පාටිදේසනීය ඇවැත් අට

ආර්‍ය්‍යාවරුනි, අනතුරුව පාටිදේසනීය ඇවැත් අට උදෙසනු ලැබේ.

  1. යම් භික්ෂුණියක් නොගිලන්ව ගිතෙල් ඉල්ලාගෙන වළඳා නම් ඇය විසින් “ආර්‍ය්‍යාවනි, ගැරහිය යුතු වූ අයෝග්‍ය වූ නැවත දෙසිය යුතු වූ ඇවතකට පැමිණියෙමි”යි භික්ෂුණීන් හමුවෙහි ඇවැත් දෙසිය යුත්තේය.
  2. -8, යම් භික්ෂුණියක් නොගිලන්ව i. ගිතෙල් ii. තලතෙල් iii. මීපැණි iv. උක්සකුරු v. ගොඩ මස් vi. දියමස් vii. කිරි හා viii. දී ඉල්ලාගෙන වළඳා නම් ඇය විසින් “ආර්‍ය්‍යාවනි, ගැරහිය යුතු වූ අයෝග්‍ය වූ නැවත දෙසිය යුතු වූ ඇවතකට පැමිණියෙමි”යි භික්ෂුණීන් හමුවෙහි ඇවැත් දෙසිය යුතුයි.

(තතියානු සාවණය යට දැක්වූ අයුරුයි.)

පාටිදේසනීය ඇවැත් අට මෙතෙකින් නිමියේය.

(පන්සැත්තෑවක් සේඛියා සිකපද හා ශප්ත අධිකරණ සමථ ධර්ම ද භික්ෂු ප්‍රාතිමෝක්ෂයෙහි දැක්වූ අයුරුයි.)

ආර්‍ය්‍යාවරුනි, නිදානය උදෙසන ලදි. එසේම අට පරිජි ඇවැත්, සතළොස් සඟවෙසෙස් ඇවැත්, තිස් නිසඟි පචිති ඇවැත්, එකසිය හැටහයක් පචිති ඇවැත්, අටක් පාටිදේසනීය ඇවැත්, පන්සැත්තෑවක් සේඛියා සිකපද හා ශප්තවිධ අධිකරණ සමථ ධර්ම ද උදෙසන ලදි. මෙතෙක් භික්ෂුණී ප්‍රාතිමෝක්ෂයෙහි ආවා වූ එහි ඇතුළත් වූ භාග්‍යවතුන් වහන්සේගේ සිකපද අඩමසක් පාසා උදෙසිය යුතු බවට පැමිණේ. සමගි වූද සතුටු වූ ද, විවාද නොකරන්නා වූද සියල්ලන් විසින් ඒ ඒ සිකපදයෙහි ලා හික්මිය යුතුයි.

විස්තාර උද්දේසයයි.

භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය නිමියේය.