සිව්පරිජි ඇවැත්

මේ ප්‍රාතිමෝක්ෂයෙහි සිව්පරිජි7 ඇවැත් උදෙසනු ලැබේ.

  1. යම් භික්ෂුවක් භික්ෂූන් පිළිබඳ අධිශීල ශික්ෂාවන්ට8 පැමිණියේ, උපසම්පදාව ප්‍ර‍තික්ෂේප නොකොට9 දුර්වල බව ද නොකියා, යටත් පිරිසෙයින් තිරිසන්ගත මාගමක් සමග ද මෙවුන්දම් සෙවී නම් පරිජිවූයේ වෙයි. (පියවි මහණුන් සමග) සහවාසයට නුසුදුස්සෙක් ද වේ.
  2. යම්කිසි භික්ෂුවක් ගමින් හෝ අරණ්‍යයෙන් හෝ සොරකමට අයත් වූ නුදුන් වස්තුවක් පැහැරගනී නම්, එබඳු අන්සතු වස්තුවක් ගැනීමේදී රජවරු සොරුන් අල්වා මරත්ද, සිරකරත්ද, රටින් හෝ නෙරපා හරිත්ද, තෝ සොරෙක, බාලයෙක, මෝඩයෙක, සැඟවී සිටිය යුත්තකැ’යි නින්දා පරිභව කරත් ද, එබඳු දඬුවමකට තරම් වටිනාකම් ඇති අන් සතු දෙයක් පැහැරගන්නා වූ මහණතෙමේ පරිජිවූයේ වෙයි. (පියවි මහණුන් සමග) සහවාසයට නුසුදුස්සෙක් ද වේ.
  3. යම්කිසි භික්ෂුවක් මනුෂ්‍ය ශරීරය ජීවිතේන්ද්‍රියයෙන් තොර කරයි නම්, මරණය සඳහා ආයුධ හෝ පිළියෙළ කොට තබයි නම්, මරණයෙහි අනුසස් හෝ ප්‍ර‍කාශකරයි නම් ‘ඔබට මේ පවිටු වූ දුක්බර ජීවිතයෙන් කවර වැඩක් ද? ජීවත්වීමට වඩා ඔබේ මරණය උතුම් ය’යි මරණයෙහි ලා උත්සාහගන්වයි නම්, ඒ මරණු කැමති සිත් ඇතිව, කල්පනා ඇතිව, නොයෙක් අයුරෙන් මරණයෙහි ගුණවණන්නා වූ ද මරණය පිණිස උත්සාහ ගන්වන්නා වූ ද මහණ තෙමේ පරිජිවූයේ වෙයි. (පියවි මහණුන් සමග) සහවාසයට නුසුදුස්සෙක් ද වේ.
  4. යම්කිසි භික්ෂුවක් සිය සතන්හි නූපන්නා වූ ආර්‍ය්‍ය මාර්ගඥාන දර්ශනය ඇති කරන සුළු උත්තරී මනුෂ්‍යධර්මය10 තමා කෙරෙහි ඇතැ’යි ද එය මේ කාරණයෙන් දනිමි. මේ කාරණයෙන් දකිමි’යි ද ප්‍ර‍කාශ කරයි. එපමණකින් ආපත්තියට පැමිණියා වූ ඒ භික්ෂුව නැවත පිරිසිදුබව කැමැතිව පසු කලෙක (අනිකකු විසින්) විචාරණ ලැබුව ද නොලැබුව ද, මම උතුරු මිනිස්දම් නොදැනම දනිමි’යි කීම් නම්, නොදැකම දකිමි’යි කීම් නම් එය නිස්සාරය, බොරු යයි කියා ද, අධිමානයෙන්11 තොරව කියන්නා වූ ඒ මහණ පරිජිවූයේ වෙයි. (පියවි මහණුන් සමග) සහවාසයට නුසුදුස්සෙක් ද වෙයි.

ඇවැත්නි සතරපාරාජිකා’පත්තීහු උදෙසන ලද්දාහු වෙති. යම් භික්ෂුවක් මේ පරිජි ඇවැත් අතර යම් යම් පරිජියකට පැමිණියේ ද ගිහිකල්හි මෙන් පරිජියට පැමිණීමෙන් පසුව ද පියවි භික්ෂූන් සමග සහවාසයක් නොලබයි. පරිජි වූයේ වෙයි. පැවිද්දට නුසුදුස්සෙක් ද වේ.

මේ සිව්පරිජියෙහි ලා ඔබ අතින් විචාරමි. කෙසේද? පිරිසිදුද? දෙවැනි වර ද විචාරමි. කෙසේද? පිරිසුදුද? තෙවැනි වර ද විචාරමි. කෙසේ ද? පිරිසුදුද? මේ සිව්පරිජියෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදු වූවහුය, නිශ්ශබ්දවීම පිරිසුදු බව කොට සලකම් ද, එහෙයිනි.

(ඇවැත්නි, නිදානය උදෙසන ලදි. සිව්පරිජි ද උදෙසන ලද්දේය. ඔබ විසින් තෙළෙස් සඟවෙසෙස් අසන ලද්දේය. එසේ ම අනියත දෙකය, තිස් නිසඟිපචිතිය, දෙයානූවක් පචිතිය, පාටිදේසනීය සතරය, පන්සැත්තෑවක් සේඛියා ධර්මය, හා සප්ත අධිකරණ සමථ ධර්මයෝ ද අසන ලද්දාහුය. මෙතෙක් ප්‍රාතිමෝක්ෂයෙහි ආවා වූ, එහි ඇතුළත් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශික්ෂාපද අඩමසක් පාසා උදෙසිය යුතු බවට පැමිණේ. සමගි වූ ද, සතුටු වූ ද, විවාද නො කරන්නා වූ ද සියල්ලන් විසින් ම ඒ ශික්ෂාපදයෙහි ලා හික්මිය යුතුයි.)

දෙවැනි පාරාජිකා උද්දේසයයි.