පස්වැනි අචේලක වග

  1. යම් භික්ෂුවක් නග්නයකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට සිය අතින් කෑයුතු බුදියයුතු දැයක් දේ නම් පචිති වේ.
  2. යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවකට ‘එව ඇවැත්නි, ගමෙහි පිඬු පිණිස හැසිරෙමු’යි කියයි. පිඬු හැසිරීමෙන් පසුව යම් පිණ්ඩාහාරයක් දෙවා හෝ නොදෙවා හෝ (තමන් අනාචාරයක හැසිරෙනු පිණිස) ඇවැත්නි, ඔබ සමග විසීම, කථා කිරීම හෝ කරදරය. හුදකලා වූ මට සැපයයි කියා ඒ භික්ෂුව පලවන්නේ ද ඕහට පචිති වේ.
  3. යම් භික්ෂුවක් අඹුසැමියන් දෙදෙනකු ඇති ගෙයක ඇතුලට වැදී හිඳියි ද පචිති වේ.
  4. යම් භික්ෂුවක් ස්ත්‍රියක සමග පිළිසන් අසුනෙක්හි රහසිගතව හිඳී නම් පචිති වේ.
  5. යම් භික්ෂුවක් ස්ත්‍රියක සමග හුදකලාව රහසිගතව හිඳියි නම් පචිති වේ.
  6. යම් භික්ෂුවක් (දායකාදීන් විසින්) නිමන්ත්‍ර‍ණය කරන ලදුව හෝ පැවරූ භෝජන ඇතිව ද ආරාමස්ථ භික්ෂුවකට නො දන්වා සිවුරු දෙන කාලයෙහි හා සිවුරු කරන කාලයෙහි හැර අනිත් කාලයෙහි උදේ හෝ සවස හෝ ගමට වැද ගෙවල ඇවිදී ද ඕහට පචිති වේ.
  7. නො ගිලන් භික්ෂුව විසින් හාරමාසයක් බෙහෙතින් කරන පැවරීම ඉවසිය හැකිය. හාරමාසයකින් පසුව නැවත කරන පැවරීම හෝ නිත්‍ය පැවරීම හෝ ඉවසිය නො හැකිය. මේ නියමය ඉක්මවා බෙහෙත් ඉවසන නො ගිලන් භික්ෂුවට පචිති වේ.
  8. යම් භික්ෂුවක් සුදුසු කරුණකදී හැර යුද පිණිස නික්මුණු සිව්රඟ සෙනඟ බැලීමට යේ ද ඕහට පචිති වේ.
  9. යම් භික්ෂුවකට සිව්රඟ සෙනඟ තුළ කිසියම් කටයුත්තක් ඇත්නම් දෙතුන් රැයක් කඳවුර සමග විසිය හැකිය. ඉන් මත්තෙහිත් වසන භික්ෂුවට පචිති වේ.
  10. යුද කඳවුරෙහි දෙතුන් දිනක් වසන භික්ෂුව යුද්ධ කරන තැන, භටයන්ගේ පෙරෙට්ටුව, බළසෙන් නවත්වන තැන් හා බළ ඇණි ද බැලීම සඳහා නො යා යුතුය. යන්නාහට පචිති වේ.

පස්වැනි අචේලක වගයි.