තුන්වැනි පාත්‍ර‍ වග

  1. දසදිනක් තුළ අතිරේක පාත්‍ර‍යක් දැරිය හැකිය. එය ඉක්ම වන්නා වූ භික්ෂුවට නිසඟි පචිති වේ.
  2. යම් භික්ෂුවක් පිළියම් පහකින් අඩු පාත්‍ර‍යක් තිබියදී අළුත් පාත්‍ර‍යක් ඉල්වා ගනී නම් ඕහට නිසඟි පචිති වේ. ඒ භික්ෂුව විසින් ඉල්ලාගත් පාත්‍ර‍ය භික්ෂූන් හමුවෙහි නිසදිය යුත්තේය. භික්ෂූහු ද තම පිරිසෙහි වූ අන්තිම භික්ෂුවගේ පාත්‍ර‍ය දෙමින් ‘මෙය බිඳෙන තුරු පාවිච්චි කරනු මැනවැ’යි කිය යුත්තේය. මේ පාත්‍ර‍ය නිසදීමේ පිළිවෙතයි.
  3. ගිලන් භික්ෂුවක් විසින් අනුභවකටයුතු වූ ගිතෙල්, වෙඬරු, තලතෙල්, මීපැනි, උක්සකුරු යන පස් බෙහෙත් පිළිගෙන සත් දිනක් තුළ සුරක්ෂිතව තබාගෙන අනුභව කළ හැකිය. සත්වැනි දින ඉක්මවන භික්ෂුවට නිසඟි පචිති වේ.
  4. ග්‍රීෂ්ම සෘතුවේ අන්තිම මාසය තුළ වැසි සළුව සොයා ගත යුතුය. එම සෘතුවේ ම අන්තිම අඩමස තුළ පටන් එය පාවිච්චි කළ හැකිය. ඉන් මෙපිට වැසිසළුවක් සොයන්නා හට ද පරිභෝග කරන්නා හට ද නිසඟි පචිති වේ.
  5. යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවකට තමා ම සිවුරක් දී පසුව එය නොසතුටු සිත් ඇතිව කුපිතව පැහැරගනී ද අනිකකු ලවා හෝ පැහැරගන්වා ද නිසඟි පචිති වේ.
  6. යම් භික්ෂුවක් තමා ම නූල් ඉල්වාගෙන නො නෑ නොපැවරූ, රෙදි වියන්නන් ලවා සිවුරක් වියවාද ඕහට නිසඟි පචිති වේ.
  7. නොනෑවූ ගෘහපතියෙක් හෝ ගෘහණියක් යම්කිසි භික්ෂුවක් උදෙසා වියන්නන් ලවා සිවුරක් වියවයි. (දායකයන්) සිවුර පැවරීමටත් පළමුව ඒ භික්ෂුව වියන්නන් කරා ගොස් “මේ සිවුර වියන්නේ මා සඳහාය. එහෙයින් දිගු කරවු, පළල් කරවු, ඝනව නූල් එලා ලවු, නූල් සමසේ එලා ලවු, හොඳින් මැද වියව්, අපි ද තොපට යමක් දෙන්නෙමු’යි එහිලා අධික විධානයට පැමිණියේ යටත් පිරිසෙයින් පිණ්ඩපාත පමණකුත් ඒ සඳහා දුන්නේ නම් නිසඟි පචිති වේ.
  8. වස් පවාරණයට දසදිනක් තබා භික්ෂුවට ඉක්මන් කටයුත්තක් සඳහා පුදන ලද සිවුරක් ලැබෙයි. ඒ බව දත් භික්ෂුව විසින් පිළිගත යුත්තේය. එසේ පිළිගෙන (නො ඉටා) සිවුරු කරන කාලය පැමිණෙන තෙක් තැන්පත් කර ගත හැකිය. ඉන් මත්තෙහිත් තබාගන්නා භික්ෂුවට නිසඟි පචිති වේ.
  9. සැක කටයුතු වූ ද භය සහිත වූ ද අරණ්‍ය සේනාසනවල වාසය කරන භික්ෂුව සොරු ආදීන්ගෙන් භය සහිත නම් පෙරවස් වැස ඉල්මස මැදිපෝය දක්වා කාලය තුළ තුන් සිවුරෙන් එකක් ඇතුළුගමෙහි තැබිය හැකිය. මෙබඳු අවස්ථාවක තුන් සිවුරෙන් වෙන්ව සිටිනු කැමති භික්ෂුව විසින් එසේ විසිය යුත්තේ රෑ සයක් පමණි. සංඝයාගේ නියමයක් නැතිව ඉන් මත්තෙහිත් තුන් සිවුරෙන් වෙන්ව වසන භික්ෂුවට නිසඟි පචිති වේ.
  10. යම් භික්ෂුවක් සංඝයාට අයත් ලාභය දැන දැන තමාට පිරිනමා ගනී නම් නිසඟි පචිති වේ.

තුන්වැනි පාත්‍ර‍ වගයි.

ඇවැත්නි, තිස් නිසඟි පචිති ඇවැත් උදෙසන ලදි. එහි ලා ඔබ අතින් විචාරමි. කෙසේද? පිරිසුදු ද? දෙවැනි වර ද විචාරමි. කෙසේද? පිරිසුදු ද? තෙවැනි වර ද විචාරමි. කෙසේද? පිරිසුදු ද, මේ තිස්නිසඟි පචිතියෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදු වූවහුය. නිශ්ශබ්දවීම පිරිසුදු බව කොට සලකම් ද එහෙයිනි.

නිසඟි පචිති නිමියේය.