සංඝ උපෝසථය කිරීමේ ක්‍ර‍මය

සංඝ උපෝසථය ගැන දතයුතු කරුණු

“න භික්ඛවෙ සංඝමජ්ඣෙ අනජ්ඣිට්ඨෙන පාතිමොක්ඛං උද්දිසිතබ්බං, යො උද්දිසෙය්‍ය, ආපත්ති දුක්කටස්ස”යි වදාරා ඇති බැවින් සීමාවට සංඝයා රැස් වූ පසු පාමොක් උදෙසීම සඳහා සම්මුතිය ලත් භික්ෂුවක් විසින් සංඝස්ථවිරයන් වහන්සේට හෝ අන්‍ය විනයධර තෙරනමකට හෝ ආරාධනය කළ යුතු ය. ආරාධනය ලැබූ තෙරුන් වහන්සේ විසින් පාමොක් උදෙසීමට කලින්, ආරාධනය කළ භික්ෂුවගෙන් විනය විචාළ යුතුය. එසේ කළ යුත්තේ ද සම්මුතිය ලබා ගෙන ය. ආරාධනා කළ භික්ෂූන් වහන්සේ විසින් විනය ප්‍ර‍ශ්න විසඳිය යුත්තේ ද සම්මුතිය ලබා ගෙන ය. විනය පුච්ඡක සම්මුතිය හා විසජ්ජක සම්මුතිය තම තමා විසින් ම ද කර ගත හැකිය. තමන් විසින් ම කර ගැනීම දැනට පවත්නා චාරිත්‍ර‍ය ය. ආරාධනාදිය කරන සැටි මතු දක්වනු ලැබේ. එහි දී තිස්ස, දත්ත යන නම් යොදා වාක්‍ය දක්වනු ලැබේ. පෝය කිරීමේ දී ඒ තැන් වලට ඒ ඒ අයගේ නම් යොදා ගත යුතු ය.