නවවැනි රත්න වග

  1. යම් භික්ෂුවක් අභිෂික්ත ක්ෂත්‍රිය රජ කෙනකුගේ යහන්ගබඩාවට වදිනු කැමතිව රජු හා දේවිය පිටතට නොනික්මි කල්හි කලින් කරන ලද දැන්වීමක් ද නැතිව එලිපත ඉක්මවා ද පචිති වේ.
  2. යම් භික්ෂුවක් රුවන් හෝ රුවන් යයි සම්මත වූ දැයක් ආරාමය හෝ ආවාසය තුළදී හැර ඔසවා ගනී ද, අනිකකු ලවා හෝ ගන්වා ද පචිති වේ. මෙය අයිතිකරු ගෙනයේවා’යි සිතා එවැනි දෙයක් ආරාමය හෝ ආවාසය තුළදී ඔසවා හෝ අනුන් ලවා ඔසවවා හෝ තැබිය හැකිය. මේ ඒ පිළිබඳ පිළිවෙතයි.
  3. යම් භික්ෂුවක් අවශ්‍ය ඉක්මන් කටයුත්තකදී හැර (ආරාමස්ථ) භික්ෂුවකට නොදන්වා නොකල්හි ගම් වදී නම් පචිති වේ.
  4. යම් භික්ෂුවක් මාළු ආදී ඇටයකින් හෝ ඇත් දළයකින් හෝ මුව ආදී අඟකින් හෝ ඉදිකටු ගුලාවක් කරවා නම් භේදනක පචිති වේ. හෙවත් එය බිඳ දමා දෙසිය යුතු පචිතිය වේ.
  5. අළුත් ඇඳක් හෝ පුටුවක් කරවන භික්ෂුව විසින් යට විට්ටම හැර සුගත් අඟලෙන්27 අඟල් අටක් පා ඇතිව කරවිය යුතුය. එය ඉක්මවන්නාහට ඡේදනක පචිති වේ. (සිඳ දමා දෙසියයුතු පචිතිය වේ.)
  6. යම් භික්ෂුවක් ඇඳක හෝ පුටුවක පුළුන් ගවසා නම් (කුෂන් කරයි නම්) උද්දාලනක පචිති වේ. (පුළුන් උදුරා දැමීමෙන් පසුව දෙසිය යුතු පචිති වේ.)
  7. නිසීදනයක් කරවන භික්ෂුව විසින් ප්‍ර‍මාණලෙස කරවිය යුතුය. මේ එහි ප්‍ර‍මාණයයි. දිගින් සුගත් වියතින් දෙවියතකි. පළලින් වියත් එකහමාරකි. දහවලුව වියතකි. එය ඉක්මවන්නා හට ඡේදනක පචිති වේ. (සිඳ දැමීමෙන් පසුව දෙසිය යුතු වූ පචිතිය වේ.)
  8. කුෂ්ට රෝගාදියක් වසා අඳින රෙද්දක් කරවන භික්ෂුව විසින් එය ප්‍ර‍මාණ ලෙස කරවිය යුතුය. දිගින් සුගත් වියකින් වියත් සතරක් හා පළලින් වියත් දෙකක් විය යුතුය. මේ එහි ප්‍ර‍මාණයයි. මෙය ඉක්මවන්නා හට ඡේදනක පචිති වේ. (ඉරා දැමීමෙන් පසුව දෙසිය යුතුවූ පචිතිය වේ.)
  9. වැසි සළුවක් කරවන භික්ෂුව විසින් එය ප්‍ර‍මාණ ලෙස කරවිය යුතුය. මේ එහි ප්‍ර‍මාණයයි. දිගින් සුගත් වියතින් සයකි. පළලින් දෙවියත් හමාරකි. මේ නියමය ඉක්මවන්නා හට ඡේදනක පචිති වේ. (ඉරා දැමීමෙන් පසුව දෙසිය යුතු පචිතිය වේ.)
  10. යම් භික්ෂුවක් සුගත් සිවුර තරම් සිවුරක් හෝ ඊට වඩා ලොකු සිවුරක් හෝ කරවා නම් ඡේදනක පචිති වේ. (ඉරා දැමීමෙන් පසුව දෙසිය යුතු පචිතිය වේ.) මේ සුගතයන් වහන්සේලාගේ සිවුරේ ප්‍ර‍මාණයයි. දිගින් සුගත් වියතින් වියත් නවයකි. පළලින් වියත් හයකි.

නවවැනි රත්න වගයි.

ඇවැත්නි, මේ දෙයානුවක් පචිති ඇවැත් උදෙසන ලදි, එහිලා ඔබ අතින් විචාරමි. කෙසේද? පිරිසුදු ද? දෙවැනි වර ද විචාරමි. කෙසේද? පිරිසුදු ද? තෙවැනි වර ද විචාරමි. කෙසේ ද? පිරිසුදු ද? මේ දෙයානුවක් පචිති ඇවැත්හි ලා ආයුෂ්මත්හු පිරිසුදු වූවහුය. නිශ්ශබ්දතාව පිරිසුදු බව කොට සළකම් ද, එහෙයිනි.

පචිති ඇවැත් නිමියේය.