චතුර්විධ පාටිදේසනීය ආපත්ති

ඇවැත්නි, අනතුරුව මේ චතුර්විධ පාටිදේසනීය ආපත්ති28 උදෙසනු ලැබේ.

  1. යම් භික්ෂුවක් ඇතුළු ගමට පිවිස නො නෑ වූ භික්ෂුණියකගේ අතින් කෑ යුතු බුදිය යුතු දැයක් සියතින් පිළිගෙන වළඳා නම් එබඳු භික්ෂුව විසින් “ඇවැත්නි, ගැරහිය යුතු වූ යෝග්‍ය නොවූ, නැවත අනුන්ට දෙසිය යුතු වූ ඇවතකට පැමිණියෙමි” යි (භික්ෂූන් හමුවෙහි) ඇවැත් දෙසිය යුතුය.
  2. භික්ෂූහු දායක කුලයෙක්හි ආරාධනා ලැබ ගොස් වළඳමින් සිටිති. එහිදී භික්ෂුණියක් මෙහි බත් දෙව, මෙහි හොදි බෙදව, මෙහි ව්‍යඤ්ජන බෙදව’යි විධාන කරමින් සිටී නම් එහි සිටි භික්ෂූන් විසින් “නැගණිය, භික්ෂූන් වළඳා අවසන් වනතුරු තොප මෙයින් ඉවත්ව යව’යි ඉවත්කළ යුතුය. වළඳමින් සිටි එක ද භික්ෂුවකටවත් ඇය ඉවත් කිරීමට නොවැටහුනි නම් ඒ භික්ෂූන් විසින් “ඇවැත්නි, ගැරහිය යුතු වූ අයෝග්‍ය වූ නැවත අනුන්ට දෙසිය යුතු වූ ඇවතකට පැමිණියෙමි’යි (භික්ෂූන් හමුවෙහි) ඇවැත් දෙසිය යුතුය.
  3. යම් නො ගිලන් භික්ෂුවක් සේඛ සම්මුතිය29 ලැබූ ගෙවලට කලින් නො පවරණ ලද්දේ ම එළඹ කෑ යුතු බුදිය යුතු දැයක් සියතින් පිළිගෙන වළඳා නම් ඒ භික්ෂුව විසින් “ඇවැත්නි, ගැරහිය යුතු වූ යෝග්‍ය නොවූ නැවත අනුන්ට දෙසිය යුතු වූ ඇවතකට පැමිණියෙමි’යි භික්ෂූන් හමුවෙහි ඇවැත් දෙසිය යුතුයි.
  4. යම් නො ගිලන් භික්ෂුවක් සැක සහිත වූද භය සහිත වූද අරණ්‍ය සෙනසුන්හි වසමින් කලින් නො හඳුනන කෙනකුගෙන් කෑයුතු බුදිය යුතු දැයක් සියතින් පිළිගෙන වළඳා නම් ඒ භික්ෂුව විසින් “ඇවැත්නි, ගැරහිය යුතු වූ යෝග්‍ය නොවූ නැවත දෙසිය යුතු වූ ඇවතකට පැමිණියෙමි’යි භික්ෂූන් හමුවෙහි ඇවැත් දෙසිය යුතුය.

ඇවැත්නි, මේ පාටිදේසනීය ධර්‍මයෝ සිව්දෙන උදෙසන ලදහ. එහිලා ඔබ අතින් විචාරමි. කෙසේද? පිරිසිදු ද? දෙවැනි වර ද විචාරමි. කෙසේද? පිරිසුදු ද? තෙවැනි වර ද විචාරමි. කෙසේද? පිරිසුදු ද? මේ පාටිදේසනීය ආපත්තීන්හිලා ආයුෂ්මත්හු පිරිසුදු වූවහුය. නිශ්ශබ්දවීම පිරිසුදු බව කොට සලකම්ද, එහෙයිනි.

පාටිදේසනීය ඇවැත් නිමියේය.