ද්විවිධ අනියතා‘පත්ති

ඇවැත්නි අනතුරුව ද්විවිධ අනියතා‘පත්ති16 උදෙසනු ලැබේ.

  1. යම් භික්ෂුවක් භික්ති ආදියෙන් මුවහ වූ, මෛථුන සේවනයට සුදුසු වූ, රහසිගත වූ තැනක හුදකලා වූ ස්ත්‍රියක සමග හිඳියි. ඇදහිය යුතු වදන් ඇති උවැසියක්17 එය දැක පරිජි, සඟවෙසෙස්, පචිති යන තුන් ආපත්තීන් අතුරෙන් යම්කිසි ඇවතකින් චෝදනා කරයි. භික්ෂුව තමා හුන්බව ප්‍ර‍තිඥාකරන්නේ නම්, යථෝක්ත ත්‍රිවිධ ආපත්තීන් අතුරෙන් උවැසිය චෝදනා කරන්නේ යම් ඇවතකින් ද එයින් ආරෝපනය කටයුත්තේය. මේ ආපත්තිය භික්ෂුවගේ ප්‍ර‍තිඥාවෙන් කළ යුතු බැවින් අනියත නම් වේ.
  2. ආසනය භික්ති ආදියෙන් මුවහ නො වූවක් වෙයි. මෛථුන සේවනයට ද නුසුදුසුය. එහෙත් ස්ත්‍රියක හා අසභ්‍ය ව්‍යවහාරයෙන් කථා කිරීමට ප්‍ර‍මාණය. යම් භික්ෂුවක් හුදකලා වූ ස්ත්‍රියක සමග එබඳු ආසනයක හිඳියි. ඇදහිය යුතු වචන ඇති උවැසියක් එය දැක සඟ වෙසෙසින් හෝ පචිතියෙන් හෝ චෝදනා කරයි. භික්ෂුව තමා හුන් බව ප්‍ර‍තිඥා කරන්නේ නම්, ඒ ද්විවිධ ආපත්තීන් අතුරෙන් උවැසිය චෝදනා කරන්නේ යම් ආපත්තියකින් නම් එයින් ආරෝපනය කළයුතු වෙයි. මේ ආපත්තිය ද භික්ෂුවගේ ප්‍ර‍තිඥාවෙන් කළයුතු හෙයින් අනියත නම් වේ.

ඇවැත්නි, අනියත ඇවැත් උදෙසන ලදි. මේ අනියතා‘පත්තීන්හි ලා ඔබ අතින් විචාරමි. කෙසේද? පිරිසුදුද? දෙවැනි වර ද විචාරමි. කෙසේද? පිරිසුදුද? තෙවැනි වර ද විචාරමි. කෙසේද? පිරිසුදුද? මේ ද්විවිධ අනියතා‘පත්තියෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදු වූවහුය. නිශ්ශබ්දවීම පිරිසුදු බව කොට සලකම්ද, එහෙයිනි.

සිව්වැනි අනියත උද්දේසයයි.