පළමුවන සිවුරු වග

ඇවැත්නි, අනතුරුව මේ තිස් නිසඟි18 ඇවැත් උදෙසනු ලැබේ.

  1. සිවුරක් කොට නිමි කල්හි ද කඨින සිවුර උද්ධරණය19 වූ කල්හි ද භික්ෂුව විසින් දසදිනික් තුළ අතිරේක සිවුරක් දැරිය හැකිය. එය ඉක්මවන්නාහට නිසඟි පචිති වේ.
  2. සිවුරක් කොට නිමි කල්හි ද කඨින සිවුර උද්ධරණය වූ කල්හි ද සංඝයාගේ නියමයක් නැතිව තුන් සිවුරෙන් වෙන්ව එක රැයකුදු ගතකරන්නේ නම් ඕහට නිසඟි පචිති වේ.
  3. සිවුරක් කොට නිමි කල්හි ද කඨින සිවුර උද්ධරණය වූ කල්හි ද භික්ෂුවකට නො කල් චීවරයක්20 ලැබේ. ඉදින් කැමති නම් භික්ෂුව විසින් පිළිගත හැකිය. පිළිගෙන එයින් වහා සිවුරක් කරවිය යුතුය. සිවුරකට ද නොසෑහේ නම් අඩුව සම්පූර්ණකර ගැනීම සඳහා බලාපොරොත්තු සහිතව (නො ඉටා) මාසයක් තැන්පත් කර ගත හැකිය. බලාපොරොත්තුව ඇතත් මාසයකින් මත්තෙහි තබා ගන්නා හට නිසඟි පචිති වේ.
  4. යම් භික්ෂුවක් නොනෑ වූ භික්ෂුණියක ලවා පරණ සිවුරක් සෝදා නම්, පඬුපොවා නම්, අපුල්ලා නම්, (ඕහට) නිසඟි පචිති වේ.
  5. යම් භික්ෂුවක් නොනෑ වූ භික්ෂුණියක අතින් (සුළු දෙයකට) හෝ මාරුකර ගැනීමක් නැතිව සිවුරක් ගනී නම් (ඕහට) නිසඟි පචිති වේ.
  6. යම් භික්ෂුවක් නොනෑ වූ ගෘහපතියකු හෝ ගෘහණියක අතින් සොරුන් විසින් පැහැර ගත් කල්හි හෝ දිරාගොස් විනාශ වූ කල්හි හැර නොකල්හි සිවුරක් ඉල්ලාගනී ද ඕහට නිසඟි පචිති වේ.
  7. නොනෑ වූ ගෘහපතියෙක් හෝ ගෘහණියක් බොහෝ සිවුරු වලින් භික්ෂුවක් පුදයි. ඒ භික්ෂුව විසින් අඳනය හා පොරෝනය පමණක් ඉවසිය හැකිය. ඉන් වැඩියත් සිවුරු පිළිගනී නම් ඕහට නිසඟි පචිති වේ.
  8. නොනෑ වූ ගෘහපතියකු විසින් හෝ ගෘහණියක විසින් මේ මුදලින් සිවුරක් මිලදී ගෙන අසවල් භික්ෂුවට දෙන්නෙමි’යි භික්ෂුවක් උදෙසා සිවුරු මුදලක් එකතු කරන ලද්දේ වෙයි. ඒ භික්ෂුව (දායක දායිකාවන් විසින්) සිවුර පැවරීමටත් පළමුව ඔවුන් කරාගොස් ඒ මුදලින් මෙබඳු සිවුරක් මිලට ගෙන පුදව’යි හොඳ සිවුරක් බලාපොරොත්තුවෙන් එහි ලා විධාන කරයි ද එබඳු විධානයකින් සිවුරක් ලබන භික්ෂුවට නිසඟි පචිති වේ.
  9. නොනෑ වූ ගෘහපතියන් දෙදෙනකු හෝ ගෘහණියන් දෙදෙනකු විසින් මේ මුදලින් සිවුරක් මිලට ගෙන අසවල් භික්ෂුවට පුදන්නෙමු’යි යම් භික්ෂුවක උදෙසා වෙන වෙන සිවුරු මුදල් එකතු කරන ලද්දේ වෙයි. ඒ භික්ෂුව ද (දායක දායිකාවන් විසින්) සිවුරු පැවරීමටත් පළමුව ඔවුන් කරාගොස් ඒ වෙන වෙන එකතු කළ මුදලින් මෙබඳු සිවුරක් මිලට ගෙන පුදව’යි හොඳ සිවුරක් බලාපොරොත්තුවෙන් එහි ලා විධාන කරයි ද, එබඳු විධානයකින් සිවුරක් ලබන භික්ෂුවට නිසඟි පචිති වේ.
  10. රජ, රජඇමති, බමුණු, ගොවි යනාදි මොවුන්ගෙන් කෙනෙක් මේ මුදලින් සිවුරක් මිල දී ගෙන අසවල් භික්ෂුවට දෙවයි කියා දූතයකු අත සිවුරු මිලක් එවති. දූතයා ද භික්ෂූන් වෙත අවුත් ‘වහන්ස! ඔබ උදෙසා මේ සිවුරු මිලය ගෙනෙන ලදි. මෙය පිළිගනු මැනවැ’යි කියයි.

එවිට ඒ භික්ෂුව විසින් “මිත්‍ර‍ය අපි සිවුරු මිල නොපිළිගනිමු. අවශ්‍ය වූ විටෙකදී සිවුරක් පිළිගන්නෙමු’යි කියයුතු වෙයි. ඉදින් ඒ දූතයා ඔබ වහන්සේගේ කිසියම් කැපකරුවකු ඇද්දැයි විචාරණ ලද නම් ආරාමිකයකු හෝ උපාසකයකු මොහු අපගේ කැපකරු යයි දැක්විය යුතුයි.

දූතයා ද ඔහු සිවුරු ගෙනදෙන බවට ගිවිස්වා භික්ෂූන් වෙතද ගොස් ‘වහන්ස! ඔබ දැක්වූ කැපකරුවා සිවුරු ගෙනදෙන බවට ගිවිස ගන්නා ලදි. අවශ්‍ය වූ විටෙක එහි යනු මැනව. ඔහු සිවුරු ගෙන දේවි’යි කියයි. සිවුර අවශ්‍ය වූ භික්‍ෂුව කැපකරු කරා ගොස් (එක්වරකින් නොදේ නම්) දෙතුන් වරක් ඉල්විය යුතුය. එය සිහිකරවිය යුතුය. දෙතුන්වර ඉල්ලද්දීත් සිවුරු සැපයේ නම් මැනවි. නො එසේ නම්, සවෙනි වර දක්වා එහි ගොස් නිශ්ශබ්දව සිටිය යුතුය. මෙසේ සිවුරු උදෙසා සිටින කල්හිත් නො ලැබේ නම්, සත්වැනි වරද වෑයම් කරන්නාට ලැබෙන සිවුර නිසදිය යුත්තේ ය.

(ඉල්වීමෙනුත්, උදෙසා සිටීමෙනුත්), සිවුරු නොලැබූ භික්ෂුව සිවුරු මිල එවූ අය වෙත ගොස් හෝ දූතයකු හෝ යවා, “ඔබ අප උදෙසා එවූ සිවුරු මිලයෙන් වැඩක් නොවීය. එය විනාශ වියනොදී ගෙන්වා ගත යුතුය”යි දැන්විය යුත්තේ ය. මේ ඒ පිළිබඳ පිළිවෙතයි.

පළමුවන සිවුරු වගයි.