේගෙන් ලැබුණු උපදේශ හා ප්‍ර‍ස්තාවනාවක් සපයා දීමෙන් කළ මහඟු උපකාරය ද ගරුකොට සලකන අතර තෙසරණ සරණින් හා සව්මුරු බෙලෙන් නිදුකින් දිනේවා’යි ආශිංසනය කරමු.

මේ බුද්ධ ජයන්ති වර්ෂයේ කුදු මහත් කටයුතු රැසක ව්‍යාවෘතව සිටි හෙයිනුත්, ඒ අතර ගිලනකු වශයෙන් පසුවන්නට සිදුවූ හෙයිනුත්, මේ කටයුත්තට සහයෝගය දෙමින් අප සමග ක්‍රියාකළ දැනට හම්බන්තොට ශ්‍රී ගුණානන්ද පරිවේණාධිපති පණ්ඩිත කනදුල්ලේ රතනරංසි ස්ථවිරයන් වහන්සේ ද මෙහිදී කෘතඥතා පූර්වකව සිහිපත් කරමු.

බුදුසසුන බැබලේවා !

මෙයට - ලෝවැඩ කැමති ගොඩිගමුවේ සෝරත ස්ථවිර.

ශ්‍රී ලංකා ශ්වේජිං නිකායික මහා සංඝ සභාවේ සමලේඛක.

ශ්‍රී බු. ව. 2499 (ක්‍රි. ව. 1956) මාර්තු 01 වන දින පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ දීය.